නෙළුම් කුලුන

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    lotus.jpg

    ඒ 2008 අවුරුද්දේ දවසකි. පෑලියගොඩ ඉංජිනේරු සංස්‌ථා වැඩබිමට අයත් භුමියේ හෙමි හෙමින් ඇවිද ගිය හතර දෙනෙකි. ඒ හතර දෙනා නම් විදුලි සංදේශ නියාමන කොමිසමේ එවකට සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම, නෙලුම් කුලුන ව්‍යාපෘති අධ්‍යක්‌ෂ ලෙස පසුව සේවය කළ ධර්මසිරි ද අල්විස්‌, මොරටුව විශ්වවිද්‍යාලයයේ වාස්‌තු විද්‍යා අංශයේ මහාචාර්යවරුන් වන නිමල් ද සිල්වා හා සමිත මානවඩු යන පිරිසයි.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මඟින් බහුකාර්ය විදුලි සංදේශ කුලුනක්‌ ඉදි කිරීමට තීන්දු කළ දා පටන් මේ විද්වත්තු සිව් දෙනා ඒ සඳහා කටයුතු සැලසුම් කිරීම සඳහා නිරත කරවනු ලැබූ හ. මුලින් ම ඔවුහු කුලුන ඉදි කිරීම සඳහා රජයෙන් වෙන් කරනු ලැබූ පෑලියගොඩ පිහිටි ඉංජිනේරු සංස්‌ථාවට අයත් හෙක්‌ටයාර දහයක ඉඩමේ සෝදිසි සංචාරවල නිරත වූ හ. මෑතක දී ව්‍යාපෘති අධ්‍යක්‌ෂවරයා වශයෙන් පත් වූ ශාන්ත ගුණනන්දන මහතා ද මේ මුල්කාලීන ක්‌ෂේත්‍ර චාරිකා කිහිපයකට එක්‌ වූ විද්වතෙකි.

    lotus1.jpg

    නෙළුම් කුලුනට එනම ලැබුණේ මෙසේ ආ ගිය ගමනක දී ය. සංස්‌ථා භුමියේ කුඩා දිය පොකුණක ඉහළට මතු වී තිබූ නෙළුම් මලක්‌ දුටු අපේ විද්වත් පිරිසට යෝජිත කුලුන නෙළුම් දණ්‌ඩක්‌ හා නෙළුම් මලක්‌ ලෙස නිර්මාණය කිරීමේ අපූරු අදහස මතු වුණේ ය.

    එයට සියල්ලන් ගේ අනුමැතිය හිමි වූ නිසා එතැන් සිට කුලුනේ සංකල්පමය සැලසුම් සියල්ල නෙළුම් දණ්‌ඩක්‌ හා එහි ඉහළ කෙළවරේ වූ නෙළුම් මලක හැඩය ගනු ලැබී ය.

    කුලුන ඉදි කිරීමේ සැලසුම මෙසේ ක්‍රියාත්මක වෙද්දී ඊට දිරි ගැන්වීම් මෙන් ම බාධා පමුණුවන ආකාරයේ යම් යම් සිදුවීම් ද අත්විඳින්නට සිදු විය.

    මුලින් ම කුලුන ඉදි කිරීම සඳහා යෝජිත ව තිබූ බිම් ප්‍රමාණය හකුළාගන්නට දේශපාලන තීරණ නිසා සිදු විය. එවකට ඉංජිනේරු සංස්‌ථාව භාර දේශපාලන අධිකාරිය විසින්, නෙළුම් කුලුන ඉදි කිරීමට තෝරාගත් හෙක්‌ටයාර දහයක ඉඩ ප්‍රමාණයෙන් හෙක්‌ටයාර හතක පමණ ඉඩක්‌ ආකෘති ගම්මානයක්‌ ඉදි කිරීම සඳහා අවශ්‍ය බව දන්වනු ලැබී ය.

    සන්නිවේදන අවශ්‍යතාවලට අමතර ව, විනෝදාත්මක, වෙළෙඳ හා සංචාරක ප්‍රවර්ධන අරමුණු පෙරදැරි කරගෙන සංකල්ප සැලසුම් නිර්මාණය වෙමින් තිබූ කුලුනේ මූලික අරමුණුවලට අදාළ අංගෝපාංග රාශියක්‌ විය. එයට ඩිස්‌නිලන්තය ආකාරයේ තේමා උද්‍යානයක්‌ ද ඇතුළත් විය. එහෙත් අවාසනාවකට මෙන් මුලින් වෙන් කළ හෙක්‌ටයාර 10 හෙක්‌ටයාර් 2.7 දක්‌වා අඩු වීම හේතුවෙන් සංකල්පමය සැලසුම් සීමා කරන්නට විය.

