නිවනේ නිවීම
"ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බසංඛාරසමථො සබ්බූපදිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං"
මෙයම ශාන්තය, මෙයම ප්‍රණීතය, එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
අද වෙනකොට භාවනාවට උනන්දුවක් දක්වන බොහොමයක් බෞද්ධයන් මීතිරිගල ආරණ්‍ය සේනාසනය ගැන දැනුවත්. එහෙම දැනුවත් නැතිනම්, ලංකාවෙ බුදුදහමේ ප්‍රායෝගික මාර්ගය එහෙමත් නැතිනම් සතිපට්ඨාන භාවනාව, ඉදිරියට ගන්න කැපවුණ සීමිත ආයතන වලින් එකක් විදිහට නිස්සරණ ආරණ්‍ය සේනාසනය හඳුන්වා දෙන්න පුලුවන්.
මේ ආයතනයේ සිදුවුන එක්තරා සුවිශේෂ සිදුවීමක් (1988) තමා "නිවනේ නිවීම" කියන දේශනා මාලාව දේශානා වීම. මෙම දේශනාවලිය එදා පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන් විසින් තම ගුරු හිමියන් වූ පූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන්වහන්සේ විසින් කරන ලද ආරාධනයෙන් සිදුකරන ලද්දක්. මෙම දේශනා මාලාවට මුල් වෙන හේතුව හරි අපූරුයි. එදා නිස්සරණ වාසී ස්වාමීන් වහන්සේලාට අභිධර්මය ඉගැන්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමෙන් පසු උන්වහන්සේලා භාවනා කිරීම උදෙසා ඒ අභිධර්ම දැනුම යොදා ගන්නවා වෙනුවට අභිධර්මයේ සංගෘහිත නානාවිධ "ලැයිස්තු" කටපාඩම් කරමින් නානාවිධ සංකල්ප ප්‍රායෝගික ප්‍රයෝජනයෙන් ඔබ්බට ගිය අර්ථයකින් පරිහරණය කරමින් කාලය ගත කිරීමට පෙලඹිලා තියනවා. මෙහි ඇති අනතුර දුටු මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ තම ශිෂ්‍යය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා "නිවීම" එහෙමත් නැතිනම් "නිවන" යන මාතෘකාවෙන් ධර්ම දේශනාවලියක් පවත්වන ලෙස. මෙම දේශනා මාලාව තුලදී උන්වහන්සේ සූත්‍ර අටුවා සසඳමින්, මනා සංයමයකින් යුතුව සාම්ප්‍රදායික මත විවේචනයකද යෙදෙමින් බුදුසමයේ "නිවීම" යන පදයට අරුත් විවරණයක් ලබාදී තිබෙනවා. (මෙහිදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ මේ අර්ථ විවරණ අභිධර්මයේ සමහර මූලික කරුණු සමග සමපාත නොවෙන බව හැබැයි මම කියන්න කැමතියි ඒකෙන් අභිධර්මය වැරදියි කියන පණිවිඩය ගන්න එපා)
අද වන විට මෙම දේශනාවලිය දෙස් විදෙස් යෝගාවචර බෞද්ධයන් අතර ප්‍රචලිත වෙලා තියනවා. මේ දේශනා මාලාවට විවිධ ස්වාමීන් වහන්සේලා විසින් ටීකා සැපයීම් කරලා තියනවා. මෙයින් වඩාත්ම ප්‍රසිද්ධ අනාලයෝ ස්වාමීන් වහන්සේ විසින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන ලද විවරණයත් ( Numata Center for Buddhist Studies, University of Hamburg in collaboration with the Barre Center for Buddhist Studies) නිස්සරණ ආරාණ්‍යයේ වර්ථමාන ස්ථානාධිපති පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේ විසින් සිංහල බසින් කරන ලද විවරණයත් ය. මම අද ඔයාලට හඳුන්වලා දෙන්න යන්නෙ ඒ දෙවනියට කියපු විවරණය. නිස්සරණ සේනාසන වෙබ් පිටුවෙන් කටුකුරුන්දේ ස්වාමීන්වහන්සේගේ දේශනාවලියත්, උන්වහන්සේගේ එම දේශනාවලියට ධම්මජීව ස්වාමීන්වහන්සේ විසින් දෙන අටුවාවත් බාගත කරගෙන සවන් දීමට පුලුවන්.

