නිරෝෂිනීගේ අවසන් බැල්ම

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
නිරෝෂිනීගේ අවසන් බැල්ම

නිරෝෂිනී ගේ අවසන් බැල්ම​


attachment.php


මේ කියන දවසට පෙර දින අපි දෙදෙනා අතර සදහන් කල යුතු විශේෂ සිදුවීමක් ( story ) සිදු වුනේදැයි ඔවුන් මගෙන් ඇසුහ. එවැන්නක් නැතයි මා කියූ විට ඔවුන් මා දෙස බලා සිටියේ මගේ මුවින් පිට වන කිසිදු වදනක් විශ්වාස නොකරන්නාක් මෙනි. මා ඔවුන්ගේ සැකයට භාජනය වී සිටි එකම තැනැත්තාය.

මේ කියන දවසට පෙර දින රාත්‍රියේ අපි දෙන්නා මනෝහාර කාමෝත්සවයක ගැලුනෙමු. අපේ මේ රති මංගල්‍යයේ එක් මොහොතක ඇගේ රූමත් මුහුණ දෝතට ගත් මම අඩවන් දෙනෙත් වලට එබුනෙමි. විවාහ වී පස් වසරක ගතව තිබෙනා මේ මොහොතේ පවා එකිනෙකා සිරුරු වල රස සොයා යාමේ රුචිය අප අතරේ නොමැරී පැවතීම ගැන මට ඇති වුයේ උද්දාමයකි

පසුදා ඉරිදා උදැසන දෙනෙත් විවර කරද්දී, ඇය , එනම් නිරෝෂිනී, එනම් මගේ බිරිද යහනේ සිටියේ නැත. නිවාඩු දවස් වලදී පවා මට කලින් අවදිවීම ඇගේ පුරුද්දයි. මුළුතැන්ගෙයින් පිටවී, කොරිඩෝව හරහා පැමිණ නිදන කාමරයට ඇතුල් වුනු කොපි සුවද මගේ මනස පිපාසයෙන් පුරවාලිය . ලයනල් රිචි ගේ පැරණි ගීතයක් පැමිණ සවනට ඇතුළු වුණු පසුව මම යහමින් දෙනෙත් විවර කළෙමි .

Know it sounds funny but, I just can’t stand the pain
Girl I leaving you tomorrow……
Oh that’s why I’m easy
I’m easy like sunday morninig….

මේ ගීතයේ easy like sunday morninig…. යන වදන් වැල කොතරම් අගනේදැයි මට ඒ මොහොතේ සිතුණි. සිතුවිල්ල බිද දමමින් යහනට ගොඩ වුණු ඇය ස්නානයෙන් පසුව දිය බිදු රැදුණු දිගු කෙස් වැටියෙන් මගේ මුහුණට දමා ගැසුවාය. මගේ වත ඇපල් සුවද හමනා අගේ කේශ වනයේ සැගවුණු විට පිච් රසැති තෙත හාදුවක් දෙතොල මත පතිත විය. මම දෙනෙත් විවර කලෙමි.

“වස්තුව…ජෑම් පොඩ්ඩක්වත් නැහැ…මං ටක් ගාල ගිහින් අරන් එන්නං ….”ඇය කීවාය
“එපා දැන් යන්න…ඔය තියන් දෙයක් හොදයි..අද ඉරිදා කඩ වහලා…”
“පල්ලෙහා පොඩි කඩේ ඇරලා…ඔයා තව ටිකක් ඔහොම ඉන්නකෝ….”

වෙන කිසිදු විරුද්ධත්වයක් දක්වන්නට මට ඉද නොදුන් මගේ සුන්දර ගැහැනිය කාමරයෙන් පිට වන්නට ගොස් , ආපසු හැරී මදෙස බැලුවාය. ඒ බැල්ම මට අමතක නොවේ. එය වනාහි කිසි දිනක ඇගේ දෙනෙතේ නොරැදුනු නොතේරෙන බැල්මකි. එහි තැනක සන්තාපය රැදී තිබෙන්නට ඇත. එහෙත් ඇය සිනහසුනාය. එය දුක්බර සිනහවකි. ඇසිපිය නොහෙලා තත්පර කීපයක් මදෙස බලා සිටීමෙන් අනතුරුව හාදුවක් සුළගේ පා කර එවූ ඇය කාමරයෙන පිට වුවාය. එය නිරෝෂිනී ගේ අවසන් බැල්මයි.

