නුගේගොඩ කෝසල සිහිනය

Jul 5, 2012
1,773
265
0
නුගේගොඩ කෝසල සිහිනය

කෝසළ සිහින - විසිවැන්න නොහොත් මෘත කළේබර ඔසවාගෙන යන්නවුන්ගේ කථා වස්තුව

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
Kosala.jpg





ගිම්හානයෙහි තද උණුසුමෙහි පෙරමඟ ලකුණු එළිපතට පැමිණ ඇතිවද තවමත් එකහෙලා පහව නොගිය ශිශිරයෙහි කටුක ශීතල ගත මෙන්ම සිතද පෙලනුයේ නිතැනිනි.සිත වෙහෙසියයුතු කුදු මහත් රාජකාරි කටයුතු නොගිණිය හැකි පමණ වූවද දිනකිහිපයක සිට සිත මෙන්ම ගතද පෙලෙනා කෙඩෙත්තුව කරනකොටගෙන කොසොල් රජතෙමේ සවස්වරුවම ගත කලේ සිරියහන් ගබඩාවෙහි සුවපහසු සයනය මත වැතිර ගත්වනමය.

රාත්‍රියාමය උදා වුවද ගත පෙලන දාහය කිසිසේත් ඉහිල්වූයේ නොවේ. එසේහෙයින්ම දහසක් අන්තඃපුර බිසෝවරුන් රජුගේ මනදොළ පිනවීම උදෙසා තුන්තිස් පැය මුලුල්ලේ සැදී පැහැදී සිටියද ඒ අරභයා කිසිදු තැකීමක් නොකල රජ තෙමේ මාළිගයෙහි තුන්වන මහලෙහි බිහිදොර අංගනය මත්තෙහි වූ සඳළු තලයට වන්නේ දින කිහිපයකට පෙර යවන දේශයෙන් වෙළඳාම් උදෙසා පැමිණි පියපුතු දෙදෙනෙකු විසින් තුටුපඬුරක් සේ ප්‍රදානය කරන ලද රත් පැහැ මුද්‍රික පානය පිරවූ ඔඩමක් හිස් කරන්නට වූයේය.

රජමාළිග අංගනය මධ්‍යයේ වූ නිල්දියෙන් සපිරි පොකුණ අභියස වූ රත්කරඳ වෘක්ෂයේ අහස් කුසට නැඟීගිය අතුපත් අතරින් දිලෙනා අටවක සඳ පාවීයන්නාවූ වළාවන් අතරින්ම අවරට යන තෙක්ම රජතෙමේ මුද්‍රික පානයෙන් සන්තර්පණය වූයේය.

අවසනැ පැසුළුයම ඇරඹීමට ආසන්නයේ සිරියහන් ගැබට වැද නින්දට වන් එතුමෝ අළුයම බියකරු සිහිනයෙක් දුටුවෝ අනපේක්ෂිතව පය ලිස්සාගොස් මහා ගංගාවකට ඇදවැටුනෙකු සියොළඟ තෙමීබත්වන්නේ යම්සේද එලෙස දහදිය කරණකොට සියොළඟ තෙමීගොස් බියෙන් තැතිගත්වනමැ අවදි වූවෝය.

එලෙස සියොලඟ දහදියෙන් නැහැවීයන පමණ භයංකර වූ සිහිනය යලි යලි මැවී පෙනෙන්නට වූයෙන් පෙරලා නින්දටවන්නට අසමත්වූ රජතුමෝ උදෑසන පෙර'ඹර පැහැපත් වනතෙක්ම සඳළුතලයෙහි සුවපහසු අසුනක් අරා දෑස් පියාගත්වනම ගතකලෝ හිමිදිරියෙහිම මුව දොවාපියාලා සිරුරුකිස, මුව දෙවීම යනාදී අත්‍යාවශ්‍ය වූ කටයුතු වලින් අනතුරුව තම මංගල සෛන්ධවයා අරා දෙව්රම බලා පිටත් වූහ.

අප තිලෝගුරු ගෞතම බුදුන් වහන්සේද සුපුරුදු වූ පරිද්දෙන් උදෑසනක් සේම පිබිදියාහු මුව දොවාලා පියා අනතුරුව පාතරාසයෙන් ඉක්බිති දෙව්රම් වෙහෙර අංගනයෙහි සුවිසල් සල් රුකක් සෙවණෙහි විවේක සුවයෙන් වැඩ හුන්නෝය.

