මෙරට යුගාන්තරණය දෙස අවධානය යොමු කිරීමේදී අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ හා මහනුවර යුගයන් වැදගත් වේ. එම යුගයන්හි පැවැති සිතුවම් කලාව පිළිබඳව කථිකාවක් ගොඩනඟන විට විද්වතුන් බොහෝ විට දක්වන කරුණක් වන්නේ අනුරාධපුර යුගයෙන් ඇරැඹි මෙරට සම්භාව්‍ය සිතුවම් කලාව පොලොන්නරු යුගයේ අවසානයත් සමඟ බිඳ වැටෙන බවය. කාලිංගමාඝගේ ආක්‍රමණය, අභ්‍යන්තර ගැටුම් හා යුද කෝලාහල, වාරිමාර්ග පද්ධතියෙහි බිඳ වැටීම, දේශගුණික විපර්යාස, මැලේරියා වසංගතය හා වාණිජමය හේතුන් යන විවිධ කරුණු රැසක් හේතුවෙන් රාජධානිය එනම් අගනුවර පොළොන්නරුවේ සිට නිරිත දිග පෙදෙසට අයත් ආරක්ෂිත ස්ථානවලට මාරුවීමට පටන් ගැනීමත් සමඟ මෙම සංක්‍රාන්තික අවධීන්ගෙන් මහනුවර සමය හැරුණු විට අනෙකුත් සෑම අවධියකදීම වාගේ පැරැණි අනුරපුර හා පොළොන්නරු යුගවලදී මෙන් සමාජ, ආර්ථික හා සංස්කෘතික අංශවල එතරම් විශිෂ්ට වර්ධනයක් ඇති නොවීය. ඒ නිසා දහතුන්වෙනි සියවසින් පසු කාලයේදී පැරැණි සම්භාව්‍ය බිතුසිතුවම් කලාව අභාවයට ගිය බවක් පෙනෙන අතර මෙම කාලපරිච්ඡේදය තුළ පැවැති බිතුසිතුවම් කලාව හැදෑරීමට සාධක නොමැති තරම් බව උගතුන් පෙන්වාදෙයි.
මෙම කාලයේදී ආභාවයට ගිය චිත්‍ර කලාවේ තොරතුරු සොයා බැලීමට ඇති ප්‍රබලම මූලාශ්‍රය වන්නේ කාලීනව ලියවී ඇති සාහිත්‍ය ග්‍රන්ථවල එන තොරතුරුය. ඒ හැරුණු විට පුස්කොළ පොත්වල ඇති කුරුටු චිත්‍ර වැදගත් වේ. ඒවායේ ද ඇත්තේ මහනුවර යුගයේ චිත්‍ර කලා සම්ප්රදායේ අනු ශෛලියකි. (බිනරගම 1999:55/බිනරගම 2008:45) මෙම යුගයේ ගොඩනැඟිලිවල බිත්තිවල පමණක් නොව ලෑලිවල සහ රෙදිවලත් අදින ලද සිතුවම් ගැන වංශකතාවේත් මේ යුගයේ ලියවුණු සාහිත්‍ය ග්රන්ථවලත් සඳහන් වී තිබේ. දෙවන පරාක්‍රමබාහු රජු රුවන් සක්මනේ යෙදී සිටින ආකාරයේ ජීවමාන බුද්ධ රූපයට සමාන රුවක් චිත්‍රයට නඟා එය ප්‍රදර්ශනය කළ බව මහාවංශයේ සඳහන් වේ. (මහාවංශය 85:97,98) එසේම එම රජුගේ පුත් විජයබාහු කුමරු දඹදෙණිය රජමාළිගය විචිත්‍ර චිත්‍රාවලියකින් අලංකාර කර තිබේ. (පූජාවලිය 1986:794) හතරවන පරාක්‍රමබාහු රජු කල නොයෙක් පින්කම් වෙන වෙනම දැක්වීමේදී පූජාවලිය සඳහන් කර තිබෙන කරුණක් නම් සිත්තරුන් මොනවට සතුටු කොට එක් රෙදි කඩක බුද්ධ රූප දහසකට වැඩි ගණනක් ඉන්ද්රජාලයකින් මෙන් සිත්තම් කරවු බවය. ගඩලාදෙණියේ හා ලංකාතිලකයේ සෙල්ලිපිවල විහාර ද්විත්වයේ තිබුණු බිතුසිතුවම් පිළිබඳව සඳහන්ව ඇත.