    අවසානයේ නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා වෙනත් භූමියක්‌ 2011 ජුලි මාසයේ දී ලැබුණේ ය. එය බේරේ වැව අසබඩ වූ හෙක්‌ටයාර 3.1ක්‌ වූ ඉඩමකි. ඒ වර්තමානයේ නෙළුම් කුලුන ඉදි වී ඇති බිම්කඩයි. ඊට යාබද ව වූ තවත් අක්‌කර පහක ඉඩමක්‌ ඉදිරි කාලයේ දී මේ ව්‍යාපෘතියට පවරාගන්නට සැලසුම් කෙරුණේ යෝජිත විනෝද උද්‍යානය ඉදි කිරීම සඳහා ය. එහෙත් මේ දක්‌වා එම පවරාගැනීම ප්‍රමාද වෙමින් පවතී. කෙසේ වුව ද රටක සංකේතාත්මක ඉදි කිරීමක දී ඊට වඩාත් ම සුදුසු වූ ස්‌ථානයක පිහිටි ඉඩකඩක්‌ පසුව හෝ ලැබුණු නිසා මෙහෙයුම් කණ්‌ඩායම යළි උනන්දුවෙන් කටයුතු කරගෙන ගියේ ය.



    කුලුන ස්‌ථානගත කිරීම

    ඉතා විශාල ව්‍යාපෘතියක්‌ වන නෙළුම් කුලුන ඉදි කිරීමේ කර්තව්‍යයේ දී අප නො සිතන ක්‌ෂේත්‍ර බොහෝ ප්‍රමාණයක්‌ තුළ කරුණු විමසා බලා තිබේ. සංකේතාත්මක කුලුනක්‌ ලෙස යොදාගැනෙන මෙය කොළඹ අවට විවිධ ස්‌ථානවලට දිස්‌ වන ආකාරය පිළිබඳ ව සලකා බැලීම බෙහෙවින් වැදගත් වූවකි. මෙසේ සලකා බලන ලද ස්‌ථානවලට දිස්‌ වන හොඳ ම ආකාරයට මෙහි ස්‌ථානගත කිරීම සීරුමාරු කර තිබේ. විශේෂයෙන් ම කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයට නෙළුම් කුලුන දිස්‌ වන ආකාරය ගැන එහි සැලැස්‌ම සමඟ සසඳමින් සලකා බලනු ලැබූයේ GSP තාක්‌ෂණය ද උපයෝගී කරමිනි. කුලුන සැලසුම් කරන අවධියේ දී කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඉදි වී නො තිබුණු අතර ඒ සඳහා වූ සැලසුම් උපයෝගී කරගෙන මේ ස්‌ථානගත කිරීම සිදු කර ඇත.



    සැලසුම් හා ඉදි කිරීම් සමාගම්

    නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා මූලික ඇස්‌තමේන්තුවක්‌ සකස්‌ කෙරුණේ සංකල්පමය සැලසුම් පදනම් කරගෙන ය. එය මුලින් ඇමෙරිකානු ඩොලර් මිලියන සියයකි. පසුව එය මඳ වශයෙන් සංශෝධනය වුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන එක සිය හතරක්‌ ලෙස ය. ඉදි කිරීම් සැලසුම් කළ මුල් කාලයේ එය ලංකාවේ මුදලින් නම් රුපියල් බිලියන 12කි.

    සැලසුම් කළ පරිදි මීටර් 356.3 (අඩි 1,167)ක්‌ උසට බහු අරමුණු සහිත කුලුන ඉදි කිරීමට නම් ඒ සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික විද්වත්තු සිටිත් ද, ආයතන වේ ද යන්න සොයා බලන්නට සිදු විය. මහාචාර්ය මානවඩුට අනුව වාස්‌තු විද්‍යාත්මක නිර්මාණකරණයේ දී ඒ සඳහා ගැටලුවක්‌ නො වූ මුත් මීටර් දෙ සියයට වඩා උස්‌ වූ ගොඩනැඟිල්ලක්‌ හෝ කුලුනක්‌ හෝ එතෙක්‌ මෙරට ඉදි වී තිබුණේ නැත. මෙවන් ඉදි කිරීමක දී අවශ්‍ය සැලසුම් කිරීම, ඉදි කිරීම, යන්ත්‍රොaපකරණ හා ආරක්‌ෂක විධික්‍රම ආදී නොයෙකුත් තාක්‌ෂණ කරුණු සලකා බැලීමේ දී පෙර පළපුරුද්දක්‌ නොමැති විට එම තාක්‌ෂණය පිටතින් ලබාගැනීම පිළිගත් සම්ප්‍රදායයි. ඒ අනුව ශ්‍රී ලාංකික විද්වතුන් ගේ සංකල්පමය සැලසුම් පදනම් කරගෙන කුලුනේ සවිස්‌තර සැලසුම හා ඉදි කිරීම් කටයුතු කිරීමට විදේශීය සහාය ලබාගැනීමට නිර්දේශ කෙරිණි. සැලසුම් කටයුතුවලට සුදුසු ආයතනයක්‌ මුලින් ම සොයාගත යුතු විය.

