නිමක් නැති ළමා, ස්ත්‍රී දූෂණ සහ ඝාතන

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
නිමක් නැති ළමා, ස්ත්‍රී දූෂණ සහ ඝාතන

අක්මීමන දේමුනි පූජනි නම් අට හැවිරිදි දැරිය දූෂනය කර මරා දැමූ බවට සැක මත අත් අඩංගුවට ගෙන දෑත් මාංචු දමා සිටි 2 හැවිරිදි අවිවාහකයා ජලාශයකට පැන පලා යෑමට උත්සාහ කිරීමේදී දියේ ගිලී මියගිය බව පොලීසිය ප්‍රකාශ කර ඇත. විවිධ අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ග්නනා සැකකරුවන් මෙලෙස මරණයට පත් වූ පළමු අවස්ථාව මෙය නොවේ. සමාජයේ බොහෝ දෙනා මේ ‘මරණ’ අනුමත කරතී. අතිමහත් බහුතරය මෙවැනි සාහසික අපරාධ පිළිකුල් කිරීම ඊට හේතුවය. සුළු ප්‍රශ්නයකට පවා බහු බලය පාවිච්චි කිරීඹට ඇති මේ නැඹුරුව කාලයක් පුරා මෙයට සිදු වූ ලේ වැගිරීම් වල ප්‍රතිපලයකි. තිස් අවුරුදු යුද්ධය සහ සිරුර රෝගී වූවන් දහස් ගණනක් සිටියද ඊටත් වඩා පිරිසකගේ මනස රෝගී වී ඇත. ‘සමාජ ප්‍රචණ්ඩත්වය’ එහි නියත ප්‍රතිඵලයකි.

‘සියලු සත්වයන් සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිරෝගි වෙත්වා!’ යි දේශනා කළ බුදුන් වහන්සේ කායික හිංසනය පමණක් නොව මානසික හෝ වාචික හිංසනයද සපුරා බැහැර කළහ. ‘අංගුලිමාල’ වැන්නෙකුට පවා උන්වහන්සේ මෛත්‍රී කළේය. උල්පතක ජලය පිරිසිදු වුවද ගලා යෑමේදී ඊට අපද්‍රව්‍ය එකතු වී අපිරිසිදු වෙයි. එලෙසම මනුෂ්‍යයා සමාජීයීය සත්ත්වයකු ලෙස හැදි වැඩෙද්දී හොඳ - නරක දෙකම ග්‍රහණ්‍ය කර ගනී. කිසිදු මනුෂ්‍යයකු කළු - සුදු ලෙස ගොඩවල් දෙකකට දැමිය නොහැකිය. තිරිසන් ගති යටපත්ව මනුෂ්‍යයා තුළ මිනිස් ගති ඉස්මතු වන්නේ සමාජයක සමාජ, ආර්ථික, දේශපාන නරුණු කාරණා වලට සාපෙක්ෂවය. ‘සංස්කෘතික මිනිසකු’ නිර්මාණය වන්නේ යහපාලිත සමාජයකය. මේ සමාජය සංස්කෘතික සෝදාපාළුවකට මෙන්ම අධයාත්මික පරිහානියකට ලක්ව තිබේ. එවැනි රටක සියල්ලන්ගේ ජීවිත අනාරක්ෂිතය. අවදානම් සහගතය. වඩාත්ම අසරණ වන්නේ දරුවන්ගේ ජීවිතය.

මවුපිය සෙවනේ සිටි මීගලෑවේ දිනිඳු ධනංජය නම් පස් හැවිරිදි දරුවා ප්පම් ගැනීමේ අරමුණින් පැහැරගෙන යෑමට මාසයක් ගතවීමට පෙර අඹකොළ වැවේ දුප්පත් නිවෙසක මවුපියන් සමඟ නින්දේ පසු වූ අවුරුදු හතරහමාරක් පමණ වයසැති පමාරා කේෂාණි දැරිය රහසේ ගෙන ගොස් තිබුණේ විකෘති කාමාශාවන්ගෙන් පෙළෙන නරුමයෙකු විසිනි. මීට දෙසතියකට පෙර මඩකළපුව කාත්තන්කුඩිහි අට හැවිරිදි දැරියක් දූෂණය කොට මරා දැමීමේ සිද්ධියක් වාර්ථා විය. සැකකරු පොලීසිය විසින් අල්ලා ගත් අතර ඔහු දැරිය දන්නා හඳුනන අසල්වාසී තිදරු පියෙකු විය. අක්මීමන කුරුඳුවත්තේ අට හැවිරිදි දේමුනි පූජනී දැරියද දූෂණය කර මරා දැමූ සැකකරුද දැරිය හොඳින් හඳුනන අසල්වැසියෙකි. මනෝ වෛද්‍ය විශේෂඥයන්ට අනුව බොහෝ විට දූෂීතයෙක් ගොදුරු කර ගත් ස්ත්‍රීය හෝ දරුවා මරා දමන්නේ තමන් හඳුනා ගනී යැයි ඇතිවන බියටය. කාමාශාව, පිපාසය හා බඩගින්න මනුෂ්‍යයා වියරු කිරීමට සමත්ය. ඇවිළුණු කාම ගින්නෙන් යුත් අසංවර මනුෂ්‍යයා තිරිසනකු බවට පත්වෙයි.