යහනින් බස ගෙන නාන කාමරයට ඇතුළු වුනු මම පෙරදා රැයේ රති හැව සෝදා දැමුවෙමි. කෝපි මැෂිමෙන් කෝප්පයක් වත් කර ගෙන සාලයේ සැප පුටුවෙහි වාඩි ගත් මගේ නිරීක්ෂණයට ප්‍රථමයෙන්ම හසු වුයේ නිවසේ විදුලිය ඇනහිට ඇති බවයි. රුපවාහිනිය දැල්වුනේ නැත. නිව්ස් පුරා දැඩි නිහැඩියාවකි. නිරෝෂිනී පිටව ගොස් විනාඩි විස්සකට වැඩි කාලයක් ගතව තිබුණු නිසා අගේ ජංගමය අමතනා විටදී එය නිදන කාමරය දෙසින් එය නාද වනු ඇසුණි. නිවසින් පිටව යද්දී දුරකතනය රැගෙන ගොස් තිබුනේ නැත. සත්‍ය වශයෙන්ම නිරෝෂිනී කිසිවක් රැගෙන නොගියාය. ඇය පිටව ගියේ හැද සිටි ඩෙනිම් කලිසම සහ පහසු කුර්තාව සමගිනි. විනාඩි තුනකින් විදුලිය යළි පැමිණියේය. එහෙත් මගේ බිරිද පැමිණියේ නැත.

පැයක් ගතවූ තැන පිටත බැස ගත මම ඇය කියූ කුඩා සුපිරි වෙළද සැලට ගොඩවීමි. මගේ ජංගම දුරකතනයේ ඇති නිරෝෂිනී ගේ පින්තුරය පෙන්වා ඇය මොහොතකට පෙර එහි පැමිණියේදැයි අරාබි ජාතික තරුණයාගෙන් අසද්දී ඔයු පිළිතුරු දුන්නේ කිසිදු උවමනාවකින් නොවේ. සිතේ ඇතිව තිබුණු නොසන්සුන් බව මග හරවා ගැනීමට දුම් වැටියක් දල්වා ගත් මම සිදුවිය හැකි සියලුම විකල්පයන් සිතේ මවා ගතිමි. ඇය වෙනත් කඩයකට ගියා වන්නට පුළුවන. අතරමගදී මිතුරියක හමුවී කතා බහට පැටලී ගෙවී යන කාලය ගැන වැටහීමක් නොතිබුනා විය හැකිය. එසේ නැතිනම් ඇයට අනතුරක් වුනාද….?

නිරෝෂිනී ගේ අතුරුදහන් වීමෙන් ගෙවී ගිය මුල් පැය කීපය මා ගත කලේ කෙසේදැයි මතකයක් අද මට නොවේ. මගේත්, මගේ බිරිදගේත් ජංගම දුරකතන දෙක ලග තබා ගෙන ඒවායේ මුසල මුහුණත වෙතින් දෙනෙත් ඉවත් නොකර මරා දැමූ කාලය පැය තුනකට වැඩි විය යුතුය. සාමාන්‍යයෙන් ඉරිදාට යහමින් නාද වන දුරකතන එදා නාද නොවිණ. සවස තුනට පමණ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ වසා ඇති මහා දොරට මා තඩි බාද්දී වේගයෙන් මදෙසට පැමිණි පොලිස් කාරයෙක් කේන්තියෙන් මදෙස බල සිටියේය. මගේ කතාව මම කිමි . හඩන්න ලංව ඇති මගේ ස්වරයේ රිද්මය මැනවින් හදුනා ගත් පොලිස් කාරයා මට දොර විවර කළේය. නිරන්තරයෙන් ජනයාගෙන් පිරි යන ශාලාවේ මා තනිකර පළමු මහලට නැග ගිය ඔහු යලි පැමිණියේ සුභ ආරංචියක් සමගින් නොවේ.