බුදුන් වහන්සේගේ ශාන්තවූ මුව මඬල, රාත්‍රියෙහි දුටු බියකරු සිහිනය කරණකොටගෙන එතෙකුදු පහව නොගිය බිය සංකා ඇති රජතුමාගේ සිතට මහත් වූ සහනයක්ම වූයේය. බුදුන් වහන්සේ වෙත එළඹ නමස්කාර කොට එකත්පස්වැ හුන් රජතුමා දෙස සිනහ මුසුව නෙත්යොමුකල අප මහ කාරුණිකයාණෝ මෙසේ පිළිවිසියහ.

" කිමෙක්ද මහරජ..මේ උදෑසනක්සේම?....තවත් බියකරු සිහිනයෙක් දුටුවෙහිද? "

" එසේය ස්වාමීනී..රාත්‍රියෙහි පශ්චිම යාමයෙහිදී දුටු එක්තරා බියකරුවූ සිහිනයක් හේතුකොටගෙන බියෙන් තැවෙන්නෙමි. එතැන් පටන් නින්දක් හෝ නොමැත්තේය. එසේ වූ හෙයින් අළුයම් වූ ඇසිල්ලෙහි ඔබතුමන් බැහැදැක ඒ පිලිබඳව පවසා සහනයක් ලබනු රිසිවැ උදක්ම පැමිණියෙමි. "

" කිමෙක්ද රජතුමනි..මේසා ඔබ බියපත් කල සිහිනය?..වහා පවසනු මැන " …..මෙසේ පවසමින් බුදුහු රජතුමා දිරිමත් කලෝය.

එබස් ඇසූ රජතුමෝ දෑඟිලි බැඳගත්වනමැ හිඳ හිස ද පහතට හරවාගෙන මෙසේ පවසන්නට වූවෝය.

" ස්වාමීනී ඊයේ පශ්චිම යාමයෙහි මවිසින් දක්නා ලදැ ඒ බියකරු සිහිනය නම් මේ ලෙසයැ. වාමනයන් බඳුවූ විසුළු පුරුෂයින් සිව් දෙනෙකු මෘත කළේබරයක් දඬු මැස්සක තබාලා පියා සතර දෙසින් ඔසවාගෙනැ වීදි සඤ්චාරය කරන්නාහ. මියගොස් මසක් පමණ ගතවීයැයි දුටු වහාම කිසිදු සැකයෙකින් තොරව ස්ඵුට වන්නාවූ ඒ මෘත කළේබරයෙන් ගලන්නාවූ කුණුවූ ඕජසින් නික්මෙන දුර්ගන්ධය හාත්පස පැතිරෙන මුත් ඒ ඔසවාගෙන යන්නාවූ වාමනයන් බඳු පුරුෂයෝ ඒ පිළිබඳවැ කිසිදු තැකීමක් නොකොට ප්‍රීති ඝෝෂා පවත්වමින් සරන්නාහුය. "

" මේ ජුගුප්සාජනක දර්ශනය ඉවසාගත නොහුණු නුවරු නොයෙක් ලෙසින් වාමන පුරුෂයින්හට අවමන් කරන්නහුය.... කොළ පවිටුවනි, තෙල මෘත ශරීරය කරතබාගෙන වීදි සරමින් තොප කුමක් අපේක්ෂා කරන්නාහුද? තොපවෙතින් නික්මෙන දුර්ගන්ධය කිසිසේත් ඉවසනු නොහැකිය. වහා තෙල මෘත ශරීරය අමු සොහොනකට ගෙන ගොස් දමා ගලායන්නාවූ ජලපහරකට වැද ස්නානය කොට පිරිසිදු වනු මැනව. යනුවෙන් නාස් මිරිකාගත් වනමැ ඝෝෂා කරන්නාහුය. ඒ කිසිදු බසක් නොතකන වාමන පුරුෂයෝ සිව් දෙන, නැත නැත මේ කිසිසේත්ම මෘත කලේබරයක් නොවන්නේය. මේ වනාහී අපගේ අසහාය නායකයානන්ම වෙති. එනු මැනවි. අපගේ මහා නායකයාණන් වටා එක්රොක් වනු මැනවි. උහු අප විමුක්තිය කරා ගෙන යන මහා රජිඳානෝය. අපගේ පහන් තාරකාවෝය. අපගේ පුන් සඳානෝය. අපගේ සූර්ය දිව්‍ය රාජයාණෝය..අපගේ....අපගේ....අපගේ..."

