නිවන සහ මාංශ භාවිතය.
අප ජීවත්වන මනුස්ස ලෝකයේ දී විවධ පුද්ගල කොට්ඨාශ දක්නට ලැබෙයි. ජාති කුල ලිංග වශයෙන් පමණක් නොව කන බොන දේ අනුව ද පුද්ගල කොට්ඨාශ දක්නට ලැබේ. සුප්‍රසිද්ධ වෙජිටරියන් නැත්නම් ශාක පමණක් ආහාරයට ගන්න පිරිස සහ මස්, මාංශ ආහාරයට ගන්නා පිරිස් ලෙසින් ද මේ කොට්ඨාශ බෙදා ඇත්තා හ. සමහරක් ආහාර වෙළඳසැල් ශාකමය නැත්නම් මාංශමය ආහාර විකිණීම සපුරා සිදු නොකරයි. සමහරක ඇත්තේ මාංශමය ආහාර පමණි. තවත් සමහරක මේ වර්ග දෙකේම ආහාර විකිණීම සිදු කරයි. ශාකමය ආහාර ගන්නා කොටස් ද භාවිතයේ දී කොටස් දෙකකි. ඒ වේගන් සහ වෙජිටරියන් ලෙසිනි. වේගන් කොටසට ඇතුළු වන පිරිසි කිරි පවා භාවිතා නොකරති. නමුත් වෙජිටරියන්ලා කිරි පාවිච්චි කරයි. මාංශමය ආහාර ගන්නා අයද මේ ආකාරයට කොටස් දෙකක් දක්නට ලැබේ. ඒ හොදි පමණක් කන්නවුන් සහ හොදි සමඟ කෑලිද කන්නවුන් ලෙසිනි. නිවන නැත්නම් පරම සතුට මේ ආකාරයට පුද්ගල කොට්ඨාශයන් අරමුණු කරගනිමින් පවතින්නක් නොවේ. නමුත් නිවන ද පුද්ගල කොට්ඨාශ දෙකක් අරමුණු කර පවතී. ඒ ප්‍රඥාවතුන් සහ අඥානයන් යන කොට්ඨාශ දෙක ය. ප්‍රඥාවන්තයින්ට නිවන ලඟ අතර අඥානයන්ට නිවන දුරය. නිවන සහිත බුදු දහම ප්‍රඥාවතුන්ගේ දහම වේ.
පෙර කී ලෙසින් පුද්ගල කොට්ඨාශ අරභයා බුදු දහම බෙදී නැත්නම් මස්, මාංශ භාවිතා කරන්නන්ගෙන් නිවන දුරස් වන්නේ ද යන්න විමසිය යුතු ය.
සත්ව ඝාතනය සහ මස් මාංශ භාවිතය එකිනෙකට වෙනස් ක්‍රියාවන් දෙකකි. සමහර අවස්ථාවලදී එය එකිනෙකට වෙනස් නමුත් එකිනෙකට සම්බන්ධ ක්‍රියාවන් දෙකක් ද වේ. මදුරුවකු මැරූ විට ඒ මදුරුවා ආහාරයට ගන්නා සිරිතක් අප තුළ නැත. නමුත් මදුරුවා මරයි. උකුණකු මැරූ විට උකුණා ආහාරයට ගන්නා සිරිතක් අප තුළ නැත. සමහරක් සතුන් මරනු ලබන්නේ මාංශය සඳහා ම නොවේ. මෙනිසාවෙනි මස් මාංශ භාවිතයත් සත්ව ඝාතනයත් එකිනෙකට වෙනස් වන්නේ.
මස් මාංශ භාවිතා කරන්නෙකුට නිවන දුරස් වන්නේ ද යන්න සැලකීමට නිවන හඳුනාගෙන තිබිය යුතු ය. මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ම බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දී ය. ඒ අනුව සත්වයා නොයෙක් ආකාරයෙන් විඳින්නා වූ දුක, නොමැති ස්ථානය නිවන ලෙසින් හඳුනා ගැනීමට හැකි වේ. සූත්‍රයේ දී නිවන අවබෝධ කිරීම සඳහා පිළිපැදිය යුතු ආර්යාෂ්ටාංගික මාර්ගය බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත.
දුක, ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබේ. බෞද්ධයන් තරම් දුක දන්නෝ ලොවෙහි තවත් නොමැති නිසා එය නැවතත් මෙහි දැක්වීම අවශ්‍ය නැත. නමුත් මස්, මාංශ භාවිතා කරන්නෙක් නැත්නම් එළවළුමය ආහාර පමණක් භාවිතා කරන්නෙක් ඔහුගේ ඒ පිළිවෙත දුකත් සමඟ සසඳා බැලීමක් කර බලා ඇත්දැයි මා නොදනිමි. ඇයි මම මස්, මාංශ ආහාරයට ගන්නේ? ඇයි මම ශාකමය ආහාර පමණක් ආහාරයට ගන්නේ? කියා ඔබ ඔබෙන්ම අසා බලන්න. ඒ අන්ත දෙකම ඔබ දරනා විශ්වාසය හෝ මතය අනුව දුකට කුමනාකාරයෙන් හෝ සම්බන්ධ වනු ඇත.