හයවන පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලයේදීත් නැවත දහ අටවන සියවසේදීත් මේ විහාරවල අලුතින් හුණු බදාම ගෑ අවස්ථාවලදී මෙම මුල් සිතුවම් වෙනුවට අලුත් සිතුවම් අදින්නට ඇති බව අනුමාන කළ හැකිය. (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය 1972:747) එසේම සද්ධර්මරත්නාවලිය, එළුඅත්තනගළුවංශය ආදී ග්‍රන්ථවල ද මෙම අවධියේ පැවැති සිතුවම් ගැන සඳහන් වේ. දහ හතරවන සියවසෙන් පසු 15,16 සියවස්වල කළ සිතුවම් ගැන සාහිත්‍ය ග්‍රන්ථවල පැහැදිලිව සඳහන් වී ඇතත් වර්තමානය වන විට සිතුවම් ශේෂ වී නොමැති නිසා ඒවා සනාථ කිරීමට අපහසු වී තිබේ. තිසර, සැළලිහිණි, ගිරා, කොවුල්, සැවුල් ආදී සන්දේශවලින් ද ගුත්තිල කාව්‍යයේ සඳහන් විස්තරයන්ගෙන් ද පෙනී යන්නේ කෝට්ටේ යුගයේ එනම් 15 වන සියවස වන විටත් චිත්‍ර කලාව නොපිරිහී පැවැති බවය. විහාරාරාමවල පමණක් නොව මෙම යුගයේ පොදු
ජන නිවාසවල ද සිතුවම් ඇද තිබු බවට සාධක ලැබේ.
ඇති යම් සිරිතැනක වූ ලෙසිනි බබළනා
සිතියම් ඇති නොයෙක් රුදු සොඳුරු විම තිනා
බැති පෙම් තුනුරුවනැ ඇති සත නිතොර වනා
දැතිගම් පුරවරට වදු මිතුර සිතු මෙනා
(තිසර සන්දේශය 1955:144 පද්‍ය).
දැනට කොළඹ ජාතික කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති නැට්ටුවන් පිරිසක් නිරූපණය වන චුල්ලවග්ග අත්පිටපතෙහි කම්බයේ සිතුවම් ද මේ කාලයට අයත් වෙතැයි සැලකේ.
(මහින්ද 2007:39,40) භාරතීය විජයනගර් සම්ප්රදායේ හා ඇතැම් මධ්‍ය ආසියාතික චිත්‍ර සම්ප්රදායන්හි දක්නට ලැබෙන ශෛලීය ලක්ෂණ ද මෙම චිත්රවල පිළිබිඹු වෙන බව සේනක බණ්ඩාරනායක මහතා සඳහන් කරයි. (බණ්ඩාරනායක 1996:13,14/බණ්ඩාරනායක 1990:42) ගම්පොළ සහ කෝට්ටේ යුගවල දී චිත්‍ර සම්ප්රදාය පැවතුන ද බහුල වශයෙන් විහාරස්ථාන බිත්තිවල සිතුවම් කරන ලද බවට සාධක නොමැත. එහෙත් ලී පුවරුවල හා රෙදි මත සිතුවම් ඇදීමේ ක්‍රමය දිගටම ගෙන ගිය බවට සාධක ඇත. ගම්පොළ කෝට්ටේ යුගවලදී භික්ෂූන් වහන්සේ ධර්ම දේශනා කරන විට විශාල දැව පෙට්ටිවල ජාතක කතා සිතුවම් කර ඒ ආශ්රයෙන් ධර්ම දේශනා පැවැත් වු බව සඳහන් වේ.