" එබස් අසා කිපුණු නුවර වැස්සෝ කොළ නින්දිත වාමනයිනි. තොප අහස පොළව නුහුලනා අසත්‍යයක් පවසන්නාහුය. දුගඳ හමන්නාවූ, මාංශ දියවීගියාවූ, ඕජස් ගලන්නාවූ කුණපයක් කිසිදු හිරිකිතක්, පිළිකුලක් නොමැතිව කරතබා යන්නා පමණක් නොව ඒ පිලිකුල් සහගත ක්‍රියාවට සම්මාදම් වන ලෙස අපටද ආරාධනා කරන්නාහුය. යව, යව, මේ පුරවරයෙහි මොහොතකුදු රැඳී නොසිට තොපගේ නායකයාණන් වන තෙල මෘත කලේබරයද රැගෙන වහා මේ නුවරින් පිටවෙව යනාදී වශයෙන් නොයෙක් ආක්‍රෝශ පරිභවයෙන් නින්දා කලාහු කැට කැබලිත්තෙන් පහර දී පළවා හැරියාහුය."

මේ නයින් තමන් දුටු ස්වප්නයෙහි විස්තර බුදුන් වහන්සේ අමතා පැවසූ රජ්ජුරුවෝ මඳක් අවකාශගෙන ඉක්බිති යලිදු උන්වහන්සේ නමැද මෙසේ පවසන්නාහ.

" එසේ හෙයින් මාගේ ස්වාමීනී. මේ බියකරු සිහිනය වනාහී මා හට හෝ මාගේ වැසියන්හට හෝ මාගේ රාජ්‍යයට හෝ සිදුවන්නට නියමිතව ඇත්තාවූ යම් අනතුරක පෙරනිමිත්තක් දෝ හෝයි බියෙන් තැවෙන්නෙමි. "

එබස් ඇසූ බුදුන් වහන්සේ මන්දස්මිතියෙන් යුතුවැ මඳක් නිහඬව හුන් ඉක්බිති යලි රජුන් බැණවූහ.

" කිසිසේත්ම බිය විය යුතු නැත. මහ රජතුමනි. මේ නම් තොපට හෝ රටවැස්සන්ට හෝ මේ රාජ්‍යයට සිදුවන්නට නියමිතව ඇත්තාවූ යම් අනතුරක පෙර නිමිත්තක් නොවේමය. මේ වනාහී මින් වසර දෙදහස් පන්සියයකට අනතුරුව මේ ජම්බු ද්වීපයට දකුණු දෙසින් පිහිටි කුඩා දිවයිනක සිදුවන්නකි. "

" ඒ කාල වකවානුවක එහි වැස්සන්හට පල් හොර කණ්ඩායමකගෙන් බොහෝ ගැහැට සිදුවන්නාහ. එදවස එහි දක්ෂිණ භාගයෙහි උපත ලබන්නාවූ එක් පුරුෂයෙක් ඒ දිවයිනෙහි ජන සම්මතයෙන් නායක පදවියට පත් වන්නේ කෙසේ හෝ චෞරයින් පරදවා සියලු ජනයාහට ශාන්තිය උදාකරන්නාහ. මෙසේ රට පාලනය කරන්නාවූ මේ පුරුෂ තෙමේ මෙසේ සිතන්නාහුය. කිසිවෙකුට දමනය කල නොහැකිවූ තෙල චණ්ඩ චෞරයා ජීවිතක්ෂයට පත්කලෝ මම්ම වේද? එසේ හෙයින් මේ දිවයිනෙහි යාවජීව රජ තනතුරට මා හැර අන් සුදුස්සෙක් ඇත්ද? මෙසේ සිතා ඒ පුරුෂ තෙමේ මානයෙක් මත්වූවෝ රාජ්‍ය පාලන අණපණත් අත්තනෝමතික ලෙස සංශෝධනය කොට තමන් යාවජීව රජු ලෙස සිතා කටයුතු කලෝය. උහුගේ දරදඬු අත්තනෝමතික පාලනය ඉවසිය නොහැකි කල්හි රටවැස්සෝ රහසින් කතිකා කොට උහු බහුතර මනාපයෙන් පළවා හැර තමන් සිත්ගත්තාවූ වෙනත් කෙළෙඹි පුත්‍රයෙක් පාලක තනතුරට පත්කොට ගත්තාහුය. "