මේ කියන දවසට පෙර දින අපි දෙදෙනා අතර සදහන් කල යුතු විශේෂ සිදුවීමක් සිදු වුනේදැයි ඔවුන් මගෙන් ඇසුහ. එවැන්නක් නැතයි මා කියූ විට ඔවුන් මා දෙස බලා සිටියේ මගේ මුවින් පිට වන කිසිදු වදනක් විශ්වාස නොකරන්නාක් මෙනි. මා ඔවුන්ගේ සැකයට භාජනය වී සිටි එකම තැනැත්තාය.

මේ කියන දවසට පෙර දින අපි දෙදෙනා අතර සදහන් කල යුතු විශේෂ සිදුවීමක් සිදු වුනේදැයි ඔවුන් මගෙන් ඇසුහ. සාමාන්‍ය ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරින් තිදෙනෙකු සහ නිලධාරිනියක් නිවසට පැමිණ මේ ප්‍රශ්නය මගෙන් විමසනා විට මා සමග සිටියේ මගේ හොදම මිතුරා රජු සහ ඔහුගේ බිරිද ශාලනි පමණි. පැයකට ආසන්න කාලයක් ඔවුන් විවිධ මාදිලියේ ප්‍රශ්න මා වෙත ඔවුන් එල්ල කළහ. ඔබට නීතිඥක් උවමනාද…එක් මොහොතක නිලධාරිනිය ඇසුවාය. අපි එකිනෙකාගේ මුහුණු බලා ගතිමු. “මගේ බිරිදගේ අතුරුදහන් වීමට මම සැක කාරයෙක්ද….?” මම ඇසුවෙමි.
“නීතිඥයෙක් උවමනා වන්නේ ඔහුව අත් අඩංගුවට ගත්තොත් නේද…එහෙම තත්වයක් දැන් මෙතන තියනවාද..” රාජු ඇසුවේය. නිලධාරින් සිව්දෙනාම කිසිවක් නොකියා තවත් බරපතල ප්‍රශ්නයක් මවෙත දිගු කළහ.
“ඔබ කොතරම් දුරට ඔබේ බිරිදව හදුනනවාද…..?” මේ ගැබුරු ප්‍රශ්නය හමුවේ සසල වුණු මගේ මුවින් වදන් පිට වුයේ නැත. අප දෙදෙනා හදුනාගෙන ගත වෙමින් තිබුණේ හත් වන වසරයි. විවාහයේ පස් වන වියයි. අපි දෙදෙනාට තිබුනේ එක ජීවිතයකි. එකිනෙකාගේ ජිවිත වල සෑම අංශු මාත්‍රයක්ම අපි දැන සිටියෙමු. අපි අතරේ කිසිදු රහසක් නොවිණ. මම හොද ප්‍රේමවන්තයෙක්මි. මම පරිපුර්ණ මිනිසෙක් යැයි බොහෝ දෙනා කිහ. මා වැනි ස්වාමියෙකු ලබන්නට පෙර පිං කර තිබිය යුතුය යන වදන් පිට වුයේ නිරෝෂිනී ගේ මුවින්මය. එහෙත් මගේ බිරිදගේ මනසේ සතර දිසාවට දිව ගිය සිතුවිලි මොනවාදැයි මම නොදැන සිටියෙමි. නිවාඩු දිනයක උදැසන අවදි වෙද්දී යහන අසල පුටුවක වාඩි ගෙන මදෙස බලා සිටිනා ඇයව දකින විට මොකද මං දිහා බලා ඉන්නේ යැයි ඇසුවෙමු. පිළිතුරු දෙනු වෙනුවට ඇය කලේ යහනට ගොඩ වී මගේ තුරුලට ඇතුල් වීම පමණකි. ඇතැම් හිම වැටෙන දිනක, ඇතැම් සුළං වැසි දිනක, ග්‍රීෂ්ම හිරු බැබලෙන දිනක ඇය කල්පනාග්නව කවුළුවෙන් පිටත බලා සිටිද්දී ඔයා මොනවා ගැනද කල්පනා කරන්නේ මම ඇසුවෙමි. යන්තම් සිනහවක් පා මගේ සිරුරට තුරුළු වන්නී කිසිවක් නොදොඩා සිටියාය. ඉදින් මම නිධාරියාගේ ප්‍රශ්නය හමුවේ නිරුත්තර වීමි. මගේ බිරිද කවුරුන්දැයි සත්‍ය වශයෙන්ම මා නොදැන සිටියා විය යුතුය.