ඇම්බැක්කේ දේවාලයේ දක්නට ලැබෙන සිතුවම් ක්‍රි. වර්ෂයෙන් 14 වන සියවසට අයත් බවට මත ඇති අතර මෙම දේවාලයේ දක්නට ලැබෙන ලී කැටයම් කලාත්මක භාවයෙන් මෙන්ම නිමාවෙන් පරිපූර්ණය. එහෙත් දේවාලයේ බිත්තිවල දැක්වෙන සිතුවම් බොහෝදුරට නොසලකා හැරීම නිසා කලාත්මක වශයෙන් පිරීහී ගොස් තිබේ. (බස්නායක 2002:231) මෙහි සත්සතිය ද එයට අමතරව අතක මල බැගින් ඇති ශ්‍රාවක රූ කීපයකි. (තුන්දෙණිය 2002:15) ගම්පොළ යුගයේ දී කරන ලදැයි සැලකෙන ගඩලාදෙණිය ප්රතිමාඝරයේ අභ්‍යන්තරය නොයෙක් චිත්‍ර කර්මාන්තයෙන් විචිත්‍ර කොට තිබු බව ගඩලාදෙණි ශිලා ලේඛනයෙන් පැහැදිලි වේ. එහෙත් 18 සියවසේ කරන ලද ප්‍රතිසංස්කරණ නිසා එම සිතුවම් කර්මාන්ත වෙනස් වු බව සිතිය හැකිය. එහෙත් පිළිම ගෙයි ශිඛරයේ ඇති සිතුවම් මුල් කාලයේදී අඳින ලද ඒවා වශයෙන් සලකනු ලැබේ. දුර්වර්ණ වී ඇති ඒ සිතුවම්වල දළ සටහන් පමණක් විද්‍යාමානය. (ගම්පොළ 1960:30) මෙහි ශිඛරයේ ඇති සිතුවම් ගම්පොළ සමයට අයත්වන බව අනුරාධ සෙනෙවිරත්න මහතා ද සඳහන් කරයි.
ගම්පොල හා කෝට්ටේ යුගයටන්ට අයත් චිත්‍ර සියනෑ කෝරලයේ මැදපත්තුවේ මංගලගිරිය නම් ගම්මානයේ පිහිටා තිබෙන වාරණ රජ මහා විහාරයේ ද දක්නට ලැබේ. සිද්ධාර්ථ කුමරුගේ රූපය, බුදුන් වහන්සේ බුදුවීමට පෙර ගත කළ අත්ථකිලමථානු යෝගය වැනි දර්ශන දක්ෂ කලාකරුවන් අතින් නිම වී තිබෙන බව පෙනේ.