නිදසුනක් ලෙසින් බලමු. සමහරුන්ට මස් නොමැතිව කෑම අප්‍රියය. එය දුකකි. තවත් අයට මස් බෙදූ හැන්දකින් එළවළු හොදි බෙදූ විට ද අප්‍රිය ය. එය දුකකි. මේ දුක, බුදුරජාණන්වහන්සේ විසින් ප්‍රිය දේ නොලැබීමේ දුක ලෙසින් දුක්ඛ සත්‍යයේ දී පෙන්වා දී තිබේ. එවැන්නකුට මස් ලැබේ නම් සතුටකි. මෙනිසා තව තවත් මස් බලාපොරොත්තු වේ. නිසි ලෙසින් එළවළු ලැබේනම් සතුටකි. මෙනිසා තව තවත් එළවළුම බලාපොරොත්තු වේ. එය කුමක් ද? ධම්මචක්කපවත්තන සූත්‍රයේදීම හළ යුතු අංගයන් දෙකක් බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත. සිරුරට අධික දුක් දීමත්, සිරුරට අධික සැප දීමත් ඒ අංග දෙකයි. එයත් අවසානයේ කැරකී එන්නේ දුකටම ය.
දුකට හේතුව කිම? තණ්හාව බව බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත. යම් දෙයක් අල්ලා ගැනීමට ඇති ආශාව, අත් හැරීමට ඇති අකමැත්ත සරලවම තණ්හාව ලෙසින් සැලකිය හැක. ඔබට අවශ්‍ය මස් ම නම්, ඔබ මස් සඳහා ප්‍රිය නම් ඔබ ඒ අල්ලා ගෙන සිටිනවා විය හැක. ඔබට අවශ්‍ය එළවළුනම්, ඔබ එයට ප්‍රියනම් ඔබ එය අල්ලා ගෙන සිටිනවා විය හැක. ඒ අල්ලා ගැනීම තණ්හාව වේ. මෙයත් අවබෝධ කර ගත හැක්කේ ඔබගෙන් ඔබම විමසා සිටීමෙන් පමණි. කරණීයමෙත්ත සූත්‍රයේදී තමන්ට තමුන් අවංකවීම ගැන දේශනා කර ඇත්තේ මෙවැනි විටක ඔබගේ ප්‍රයෝජනය සඳහා ය.
දුක නැති කිරීමට නම් ඔබ නැති කළ යුත්තේ තණ්හාව ය. එනම් පෙර කී අල්ලා ගැනීමට ඇති ආශාව නැත්නම් අත්හැරීමට ඇති අකමැත්ත අත්හැරීම ය. එය ඔබටත් මටත් කජු කනවා වැනි සරල පහසු දෙයක් නොවේ. එසේ වූවා නම් අපි මෙලෙස මේ ලිපි කියවමින් වාද කරමින් ඉන්නේ නැත. දැනටමත් නිවන් දැකලා ය. එය බුදුරජාණන්වහන්සේ මනාව දැන සිටි බව කූටාගාරොපම සූත්‍රය කියැවීමේ දී සනාථ වේ.
තණ්හාව නැති කිරීමේ මාර්ගය වන්නේ ආර්යාෂ්ටාංගික මාර්ගයයි. මස් මාංශ භාවිතා කිරීමේ ආදීනව මෙන්ම එළවළුමය ආහාර පාවිච්චි කිරීමේ ආදීනවයත් ඔබට දැක ගත හැක්කේ ආර්යාෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනා විට ය. සම්මා දෘෂ්ටි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආර්යාෂ්ටාංගික මාර්ගය වේ. සම්මා දෘෂ්ටිය සාමාන්‍ය අර්ථයෙන් අපි හඳුන්වන්නේ නිවැරදි නැත්නම් යහපත් දැක්ම ලෙසිනි. සරලවම ගත් විට මේ තුළදී ඔබ කළ යුතු කුමක් ද නොකළ යුතු කුමක් ද යන්න හඳුනාගැනීම අදහස් වේ. ඔබට අනුව තණ්හාව වැඩෙන දේ ඔබ කරන්නේ නම් ඔබ ඉන්නෙ වැරදි දැක්මක ය. තණ්හාව අඩු කිරීමේ කාර්යයක ඔබ යෙදෙන්නේ නම් ඔබ යහපත් දැක්මක සිටී.
දැනටමත් ඔබ මස් මාංශ භාවිතා කරන්නෙක් නම් පෙර කී ආකාරයට ඒ මස් මාංශ භාවිතා කිරීමේ හේතුව ඔබම විමසා බලන්න. එය කුමනාකාරයේ හෝ අල්ලා ගැනීමක් නැත්නම් අත්හැරීමට අපහසු දෙයක් බවට ඔබට පෙනී යන්නේ නම් සම්මා දෘෂ්ටිය සම්බන්ධයෙන් යම් නිගමනයකට ඔබට පැමිණිය හැක. ශාකමය ආහාර පමණක් පාවිච්චි කරන්නෙකුට වුව ද මෙය මෙසේම ය.
ඒ අනුව සම්මා දෘෂ්ටියට ඔබ ඔබවම ඇතුල් කරගත් විට ඔබ කන්නේ, නොකන්නේ කුමක් ද යන්න ගැටළුවක් නොවනු ඇති අතර ඔබ එය සිදුකරන්නා වූ හේතුව ගැටළුවක් වනු ඇත. ඒ හේතුව ඔබ, ආර්යාෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්දේ ද නැත්ද යන්න පිළිබඳව ඔබව දැනුවත් කරයි.
ඔබ මස්, මාංශ කෑවත් නොකෑවත් ඔබ ශාකමය ආහාර පාවිච්චි කරන්නෙක් පමණක් වුවත් ආර්යාෂ්ටාංගික මාර්ගයේ ගමන් නොකරන්නේ නම් නිවන ඇත්තේ බොහෝ දුරිනි. ඔබ තේරුම් ගත යුත්තේ එයයි. එය මස්, මාංශ භාවිතයට පමණක් නොව අනෙක් සෑම කාර්යයකටම හේතු භූත වන්නේ ය.