කීප වාරයකම පොලිස් ස්ථානයට වාර්තා කරන්නට මට සිදුවිය. මගේ බැංකු ගිණුම් වාර්තා, දුරකතන ඇමතුම්, ගෙවුණු මාස හයක කාලය ඇතුලත මගේ ක්‍රියාකාරකම් යනාදී සියල්ලම පොලිස් පරීක්ෂකයන්ගේ විමසිල්ලට ලක්වී ඇති බව මම වටහා ගතිමි. “කොයි වෙලාවක හරි උන් ඇවිත් උබව ඇරෙස්ට් කරයි. අපි ලෝයර කෙනෙක් අල්ලමු….” රාජු කීප වරක්ම කිවත් මම ඒ අදහසට අකමැති වීමි. ස්වයං පාලනයෙන් තොරව සිදුවන මගේ ක්‍රියාකාරකම් ගැන දැවුණු සිතින් මිතුරෝ බලා සිටියහ. කල යුත්තේ කුමක්දැයි නොදන්නා නිසා ඔවුන් කලේ මගේ තුන් වේල ගැන සැලකිලිමත් වීම පමණි. එහෙත් මගේ කුසට නොවැටුණු ඒ අහර වැටුණේ කුණු බාලදියටයි. වසර දෙකක් GYM ගොස් බස්සවා ගන්නට නොහැකි වුණු කිලෝ 12 ක් මගේ බිරිදගේ අතුරුදහන් වීම ත් සමග අතුරුදහන් විය. දෙවසරක් ගතව යද්දී, මගේ සොඛ්‍ය තත්වය හැරෙද්දී පොලිස් පරීක්ෂකවරු තමන්ගේ සැකයෙන් මා නිදහස් කළහ. නිරෝෂිනී අවසන් විනාඩි කීපය ගැන මා දැනුවත් වුයේ ඒ අයුරිනි.

මාර්ගයේ සවිකර තිබුණු කැමරා වල සටහන වුනු රුප අනුව ඉරිදා උදේ 10.11 ට ඇය ගොඩනැගිල්ලෙන් පිටවෙයි. කුඩා වෙළද සල අසල නොනැවතී පදික වේදිකාව දිගේ මාර්ගය අවසාන වන තෙක් ඇවිද යන ඇය 10.18 ට එහි පාර්මසිය ඉදිරියේ නවතියි. ඒ මොහොතේම විදුලිය ඇනහිටි නිසා තවත් විනාඩි කීපයක් යනතුරු කිසිදු රුපයක් නොමැත. යලි රුප පන ගැන්වෙද්දී නිරෝෂිනී අතුරුදහන්ව සිටියාය. බස් රථයක,උමං දුම්රියක, දුම්රිය ස්ථානයක, ගුවන් තොටුපලක කැමරාවක ඇගේ සටහනක නැත. ඇය වාෂ්ප වී ගියාක් බදුය.