" පාලන බලයෙන් පහකොට පළවා හැරි ඒ අත්තනෝමතික පාලකයා සමඟ උන් රාජ්‍යය පාලනය කරන සමයේ උහු සෙවණේ සුවච කීකරු සුනඛ පෝතකයින් සේ ලැග හිඳිමින් මහජන මුදලින් සිත්සේ කාබී සතුටුවූ නිවට අන්තේවාසිකයින් කැලද තම යසඉසුරු අහිමිව පලාගියෝය. "

" එසේ වුවද බොහෝ කාලයක් මුලුල්ලේ මහජන මුදලින් සුර සැප විඳි ඔවුහු වැඩි කලක් ගතවන්නට පළමු තම සුපුරුදු යස ඉසුරු රහිතව ජීවත්වීමේ අසීරුව වටහා ගත්තෝ නැවත සුපුරුදු ජීවිතයට ප්‍රවිෂ්ඨ වන්නේ කෙසේදැයි කල්පනා කලෝය. දේශපාලන වශයෙන් පාරාජිකා වූ ඔවුන් අතරින් සිව් දෙනෙකු අවසානයෙහි සාමූහික නිගමනයකට එලඹියහ. එනම් පරාජිත රජතුමා තම කරමතට ගෙන උහුගේ මාර්ගයෙන් කෙසේ හෝ මහජනයා මුළාකොටැ නැවත බලයට පත්වීම තමන්ට ගැලවීමට ඇති ඒකායන මාර්ගය බව ඔවුනට පසක් විය. එලෙසම තම තීරණය ක්‍රියාත්මක කල එම සට්ටැඹියන් සිව් දෙන ජාතික නන්නත්තාර පෙරමුණ නම් දේශපාලන පක්ෂයක් අටවා ගත්තාහු පරාජිත රජතුමා උර මත තබාගෙන රට පුරා සංචාරය කිරීම ආරම්භ කළෝය."

මෙසේ පැවසූ බුදුන්වහන්සේ කොසොළ් රජු දෙස සිනාමුසු මුහුණින් මඳක් බලා සිටියේ යලි මෙසේද පැවසුවෝය.

" ඒ නන්නත්තාරයින් සිව්දෙනා මෙබඳුය. එකෙක් කලක් හුදී ජන විමුක්තිය උදෙසා විප්ලව කිරීමේ ඒකායන පරමාර්ථය ඇතිව කල් ගෙවා පසුව මහළු වියෙහිදී තම සියලු ප්‍රතිපත්ති නිර්ලජ්ජී ලෙස පාවා දෙමින් අන්තේවාසික යන නාමයට නව අර්ථ විවරණයක් සැපයූවෙකි. ඒ හා සමාන මහළු වියෙහි පසුවන දෙවැන්නා පොදුජන උන්නතිය උදෙසා බොහෝ සේ කටයුතු කල උදාර පියෙකුගේ පුත්‍රයා වීමේ භාග්‍යය විනා අන් කිසිදු දේශපාලන හැකියාවක් නැත්තෙකි. ඔවුනට ලාබාල වූ අනෙක් දෙදෙනාද ඔවුන්ටම දෙවෙනි නොවෙනා කෝණංගියෝ වෙති. එකෙක් වාචාලකම නෛසර්ගයෙන්ම උරුමවූ කට හැකරයෙකි. සිහිගිරි පවා නොගිය එමෙන්ම මහල්ලා සහ මුහුද රචනා කලේ කවුදැයි නොදන්නා මුත් ජාතිය රක්නා පංචායුධය යයි තමන්ටම විරුදාවලියක් ප්‍රධානය කරගන්නා තරමට උද්ධච්ඡයෙකි. සතර වැන්නා මිනිසුන්ගේ කැමැත්ත ලබාගැනීමට වියදම් කිරීමට ඔවුන්ගෙන්ම මුදල් එකතු කල සට කපටයෙකි. "

මෙසේ සිහින විවරණය නිමා කල බුදු රජානෝ " එසේ හෙයින් මහරජ නොබා හිඳිනු මැන " යනුවෙන් යලිදු මන්දස්මිතියෙන් යුතුවැ රජු අමතා වදාළෝය.

