ඕස්ට්‍රේලියාවේ ආක්‍රමණශීලී ඔටුවන් මරා දමනවා මෙන් ඇතැම් රටවල නීතියෙන්ම සර්පයන් මරා දැමීමට ඉඩ ලබා දී ඇති බව ඔබ දන්නවාද?
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ Everglades වන උද්‍යානයේ ඒකදේශික සත්වයන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක්ව ඇති බුරුම පිඹුරා / Burmese Python (Python bivittatus) මරා දැමීමට එරට රජය මීට වසර කීපයකට පෙරම තීරණය කර තිබෙනවා. අද වන විට මෙම සත්වයා හේතුවෙන් ඇතැම් ක්ෂීරපායී හා කුරුළු විශේෂ වඳවීයාමේ තර්ජනයකටද ලක්ව ඇත. බුරුම පිඹුරා ඇමරිකා එක්සත් ජනපදයෙන් හමු වන්නේ කෙසේද ? ඔබ සිතනවා විය හැක. අප රටේ මෙන් නොව බොහෝ බටහිර රටවල සර්පයන් හා අනෙක් උරගයින් සුරතලුන් සේ හදා වඩා ගනී, මින් පිඹුරු විශේෂ වලට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. නමුත් තම සුරතලාගේ වැඩීමත් සමග ආහාර ලබා දීමේ ගැටළු හා සුදුසු ප්‍රමාණයේ වාසස්ථානයක් ලබාදීමට නොහැකි බව වැනි කරුණු නිසා මොවුන්ව ස්වභාවික පරිසරයට මුදා හැරීම සිදු කරයි. මෙම ක්රියාවේ අතුරුඑලයක් ලෙස අද වන විට ඔවුන් අභිජනනය කොට සැලකියයුතු ගහණයක් බෝවී හමාරය. එම හේතුවෙන් ඔවුන්ව ආක්‍රමණශීලී විශේෂයක් (Invasive species) ලෙස නම්කොට ඇත. උදාහරණයක් ලෙස 2009 හා 2010 වසර වල පිළිවෙලින් බුරුම පිඹුරන් 350ක් හා 300ක් පමණ ඉවත් කිරීමට එරට බලධාරීන්ට හැකිව තිබේ. අද වන විට පිඹුරු මාංශ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ප්‍රචලිත ආහාරයක් වී ඇත. නිකන්ම මරාදමනවාට වඩා මිනිසාගේ දෛනික ආහාර අවශ්‍යතාවන් සඳහා පිඹුරු මාංශ යොදාගැනීමද එරට නීතියෙන් අවසර ඇත. මෙලෙස බුරුම පිඹුරන් මරාදැමීම අනුමත කළ හැකිද? කෙටි පිළිතුර "ඔව්". මිනිසා විසින්ම ඇතිකළ මෙම පාරිසරික අසමතුලිතතාවය ඔවුන්ම දැන් නිවැරදි කරමින් සිටී. බුරුම පිම්බුරාගේ ස්වභාවික ව්‍යාප්ති කලාපයේ එනම් ආසියාතික කලාපයේ හොඳ ගහණයක් සිටින තාක් කල් මෙලෙස මරාදැමීම අනුමත කල හැක (අපගේ සංස්කෘතික හා ආගමික කෝණයෙන් බලනවා නම් එය අනුමත කල නොහැක නමුත් එමගින් ප්‍රායෝගික විසදුමක් ලැබෙන්නේ නැත. ඔවුන්ට එය අදාළ වන්නේද නැත). යම් සත්ව විශේෂයක් පරිණාමය වන්නේ ඔවුන් සිටින භූගෝලීය ප්‍රදේශයන්ට අනුරූපව අනුවර්ථනයන් සහිතවය එම සතුන් වෙනස් පරිසර පද්ධති වලට ගිහින් දැමීමෙන් සිදුවන්නේ පාරිසරික අසමතුලිතතාවක් පමණි. විශේෂයෙන්ම පිඹුරන් වැනි විලෝපිකයන්, ආහාර දාමයේ ඉහළ ස්ථානයක සිටියන විට (Apex predator ලෙස) ඔවුන්ගේ බෝවීමද සීග්‍රයෙන් ඉහළ යයි. චායාරූපයෙන් පෙන්වා ඇත්තේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වනජීවී කාර්යංශය මගින් අල්ලාගත් අඩි 15ක් තරම් වැඩුන සතෙක්ය
සංජය කණිෂ්ක snakesofsrilanka
චායාරූප : foxnews.com