    lotus2.jpg

    ඒ අනුව මුලින් ම නම් සඳහන් කළ විද්වතුන් සතර දෙනාට බාර කෙරුණේ මේ සැලසුම සවිස්‌තර ව නිම කිරීමට සුදුසු අන්තර්ජාතික සමාගමක්‌ පිළිබඳ ව සොයා බලන ලෙසටයි. මේ අරමුණ ඇති ව ලෝකයේ රටවල් කීපයක සමාගම් ගැන සොයා බැලීමෙන් පසු අපේ විද්වතුන් පිරිසට තේරුම් ගියේ මෑතකාලීන ව නෙළුම් කුලුන මෙන් උසැති කුලුනු ඉදි කිරීමේ අත්දැකීම් සහිත අපට සරිලන තාක්‌ෂණයක්‌ සහිත රට චීනය බවයි. ඒ නිසා පෑලියගොඩ ඉංජිනේරු සංස්‌ථා භූමියේ නිරීක්‌ෂණ චාරිකාවකට මුලින් ම එක්‌ වූ විද්වත්තු සිව් දෙනා ම චීනයේ සුදුසු සැලසුම් සමාගමක්‌ සොයා ගමන් ඇරඹූ හ. මේ සඳහා ඔවුහු කල් ඇති ව ම චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත තමන් විසින් පිළියෙල කරන ලද සංකල්පමය සැලසුම් කිහිපය යවා නෙළුම් කුලුනේ සවිස්‌තර සැලසුම් කටයුතු කරගැනීම සඳහා සුදුසු ආයතන පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලා සිටිය හ.

    අපේ විද්වත් පිරිස මේ ගමනේ දී ආයතන දෙකක්‌ වෙත යොමු කෙරුණ අතර BIAD හෙවත් Beijing Institute of Architectural Design මින් පළමු වැනි ආයතය විය. විශේෂ කරුණ වන්නේ මෙරට සංකේතමය ගොඩනැඟිල්ලක්‌ වන බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාව ද මොවුන් ගේ නිර්මාණයක්‌ වීම ය. කෙසේ වෙතත් ඔවුන් සැලසුම් සඳහා පමණක්‌ ඉදිරිපත් කළ මිල ගණන් ශ්‍රී ලංකාවට අවාසිසහගත වුණු නිසා අපේ විද්වත් පිරිස දෙවැනි ආයතනයේ නියෝජිතයන් හමු වූ හ. ECADI (Eastern China Architectural Design Institute) නම් වූ දෙවැනි ආයතනයේ ද මිල කොන්දේසි මුල් ආයතනයේ මෙන් ම ඉහළ ප්‍රතිශතයක්‌ ගත්තේ ය.

    අවසානයේ චීනය බලා ගිය විද්වතුන් ගේ නිර්දේශය වූයේ කොහොමටත් ඉදි කිරීම විදෙස්‌ සමාගමකට පැවරිය යුතු ව ඇති නිසා එම කොන්ත්‍රාත්තුව සැලසුම් හා ඉදි කිරීම (Design & Build) යන ඒකාබද්ධ කටයුත්තක්‌ ලෙස එක ම ආයතනයකට පැවරීමෙන් සැලසුම සඳහා පමණක්‌ වෙන ම විශාල මුදලක්‌ ගෙවීමෙන් සිදු විය හැකි අවාසිය අඩු කරගත හැකි බවයි. ඒ අනුව පිළිගත් ටෙන්ඩර් පටිපාටියකින් පසුව CEIEC (China National Electronic Import and Export Corporation) සමාගමට නෙළුම් කුලුනේ සැලසුම හා ඉදි කිරීම යන ඒකාබද්ධ කාර්යය පැවරිණි.