එවැන්නෙකු මොනයම්ම හෝ ක්‍රමයකින් ඒ ගින්න නිවා ගැනීමට උත්සාහ කරයි. මුදල් අධිනිශ්චය වූ මේ පරිතෝජනවාදී සමාජයේ මුදල වෙනුවෙන් පර පණ වුවද නැසීමට මනුෂ්‍යයෝ පෙළඹෙතී. උණහපුළුවාට උගේ දරුවා මැණිකකි. මවුපියන්ට දරුවන් තරම් සම්පතක් තවත් නැත. මවුපියන්ගෙන් දරුවන් පැහැර ගෙන කප්පම් ඉල්ලීමට අධමයන් පෙළඹී සිටීන්නේ දරුවන් වෙනුවෙන් ජීවිත වුවද දීමට ඔවුන් සූදානම් බව දන්නා නිසාය. දරුවන්ට මෙවැනි අපරාධ කරන්නෝ මවුපියන්ට ඇතිවන දුක්ඛ දෝමනස්සයන් ගැනවත්, දරුවන්ගේ සිත් තුළ ඇතිවන බියජනක වේදනාකාරී සිතිවිලි පිළිබඳවත් තුට්ටුවකට මායිම් නොකරතී.

රට මුහුණ දී සිටින සමාජ, ආර්ථික, දේශපාලන, අර්බුදය හමුවේ නරුමයන්, අධමයන්, පාපතරයන් ගේ ගොඩ දින දින වැඩි වීම නතර කිරීමට රට රකින බව කියන තිස්තුන් කෝටියක් දෙවිවරුන් අසමත්ය. හැම ආගමකින්ම නිතිපතා දේශනා කරනු ලබන යහපත් දේ වැලැඳ ගන්නා මිනිසුන් ඉතා අල්ප වීම කනගාටුවට කරුණකි.

ආගමික බණ දේශනා වලට වඩා අන්තර්ජාලය, ඩී.වී.ඩී ඇතුළු විවිධ මාධ්‍ය හරහා එන කුණු කන්දල් ප්‍රබලය. දහජරාවල් වලින් ඔළුව පුරවාගත් පිස්සන් සමඟ ගනුදෙනු කිරීම දුෂ්කර කාර්යයකි. එය අසූචි වළේ ලගින ඌරන්ව ඉන් ගොඩට ගැනීමට උත්සාහ කිරීමක් වැනිය. දරුවන් දූෂණය වැනි අධම ක්‍රියා කරන්නන්ට රජ කාලේ දඬුවම් දුන්නද පලක් නැත. උල හිඳුවා, ගෙළ සිර කර මරා දැමුවද එකල මනුෂ්‍යයන් අපරාධ වලින් වැළැකී සිටි බවක් ඉතිහාසයේ සඳහන් නොවේ. කෙසේ වුවද අපරාධකරුවන්ට විශේෂයෙන් ළමා හා ස්ත්‍රී දූෂකයන්ට දැඩි දඬුවම් පැනවිය යුතුය. අදාළ නඩු කඩිනමින් විභාග කිරීම අත්‍යාවශ්‍යය. පසුගිය කාලයේ අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම ගැන හා දඬුවම් දැඩි කිරීම ගැන කතා බහ වුවද වෙනසක් වී ඇති බවක් නොපෙනේ. කතාව දෝලාවෙන් වුවද බොහෝ විට බලධාරීන්ගේ ගමන පයිනි.

මේ සමාජ ඛේදවාචකයට නීති පොතෙන් විසඳුම් සෙවීමට යෑම පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් වැනිය. නීති වලින් කළ හැක්කේ සීමිත වැඩ කොටසක් පමණි. නොපමාව කළ යුත්තේ වැරැදි ඇති තැන සොයා ගැනීමය.