“කොහොමද හරියට මේ නිශ්චිත වෙලාවෙම විදුලිය ඇන හිටියේ…..?” පොලිස් කාරයන්ගෙන් මම ඇසුවෙමි.
” මේ ඇනහිටීම කලින් ඉදන් දැනුම් දුන්න එක්ක. මේ ගැන ඔබේ ගොඩනැගිලේ පහල මාලයේ දැන්වීමක් අලවලා තිබුණා. මෙහිදී අපිට සිතා ගන්න බැරි දෙයක් සිද්ධ වෙලා තියනවා. ගොඩනැගිල්ල ඇතුලේ කමරාවට හසු වෙලා තියනවා ඔබේ බිරිද වතාවන් දෙකකදී මේ දැන්වීම් ඉරලා දානවා. විදුලි අන්හිටීම ගැන අනෙකුන් දන ගන්නවා ට ඇය අකමැති උනා වාගෙයි. විශේෂයෙන් ඔබ දැන ගන්නවට …”
“ඔබලා කියන්නේ ඇගේ අතුරුදහන් වීම ඇය විසින්ම සංවිධානය කර ගත්තා කියලද…?”
“සමාවෙන්න මේක දරා ගන්න බැරි දෙයක් වෙන්න පුලුවන්. අපි හිතනවා ඇයට වෙන ප්‍රේම සම්බන්ධයක් තිබෙන්න ඇති. ඔබට නොකියා ඔබගෙන් වෙන් වෙන්න හිතා ගෙන හිටපු ඇය මේ අවස්තාව ඒ සදහා තෝර ගන්න ඇති….”
එහෙත් නිරෝෂිනී වෙනත් ප්‍රේම සම්බන්ධයක පැටලී සිටියා යැයි සිතා ගන්නට මට නොහැකිය . කිසිදු අනුමානයක් නොතබා එවැනි සංකීර්ණ කාරයක නිරත වන්නේ කෙසේද…
“ඔබ පිරිමියෙක්. මමත් පිරිමියෙක්. අපි වෙන ගැහැනියක් ඇසුරු කලොත් ඒක අපේ බිරිදට තේරෙනවා දවස් කීපයක් යද්දී. ඒත් ගැහැණු ඒ වගේ නෙමෙයි. ඔවුන් අනියම් සම්බන්ධයක පැටලෙන්නේ හොදින් හිතා බලලා . ඒ අනුවන කාර්යය ඔවුන් කරන්නේ බොහොම බුද්ධිමත්ව හිතා බලලා …” නිලධාරියා කිවේය.

ජීවිතය යළිත් අතට ගන්නට මම තීරණය කලෙමි. මගේ බිරිද නාදුනන පිරිමියෙකු සමග සබදකමක් තිබුණු බව පොලිස් කාරයා කි මොහොතේ මගේ පැවැත්ම වෙනස් විය. නිවසට පැමිණි මම නිරෝෂිනී සතු සියලුම දේ පෙට්ටි වල අහුරා, මලු වල දමා සුභ සාධන ආයතනයකට ගෙනගොස් දුනිමි. ඇගේ ආභරණ, සුවද විලවුන් වැනි වටිනා දේ තමන්ට දෙන මෙන් මිතුරන්ගේ බිරින්දන් ඉල්ලා සිටියහ. මිතුරෝ එක් ඉරිදාවක සාදයක් සංවිධානය කළහ. මිතුරෙකුගේ තරුණ දියණියක් SURVIVOR ගීතය ගැයුවාය

Now that you’re outta my life, I’m so much better
You thought that I’d be weak without ya, but I’m stronger
You thought that I’d be broke without ya, but I’m richer
You thought that I’d be sad without ya, I love harder

එහෙත් මගේ බිරිද අමතක කරන්නට මට නොහැකි විය. ඇගේ අවසන් බැල්ම අමතක කරන්නට මට නොහැකි විය. ඒ බැල්මේ රැදී තිබුණු සිතුවිලි විසදා ගන්නට මම තවත් වසර දෙකක් ගත කළෙමි. අන්තිමේදී නිරෝෂිනී ගේ අතුරුදහන් වීමෙන් පස් වසරකට පසු එනම් පසුගිය මැයි මාසයේ ඔවුහු මා සොයා පැමිණියහ. සිදුව ඇති දේ දැන් ඔවුහු දනිති. මගෙන් ප්‍රශ්න නොකළ ඔවුහු පිළිතුරු මා ඉදිරියේ තැබුහ.

සිදුව ඇති දේ තේරුම් ගැනීමට, වටහා ගැනීමට මා හට නොහැකි වනු ඇතැයි ස්වදේශීය කටයුතු අමාත්‍යංශයේ නිලධාරියා කිවේය. ඔහු සමග සිටි අනෙක් තැනැත්තා ප්‍රංශ රහස් පොලිසියේ අයෙකි. තෙවන තැනැත්තා බාහිර ආරක්ෂා කටයුතු සේවයේ (DGSE ) අයෙකි. මේ සියලුම දෙනා මගේ නිවසේ සාලයේ මට මුහුණ දී වාඩි ගෙන සිටියහ.

