නිදහස සැමරුමට පෙරවදනක්

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    නිදහස සැමරුමට පෙරවදනක්

    මෙවර සැමරෙන්නේ අපේ 68 වැනි නිදහස් දිනය යි. බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වීම රටට නිදහස ලැබීම ලෙස සැලකේ. එතැන් සිට ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ස්වාධීන රටක් වූ නමුත් නිදහසේ පෞරුෂය අදීනත්වය ඊට ගැළපෙන ලෙස මතු වූවා ද කියා විමසීම වැදගත් ය. වහල්භාවයෙන්, යටත්වැසි මානසිකත්වයෙන් ශ්‍රී ලාංකික ජන සමාජය නිදහස් වූවා ද යන්න ගැන ආපසු හැරී බැලීමට මේ නිදහස් සැමරුම සන්ධිස්ථානයක් කරගත යුතුයි. නිදහස් ලෝකයට ඔබින ලෙස හා ඔරොත්තු දෙන ලෙස රටේ අනන්‍යතාව හා වටිනාකම් ගළපාගන්නට රටට ලැබුණු නිදහස උපයෝගී කරගත්තා ද කියා ස්වයං විවේචනයකට පිවිසීමටත් මෙය අවස්ථාවකි.

    නිදහසත් සමඟ විශාල වගකීම් සමුදායකුත් අපට පැවරෙන බව 1948 පෙබරවාරි 4 වැනි දා අගමැති ඩී.එස්. සේනානායක මහතා නිදහස ලැබීම සමරමින් නිදහස් චතුරශ්‍රයේ දී කළ කථාවේ දී සඳහන් කළේ ය. නිදහස යටතේ කරනු ලබන සෑම ක්‍රියාවක් ම හා පැහැර හරිනු ලබන සෑම ක්‍රියාවක් ම අපේ දේවල් හැටියට සැලකිය යුතු බවත්, නිදහසින් පසු අප අතින් සිදු වන වැරදි අනුන් පිට පැවරිය නොහැකි බවත් අගමැතිවරයා එදා සිය කථාවේ දී අවධාරණය කළේ ය.‍ නිදහස යනු වගකීමක් බව ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වේ. ‘බටහිර කුමන්ත්‍රණ’ වැනි කථා කියා කිසිවකුට ඒ වගකීමෙන් පලා යා නොහැකි යි. නිදහස ලැබී ‍ෙමතෙක් ගෙවා දැමූ දශක හතක පමණ කාලය තුළ නිදහස හා බැ‍ඳෙන මේ වගකීම ගැන අප රටක් ලෙස කල්පනාවට ගත්තා ද යන කරුණ මේ නිදහස් සැමරුමේ දී අප අ‍පගෙන් ම විමසිය යුතු ව තිබේ.

    තමන්ට වුවමනා හැටියට ය යන පුද්ගල ආත්මාර්ථයෙන් ඔබ්බට ගිය යහපත් වැටහීමක් නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජන සමාජයට තිබෙනවා ද? මේ ප්‍රශ්නයේ ඉතිහාසය බ්‍රිතාන්‍ය කිරීටයෙන් රට නිදහස් වන අවස්ථාවටත් එහාට යන්නකි. යටත්වැසි මානසිකත්වයෙන් හා වහල්භාවයෙන් අත්මිදීම පමණක් නො ව, කලාපීය ලෙස හෝ ගෝලීය මට්ටමින් හෝ පැමිණෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික බලපෑම් හමුවේ දෙපයින් නැඟී සිටීම ද ‘නිදහස’ යන්නට ඇතුළත් ය. එහෙත් එවැනි පොදු ‍උදාර හැඟීමකින් ශ්‍රී ලාංකික ජන සමාජය, මුතු මාලයක් සේ යා වූයේ ය යි කිව නොහැකි යි. විවිධ බෙදීම් තවදුරටත් තහවුරු කරන්නට බ්‍රිතාන්‍ය සමයේ දී පදනම වැටුණු දේශපාලන පක්ෂ භේදය මේ මුතු මාලය කඩා විසිරවීමට මුල් වී සිටියි.

    පක්ෂවලට මුවා වී තම අවස්ථාවාදය මුදුන් පමුණුවාගැනීම දේශපාලනය කරගත් පිරිසක් එක ම ජාතිය බෙදා අසමගි කරන්නටත් ජාතීන් අතර විරසකයක් හදා ඊට තව තව විස එකතු කරන්නටත් වීම නිසා දේශපාලන නිදහසට වැට බැඳිණි. ‘නිදහස’ යන පදය සමඟ මුලට ම කියවෙන ‘නිදහස් අධ්‍යාපනය’ ශ්‍රී ලාංකික සමා‍ජයේ මේ බෙදීම් තවදුරටත් පෝෂණය කරමින් එකිනෙකා තම හිත්වල ම, ආත්මාර්ථකාමී කොටුවක, සිර කිරීමට හේතු වීම තරම් ඛේදවාචකයක් තවත් තිබිය හැකි ද? රටක් ලෙස භුක්ති විඳින නිදහසේ දිග පළල මෙකී නොකී සමාජීය වුවමනාවන් හෝ පෙළගැසීම් හෝ අභිලාෂයන් හෝ මත ගණන් බැලිය යුතු වේ.

    බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබුණේ අධිරා‍ජ්‍යවාදීන්ගේ අනුකාරක පැළැන්තියක් අතට මිස රටට නො වේ ය, යනුවෙන් කෙරෙන ජනප්‍රිය විරෝධාකල්ප ප්‍රතිරාව හැරුණු විට නිදහස ගැන සංවාදශීලී විවෘත සංවාදයක හඬක් තව ම නැඟෙන්නේ නැත. නිදහස දිනාගැනීම සඳහා සමකාලීන ව අසල්වැසි ඉන්දියාව ගෙන ගිය ‘ස්වරාජ්‍ය අරගලය’ මෙන් සටන්කාමී ක්‍රියාමාර්ගයකට නොයා, ‘ලේ නොහෙළූ නිදහසක් දිනා ගැනීම’ ගැන අදටත් විවිධ විවේචන මතු කෙරේ. ඒ මිස ‘ඩොමීනියන් තත්ත්වය’ පිළිගැනීම කලාපීය දේශපාලන අභියෝග හමුවේ රටේ ආරක්ෂාව උදෙසා ගත් උපාය මාර්ගයක් වූයේ නැති ද යන්න ගැන අදටත් විවෘත විමසීමක් නැත. බ්‍රිතාන්‍යය සමඟ අමනාප නොවී, පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය තබාගෙන ව්‍යවස්ථා සංශෝධන හරහා නිදහස තහවුරු කරගන්නා ‘ඩොමීනියන් තත්ත්වය’ පිළිගැනීමට ඩී.එස්. සේනානායක අගමැතිවරයා ගත් ක්‍රියාමාර්ගය ‍ ඔහු හැඳින්ව‍ූයේ ‘නොදන්න යකාට වඩා දන්නා යකා හොඳ යි’ යනුවෙනි. එමෙන් ම ‘නිදහස දිනාගැනීමට ලේ නොහෙළීම’ යන චෝදනාවට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණු රටකට එය කොහෙත් ම නොගැළපෙන ක්‍රියාමාර්ගයක් බව යි. රටේ නිදහස හා ආරක්ෂාව සම්බන්ධයෙන් පළමු ව ගණන් බැලිය යුතු ‘විදේශ බලපෑම’ ඔහු දුටුවේ යක්ෂ ස්වරූපයක් ලෙස නමුත්, උපායශීලී බව ඊට‍ මුහුණදීමට ඇති හොඳ ම සටන් මාර්ගය ලෙස ඔහු තෝරාගත්තේ ය.

    එදා සිට අද දක්වා ශ්‍රී ලංකාවට එල්ල වන විදේශ බලපෑම ගැන ගණන් බලන විට, ඇත්තට ම රට නිදහස් කරගැනීමට තිබුණේ බටහිර අධිරාජ්‍යවාදයෙන් ද කලාපීය දේශපාලන අතපෙවීමෙන් ද නැති නම් මේ දෙඅංශයෙන් ම ද යන්න නිරතුරු ව විවෘත ව සංවාදයට බඳුන් කළ යුතු තේමාවකි. මෙවැනි දේ දිගින් දිගට ම මඟහැරීම නිසා - එනම්; නිදහස හා බැ‍ඳෙන වගකීම පැහැරහැරීම නිසා - නිදහස් රටක, සමාජයක තිබිය යුතු ගුණාංග එන්න එන්න ම ගිලිහී ගියේ ය.

    අද උසස් පෙළ හා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය වයසේ පසු වන බහුතර පිරිස තමන්ට අනාගතයක් සාදාගැනීමට නම් මේ ‍රටින් පිට ව යා යුතු ය කියන, රටට භයානක සිහිනය දකින තැනට තල්ලු වීම නිදහස හා ඒ හා බැ‍ඳෙන වගකීම පිළිබඳ ප්‍රශ්න කෙරෙන අවස්ථාවකි. තරුණ පරපුරේ එවැනි ආකල්ප විවේචනය කිරීම පහසු නමුත් ඔවුන්ට එයින් වෙනස් වන්නට හිතෙන දේශපාලන භාවිතයකට නිදහස ලබා ගෙවී ගිය මෙපමණ කාලයකට රටක් ලෙස අප යොමු වී නැත.

    නිදහස් සැමරුමේ දී අප කල්පනාවට ගත යුතු වන්නේ මේ ගැන යි. 1948 පෙබරවාරි 4 වැනිදා වන විට රටේ නිදහසට එල්ල වී තිබුණු ඇත්ත අභියෝගය, එනම් ඩී.එස්. සේනානායක මහතා විසින් මතු කරන ලද ‘නොදන්නා යකාගේ මැදිහත් වීම’ අපේ නිදහසට මඟ අවුරා නැතැ යි අදටත් කිව නොහැකි යි. ඒ බව වටහාගැනීමට නම් සියලු ශ්‍රී ලාංකිකයන් ‘එක ම දැයක්’ ලෙස එකට බැ‍ඳෙන මුතු මාලය විසිරීමට නොදී තබාගත යුතු යි. ඒ මුතු මාලය අමුණන රන් හුය වන්නේ එකිනෙකාගේ හිත්වලට දැනෙන නිදහස්කාමී හැඟීම යි. එම නිදහස්කාමී හැඟීම හිත් තෙමා ගලන්නේ අනෙකා නොඉවසන බෙදීම් ඉවත දමන තරමට යි.
     
    • Like
    Reactions: Garrus