" එසේය ස්වාමීනී..ඔබගේ වදනින් මසිත බිය සැක දුරුව පහන් වූයේ වළාපෙලකට මුවාව සිටි පුන්සඳ වලාවන් පහව ගිය ඉක්බිති බබලන්නාසේය. ඔබට බොහෝසේ ස්තූතියි. ඒ සමඟම මසිත පැනනැඟි කුකුසක් දුරුකොට ගැන්මට ඔබේ අවසර….."

" එසේය මහරජ. විමසනු මැන..විමසා සැක දුරුකොටගනු මැන.."

" ස්වාමීනී. එදවස එම අනාගත දේශයෙහි ඔබ වහන්සේ පැවසූ අන්තේවාසිකයින් සිව්දෙනා අපේක්ෂාකරන පරමාර්ථය සාර්ථක වේද? "

" කිසිසේත්ම නැත මහරජ, කිසිසේත්ම නැත..මෘත කලේබරයකට යලි ජීවය ලබා දිය හැක්කේ කවර ජගතෙකුටද?...එලෙසින්ම ගලායන මහා ගංගාවක් දෑතින් නවත්වා ආපසු හැරවිය හැක්කේ කාටද? මහරජ, අසනු මැන,ඔවුන්ගේ උත්සාහය ඒකාන්ත වශයෙන්ම පරාජය වන්නේය. එසේ වී ඒ දිවයිනට ඉතා යහපත් කාලයක් ඉක්බිති උදාවනු ඇත. "

" සාදු..සාදු..සාදු..ඔබට යලිත් වරක් ස්තූතියි ස්වාමීනී!!! …"

කොසොළ් රජතුමෝ මෙසේ පවසමින් බුදුන් වහන්සේ ඉදිරිපිට පසඟ පිහිටුවා වැඳ වැටුණෝය.

කෝසළ සිහින - විසිවැන්න නොහොත් මෘත කලේබර ඔසවාගෙන යන්නවුන්ගේ කථාවස්තුව මෙතෙකින් නිමියේය.

ඒවං මේ සුතං..මා විසින් මෙසේ අසන ලදී.


Original post
 
  • Like
Reactions: BonziBUDDY

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    බුදු වදන් විකෘති කරන්න එපා පොන්ස්.අද යන තැනක පරිස්සමින් පල :yes:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෘත කලේබරයකට යලි ජීවය ලබා දිය හැක්කේ කවර ජගතෙකුටද?.
    Ranil dannawa :D
    27 parak merila aaye oya aawe :lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    බුද්ධ කියන නම පවා උපහාසාත්මක විදියට යොදාගෙන කරපු මේ අපහාසයට තෝ නිරයේ යන එක නම් නතර කරන්න බැහැ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්ද රාජපක්ෂ
    - යුද්ධය ඉවර කරපු නායකයා
    - කපටි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළා ( ඇමෙරිකාව , බ්‍රිතන්‍ය අපිට එරෙහි වන විට චීනය සහ රුසියාවට සමීපව සිටීම )
    - මම දන්නා විදිහට මහින්ද තමාට කියලා පෞද්ගලික දේපලක් අනිසි ලෙසට උපයාගෙන නෑ ..
    - ජනාධිපති මන්දිරය මාලිගාවක් උනත් එක තියෙන්නේ ජනාධිපතිවරයෙක්ට මිසක මහින්දට නෙවෙයි ..
    - යටිතල පහසුකම් ලෙස මහාමාර්ග සංවර්ධනය කළා ,විදුලිය ලබා දුන්න ,නැණසල ව්‍යපෘතිය
    - උතුර සහා නැගෙනහිර මහාමාර්ග සංවර්ධනය

    මගේ දැනුමට අනුව මිනිස්සුන්ට හැමදාම පිනට කන්න දෙන්න බෑ රජයකට ..එක නිසා මාර්ග දියුණු කරලා යටිතල පහසුකම් දියුණු කරන්න ඕනි ..එතකොට තමයි කර්මාන්ත ඇතිවෙලා ,නව ව්‍යපාර අවස්ථා ඇති වෙන්නේ ...දවසෙන් දෙකෙන් මිනිස්සුන්ගේ දුප්පත් බව නැති කරන්න බෑ ..