ඔවුන් මා හමුවේ පවසන කතාව අදහා ගත නොහැකි බව මම කිමි. එය සිදු විය නොහැකිය. මීට මාස හයකට පෙර සිරියාවේ Manbij ප්‍රදේශයේ සිදුකරනා ලද ප්‍රංශ හමුදා ප්‍රහාර වලදී මියගිය 21 දෙනෙකු අතරේ තිබී නිරෝෂිනී ගේ දේහයද හමුවී තිබේ. මුලික හදුනා ගැනීම් වලින් පසුව හමුවුණු ප්‍රංශ හැදුනුම් පත නිසා ඇගේ දේහය ප්‍රංශයට ගෙන එන ලදී. තවත් මාස කීපයක තිස්සේ කරනා ලද සොයා යාම් වලින් පසුව වුවද සිරියාවේ මේ කියනා ප්‍රදේශයේ ඇය යෙදී සිටියේ කුමනාකාරයේ කාරියකදැයි කිසිවෙක් නොදනිති.

“ඔබේ බිරිද පැරිසියේ දී සේවය කලේ කප්ලාන් නැමති මහලු යුවල වෙනුවෙන් නේද..? පැරිස් 17 හි ඔවුන්ගේ තට්ටු නිවාසය පහල තිබෙනවා මස් කඩයක්. මෙහිදී ඇයට හමුවී තිබෙනවා මොහොමඩ් අල් හාවන් නැමති වයස අවුරුදු 35 ක් අයෙක්. ඔහු දැඩි ඉස්ලාම් භක්තිකයෙක්. ආගමික ක්‍රියාකාරකම් නිසා කීපවරක්ම රජයේ ඇසට ලක් වුණු අයෙක්. ඔහු විසින් තමයි ඔබේ බිරිදගේ මනස වෙනස් කරලා තියෙන්නේ. අපි තවමත් දන්නේ නැහැ අවුරුදු පහකට පෙර මේ කියන ඉරිදා දිනයේ ඇය කෙසේ අතුරුදහන් උනාද කියලා. පැරිසියේ ඉදන් සිරියාව දක්වා ගිය ගමන කෙසේ සිදු උනාදැයි අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නා දේ තමයි සිරියාවේදී ඔබේ බිරිද මේ කියන මොහොමඩ් අල් හාවන් සමග විවාහ වුණු බව . ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ඉදලා තියනවා. අවුරුදු තුනයි. අවුරුදු දෙකයි…..”

මම සාලයේ ඒ මේ අත ඇවිද ගියෙමි. මා වටා භ්‍රමණය වන ලෝකය නවතා ලන්නට මගක් සෙවීමි. සිරුර ගිනි ගෙන දැවෙන්නට වූ නිසා සුළං පොදක් සොයා කවුළුව විවර කලෙමි. එක් නිලධාරියෙක් මා අසලට පැමිණ උරහිසට අතක් තැබුවේ මගේ අවධානය වෙනතකට ගනු සදහා විය යුතුය. “කෝ එතකොට මේ කියන මොහොමඩ්..කෝ ළමයි දෙන්නා…?”

“මොහොමඩ් අල් හාවන් මිට අවුරුද්දකට පෙර සටනකදී මිය ගියා. දරුවන් දෙන්නා මේ මොහොතේ ඉන්නේ තුර්කියේ, අන්කාරා නගරයේ විශේෂ රෝහලක….”
“නිරෝෂිනී කොහොමද මේ වගේ දෙයකට හවුල් වෙන්නේ..? ඇයට හැම දෙයක්ම ජිවිතේ තිබුනා. අපි හරිම ආදරෙන් සතුටින් හිටියේ. අපි දෙන්න දරුවන් හදන්න එක පරක්කු කලේ ජිවිතේ තව රස විදින්න ඕන නිසා..”