(බස්නායක 2002:232) මෙහි යුග තුනකට අයත් සිතුවම් ඇති බවට හඳුනාගෙන ඇති අතර දැනට අපට දක්නට ලැබෙන්නේ කෝට්ටේ යුගයේදී ඇඳි චිත්‍ර පමණි. මෙහි ලී කැටයම් මහනුවර යුගයට අයත් ඒවා වේ. (සිරිසේන 2000:78) එස්.ඒ. වික්‍රමසිංහ මහතාගේ අදහසක් උපුටා දක්වන දර්ශන රත්නායක මහතා සඳහන් කරන්නේ දඹුලු විහාරයේ සිතුවම් මහනුවර කාලයේදී ප්‍රතිසංස්කරණය වීමට පළමුව දඹදෙණිය යුගයේදී ඇඳුණු චිත්‍ර ද පවතින්නට ඇති බවය. එසේම කුරුණෑගල රීදී විහාරයේ ලෙනට ඉහළින් පිහිටි අවලම්බාකාර පර්වත බෑවුමෙහි ඇඳ තිබෙන සිතුවම් මහනුවර සිතුවම් ක්‍රමයට වඩා බෙහෙවින් වෙනස් බව එම මහතා සඳහන් කරයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන සීතාවක රාජධානි සමයට අයත් බැරැණ්ඩි කෝවිලේ ද සිතුවම් ඇඳ තිබූ බවට සැවුල් සන්දේශයෙන් හෙළි වන අතර මෙහි චිත්‍ර ඇඳ තිබෙන්නට ඇත්තේ එහි විමානය ඇතුළත බිත්තිවල හෝ ඊට ඉදිරිපසින් ඇති අර්ධ මණ්ඩපයේ බිත්තිවල හා සිවිලිමේ විය හැකි බවට මත ඇත. (ගම්ලත් 1996:173) මේ අනුව පෙනීයන්නේ මෙම යුගයේ පැවැති සිතුවම් කලාව පිළිබඳව ඉතා අල්ප වශයෙන් පුරාවිද්‍යාත්මක සාධක ලැබෙන බවය.
දැනට හඳුනාගෙන ඇති සිතුවම් කොටස්වල ද තාක්ෂණික පාර්ශවය පිළිබඳ පර්යේෂණ සිදුකර නොමැති අතර යම්තාක් දුරකට හෝ හඳුනාගැනීමක් කර තිබෙන්නේ ගඩලාදෙණි විහාරයේ සිතුවම්වල නිර්මාණ කාර්යය පමණි. ගඩලාදෙණි විහාර ශිඛරයේ ඉතිරිව ඇති සිතුවම් කොටස් පරීක්ෂා කළ විද්වතුන් එහි සිතුවම් අඳින ලද බදාමය වැලි මිශ්‍ර එකක් බවත් ඒ මතුපිට කුඩා හුණු ස්ථරයක් ආලේප කර බිතුසිතුවම් නිර්මාණය කර ඇති බවත් හඳුනාගෙන ඇත. (සෝමතිලක 2004:92). සංක්‍රාන්තික අවධියේ එනම් දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ සහ කෝට්ටේ යන යුගවලදී අඳින ලද සිතුවම් බොහෝ විට ගඩොල් බිත්ති උපයෝගී කර ගෙන නිර්මාණය කර තිබුණ ද මහනුවර යුගයේදී හා ඊට පසුකාලීන ප්‍රතිසංස්කරණවලට ලක්වීම නිසා හඳුනාගත නොහැකි
තත්ත්වයට පත්ව ඇත. ගල් ලෙන් හා පර්වතාශ්‍රිත බිතුසිතුවම් කලාවෙන් ඔබ්බට ගිය පසුකාලීන සිත්තරුන් පොළොන්නරු යුගයේ දී මෙන් මේ සඳහා බොහෝදුරට කෘත්‍රිමව ගොඩනැඟූ විහාර ගෘහයන් රැසක් භාවිතා කළ බව පෙනේ. (සෝමතිලක 1999:7) බිතුසිතුවම් නිර්මාණ තාක්ෂණය
හඳුනාගැනීමේ දී පුරාවිද්‍යාත්මක සාධක විරල වුවත් එම යුගයේ රචිත සාහිත්‍ය මුලාශ්‍ර මඟින් ද සිතුවම් තාක්ෂණය පිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් උකහාගත හැකිය. (විමලවංස 2000:538) මෙම කාලය තුළදී දැව මත සිතුවම් නිර්මිත තාක්ෂණය දියුණුව පැවැති බවට ද සාධක තිබේ.
දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේදී කරනු ලැබී යැයි සලකන චුල්ලවග්ගපාලි පුස්කොළ අත්පිටපතේ පොත් කම්බයේ බහුවර්ණික රූප සටහන් දක්නට ලැබේ. එසේම මෙම අවධියේම කරන ලද සාරත්ථදීපනී විනය ටීකා පුස්කොළ පොත් කම්බයේත් ඒක වර්ණ සිතුවම් දක්නට ලැබෙන බව සෝමතිලක මහතා පෙන්වා දෙයි. (සෝමතිලක 2004:96) මෙම අවධියේ පුස්කොළ පොත් කඳම්බයන්හි සිතුවම් නිර්මාණ ක්‍රමයක් පැවැති අතර (ලක්දුසිංහ 1988:56/ ද සිල්වා 1996 ජනවාරි-මාර්තු:20) මේ පිළිබඳව අපූර්වතම විග්‍රහයක් ආරිය ලගමුව මහතා ඉදිරිපත් කර තිබේ.
පොත්කම්බා විසිතුරු කිරීම සඳහා කැටයම් සහිත හෝ කැටයම් රහිත හෝ යන කම්බා වර්ග දෙකොටසේම ස්වාභාවික වර්ණ භාවිතයෙන් හෝ ලාක්ෂා භාවිතයෙන් සිතුවම් කිරිම විශේෂ ලක්ෂණයකි. කැටයම් සහිත කම්බාවල පිටත ස්ථරය සිතුවම් කරන ලද්දේ අල්ප වශයෙනි. එය දසිතුවම් කිරිමක් නොව කැටයමට ගැලපෙන පරිදි එහි වර්ණ ගැන්වීමයි. කැටයම් රහිත උන්දම ඉතා විසිතුරු ලෙස විවිධ මෝස්තරවලින් අලංකාරකර තිබේ. ඇන්දත්, ලෝහ හා පුස්කොළ යන ද්‍රව්‍යවලින් නිර්මාණය කළ කම්බා ද සිතුවම් කර ඇති අතර දැව කම්බා බහුතරය සිතුවම් කර ඇත.
මෙම කම්බාවල සිතුවම් වැඩ පුස්කොළ පොත් නිර්මාණ ශීල්පීන්ම විසින් කරන ලද බව සිතිය හැකි අතර ලාක්ෂා ශිල්පීන් හා සිත්තරුන් විසින් ද කරන්නට ඇති බවට මත තිබේ. මේ අනුව අපට පෙනීයන්නේ එකල සිත්තරුන් විවිධ පෘෂ්ඨයන්හි සිතුවම් නිර්මාණය කිරීම සඳහා අවැසි තාක්ෂණය මනාව හඳුනාගෙන සිටි බවයි.
ආදි මානවයාගේ කුරුටු රූප තුළින් ඇරැඹි මෙරට සිතුවම් කලාවේ සම්භාව්‍ය ඇරැඹුම අනුරාධපුර යුගයෙන් සිදුවන අතර පොලොන්නරු යුගය හරහා සංවර්ධනය වෙමින් පැමිණෙන ලදි. රාජධනිය නිරිතදිගට මාරුවීමත් සමඟ ගොඩනැඟුණු යුග තුළදී මෙරට සිතුවම් කලාවේ හිඩසක් ඇති වන අතර නැවත මහනුවර රාජධානි සමයේදී පුළුල් ව්‍යාප්තියක් සිදුවන්නට විය. මෙසේ නිරිතදිග රාජධානි සමයේ ඇති වන හිඩැස මෙරට සිතුවම් කලාවේ අඛණ්ඩ ගමන්මඟ පිළිබඳ ගැටලු මතු කරනු ලැබේ. එහෙත් උක්ත කරුණු අනුව පැහැදිලි වන්නේ පුරාවිද්‍යත්මක සාධක අල්ප වුවද එම අල්ප පුරාවිද්‍යා සාධක මෙන්ම වංශකතා සාධක හා සාහිත්‍ය මූලාශ්‍ර පදනම් කරගෙන එම අඳුරු වලාපටින් රිදී ඉරක් දැකිය හැකි බවය.