    මහින්දගේ නරක

    - මර්වින් , දුමින්ද සිල්වා වගේ මිනිස්සුන්ට මොනවත් නොකිරීම .( එත් මම දන්නා විධිහට කිසිම පුද්ගලයෙක් මේ පුද්ගලයන්ට එරෙහිව උසාවි ගිහිල්ල චෝදනාවක් ඔප්පු කරලා නැ ,ඔප්පු කලා නම් දඩුවම් දෙන්න තිබ්බා, මොකද චෝදනාවක් එල්ල උනා කියලා කිසිම දෙයක් කරන්න බෑ )
    - නාමල් දේශපාලනයට ගෙන ඒම ( ඉක්මන් වැඩි මම හිතන්නේ )
    - ඇමති /මන්ත්‍රීවරු දුෂණ කරනවද යන්න පරික්ෂා නොකිරීම ..මොවුන් මහින්දගේ නම ,බලය ප්‍රයෝජනයට ගෙන අනිසි විදිහට හම්බ කලා ..


    එත් රනිල් ගේ ආණ්ඩුව අද වෙනකම් කරපු කිසිම දෙයක් ගැන මගේ පැහැදීමක් නෑ ...අද වෙනකන් රාජපක්ෂ පවුලට file පිටින් තියෙනව කිව්වා චෝදනා එකක්වත් ඔප්පු කරගන්න බැරි උන ...එත් දුෂිත නිලධාරියෝ ඔප්පු උන ...එතකොට ඇත්තටම වැරදි කරේ මහින්දගේ නම ,බලය ප්‍රයෝජනයට ගනිමින් නිලධාරීන්/මන්ත්‍රීවරු නේද ...ජනාධිපති කියල මේ හැම ප්‍රශ්නයක්ම විසදන්න මැදිහත් වෙන්න බෑ .එකට තමයි බලය බෙදල ඇමතිවරු ,දෙපාර්තුමේන්තු ඇති කරලා තියෙන්නේ .....වර්තමාන ජනාධිපති අවා කියල දුෂණ නැති උනාද ,පාතාලය නැති උනාද ,රටේ ප්‍රශ්න ඔක්කොම විසදුනද ....?


    ඒකාධිපති නායකයෙක් උනත් ලිබියාව එදා කොයි තරම් ලස්සන රටක්ද ..එත් අද ..?

    කිසිම රටක් අපිට හොද හිතින් උදව් කරන්නේ නෑ ..අපි අස්ථාවර වන තරමට අ රටවලට අපිව හසුරවන්න පුළුවන් ..එක තමයි දැනුත් බටහිර රටවල් සහ ඉන්දියාව කරන්නේ ...මම හිටන්නේ නැ ඉන්දියාව අපිට බලවත් වෙන්න දෙයි කියලා ..ඔවුන් හොදටම දන්නවා අපි බලවත් උනොත් අපිට මිතුරු පකිස්ථානය සමග එක් උනොත් දකුණු ආසියාවේ බලවතා වෙන්න බෑ කියලා ...

    එක නිසා මෝඩ මිනිසුනේ , දැන් මේ ප්‍රශ්න අපේ රට තුල පමණක් බලපාන දෙයක් නෙවෙයි ..එක නිසා මොලය පාවිච්චි කරන්න ...අපි කාගෙවත් අතකොළුවක් ,වහලෙක් ,රූකඩයක් වෙනවද නැත්තන් කෙලින් නැගීසිටිනවද කොන්ද පණ තියෙන ජාතියක් ලෙසට ......අපි දෙපැත්තට බෙදිලා ඉන්නකන් TNA , ඩයස්පෝරාවට අපේ රට දෙකට බෙදන්න ලේසි ...එක තේරුම් ගන්න ...
    :dull:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ජිංතක ජිල්ලබකිට;17947453 said:
    නැත නැත මේ කිසිසේත්ම මෘත කලේබරයක් නොවන්නේය. මේ වනාහී අපගේ අසහාය නායකයානන්ම වෙති. එනු මැනවි. අපගේ මහා නායකයාණන් වටා එක්රොක් වනු මැනවි. උහු අප විමුක්තිය කරා ගෙන යන මහා රජිඳානෝය. අපගේ පහන් තාරකාවෝය. අපගේ පුන් සඳානෝය. අපගේ සූර්ය දිව්‍ය රාජයාණෝය..අපගේ....අපගේ....අපගේ..."
    :lol::lol::lol: හිනාවෙලා බඩ රිදෙනවා Rep+