“ජයකොඩි මහත්මයා..අද දවසේ මේ තත්වයට පත් වන දෙනා එහෙම වෙන්නේ ජිවිතේ බොහෝ දේවල් අහිමි වුණ නිසා නොවෙයි. සිදු විය යුත්තේ නරක වෙලාවක නරක මිනිහෙක් හමුවීම පමණයි. ඔබේ බිරිදට සිදු වුණේ එයයි…මොහොමඩ් අල් හාවන් මුණ නොගැසුනා නම් අද තවමත් ඇය මේ නිවසේ. මේ පුද්ලයෝ දන්නවා කොහොමද තවත් අයෙකුගේ මනස සෝදා දමන්නේ කියලා. ඔවුන් ඒ සදහා විශේෂ පුහුණුව ලබපු අය. මේ වගේ අතුරුදහන් වීම් අද ප්‍රංශයේ විටින් විට සිදු වෙනවා. පුතුන්, දූවරු, දෙමාපියන්ට නොකියා අතුරුදහන් වෙනවා… ඇත්තම කියනවා නම් බිරිදක් තම සැමියාට නොකියා අතුරුදහන් වුණු පළමු අවස්ථාවයි මේ..”

තවත් දින කීපයකට පසු පැරිස් මහ පොලිසියට සම්බන්ධිත මෘත ශරීරාගාරයේදී මම මගේ බිරිදගේ මුහුණ අවසාන වරට දුටුමි. අගේ වත අවසන් වරට ස්පර්ශ කිරීමේ උවමනාව මට ඇතිවිය. අවසන් කාලයේදී නාදුනන පිරිමියෙකු විසින් සිප ගත්, එහෙත් දිගු කලකට පෙර මට අයිතිව තිබුණු අගේ පිච් රසැති දෙතොල් සිප ගැනීමට මට සිතුණි. එහෙත් නිරෝෂිනී ගේ සිරුර ප්‍රංශ රජයට අයිතිය. ඒ සිරුරට අත තැබීමේ අයිතියක් මට නොවිණ.

ඇගේ අවසන් බැල්ම මට මතකය. පෙර දින රාත්‍රියේ අපි දෙන්නා ගැලුණු කාමෝත්සවයේ රඟ මට මතකය. ඇගේ වත දෝතට ගත් මම අපේ ජිවිතයේ සරුසාර බව ගැන උදම් අනුවෙමි. පසුදා උදැසන නිවසින් පිටව යන්නට පෙර නිරෝෂිනී මදෙස බලා සිටියාය. ඇය හාදුවක් සුළගේ පා කර එව්වාය.

ඇලන් මොන්මේ නැමති පොලිස් අධිකාරිවරයා මා සමග මෘත ශාරිරාගාරයෙන් පිටවිය. පසුගිය දින කීපය පුරාම මා සමග ගනුදෙනු කර ගත් ඔහු දැන් මගේ සමීප මිතුරෙකු බදුය. අනාගතයේ හමුවන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් තමාව අමතන මෙන් ඔහු කියා සිටියේය. ගෙවුණු කාලය අපහසු එකකි. ඔබ තවමත් තරුණය. ජීවිතය යලිත් වරක් සුරතට ගැනීමේ හැකියාව ඔබට තිබේ. බුද්ධිමත්ව ජිවිතයට මුහුණ දෙන්නේ නම් එය ජය ගැනීමේ හැකියාව ඔබට තිබේ. ඔහු කිවේය.

දින කීපයක් ගෙවී ගිය තැන ජීවිතය බුධිමත්ව ගෙවා ගත හැකි මං මාවත් මම සෙව්වෙමි. එවැන්නක් සොයා ගැනීම අපහසුය. ඔබේ ජිවිතයෙන් හරි අඩක් අහිමි වූ විට මනස් පාලනය සොයා ගත නොහැකිය. එහෙත් එය මට හමුවිය. යලිත් වරක් ජිවිතයට අරුතක් එක කර ගත හැකි මගක් මම සොයා ගතිමි. එක දිනක ඇලන් මොන්මේ ඇමතු මම මෙසේ ඇසුවෙමි .

“නිරෝෂිනී ගේ කුඩා දරුවෝ දෙන්නා ඉන්නේ කොහෙද…? මට එයාලගේ……”



source http://thewoman.lk/story-girl-love/
 

Attachments

  • Story 1.jpg
    Story 1.jpg
    29.3 KB · Views: 590
  • Haha
Reactions: Voldemort Bro