    මුදල් ආයෝජනය

    මේ ඉදි කිරීමට අවශ්‍ය ආයෝජනය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම දරන්නට සූදානම් ව සිටියේ ඔවුන් ගේ වාර්ෂික ආදායමෙන් කොටසක්‌ මේ සඳහා සෑහෙන නිසා ය. එහෙත් ඉදි කිරීම් සඳහා විදේශීය සමාගමක්‌ තෝරාගැනීමෙන් පසු එම ආයෝජනය විදේශ රටකට ගෙවිය යුතු විය. මේ කටයුත්තේ දී මුදල් අමාත්‍යංශයේ උපදෙස වූයේ මෙරට මුදල් කෙළින් ම පිටරට යවනවාට වඩා හොඳ ම විකල්පය කුලුන ඉදි කිරීමට විදේශීය ණය මුදලක්‌ ලබාගෙන එය වාරික වශයෙන් ගෙවීම බවයි. ඒ අනුව චීනයේ එක්‌ෂිම් බැංකුවෙන් මේ ඉදි කිරීම සඳහා ණය මුදලක්‌ ලබාගැනිණි.



    තාක්‌ෂණ හුවමාරුව

    නෙළුම් කුලුනේ සැලසුම හා ඉදි කිරීමට සමගාමී ව සැලකිය යුතු තාක්‌ෂණ දැනුමක්‌ ශ්‍රී ලංකාවට අලුතින් එකතු වුණේ ය. කොටින් ම මීටර් දෙසියයට වඩා උස කිසි ම ඉදි කිරීමක්‌ සඳහා පළපුරුද්ද හෝ දැනුම හෝ නො තිබුණු ශ්‍රී ලාංකික ඉදි කිරීම් ක්‌ෂේත්‍රයට දැන් මීටර් 356ක්‌ දක්‌වා උස ඉදි කිරීමක්‌ සිදු කිරීමේ සුදුසුකම හා තාක්‌ෂණික හැකියාව ලැබී ඇත. මේ තාක්‌ෂණය උකහාගැනීම ක්‍රමානුකූල ව සිද්ධ වුණේ නෙළුම් කුලුන ඉදි කිරීමේ කාර්යයේ මුල සිට ම බලවත් විද්වත් නියෝජනයක්‌ ශ්‍රී ලංකාවට හිමි වූ නිසා ය. ඒ සඳහා දැක්‌මක්‌ තිබිණි. කුලුනේ මූලික සංකල්පමය සැලසුම් නිමවූ ශ්‍රී ලාංකික විද්වත් පිරිස මේ වැඩපිළිවෙළේ දිගට ම රැඳෙමින් සිටිය හ. සැලසුම් හා ඉදි කිරීම් විදේශීය සමාගමකට පැවරුව ද සියලු කාර්යයන් යළි අධීක්‌ෂණය කර අනුමැතිය ලබා දීමට ශ්‍රී ලාංකික උපදේශකයන් කණ්‌ඩායමක්‌ යෙදවීමට තරම් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම කල්පනාකාරී විය.

    මේ කාර්යයේ ශ්‍රී ලාංකික විද්වතුන් 70ක්‌ පමණ පිරිසක්‌ නිරත වී සිටින අතර ඔවුන් සම්බන්ධීකරණය කරනු ලබන්නේ මොරටුව විශ්වවිද්‍යාලයයේ වාස්‌තු විද්‍යා මහාචාර්ය සමිත මානවඩු විසිනි.

    ඉදි කිරීම්වලට අදාළ සියලු ම සැලසුම් හා වැඩසටහන්, තාක්‌ෂණ විධික්‍රම, අමුද්‍රව්‍ය මෙන් ම ඉදි කිරීම් ක්‍රමවේදවලට පවා මෙකී උපදේශක මණ්‌ඩලයේ අනුමැතිය හිමි විය යුතු ය. මේ සඳහා තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ අදාළ ක්‌ෂේත්‍රවල පිළිගත් ඉංජිනේරුවන් හා විද්වතුන් කණ්‌ඩායමකි.

    මේ විශේෂ දැනුම් ක්‌ෂේත්‍රවලට භූ ඉංජිනේරු විද්‍යාව, ව්‍යqහ ඉංජිනේරු විද්‍යාව, කොන්ක්‍රීට්‌ තාක්‌ෂණය, උස ගොඩනැඟිලිවල කම්පන අධ්‍යයනය හා විදුලි ඉංජිනේරු විද්‍යාව යනාදී සියලු ක්‌ෂේත්‍රවල නිපුණතා සහිත විද්වතුන් යොදවනු ලැබූ අතර ඉදි කිරීම් කළමනාකරණය කිරීම සඳහා ප්‍රවීණ ව්‍යාපෘති කළමනාකරුවෝ හා නේවාසික ඉංජිනේරුවෝ යොදවනු ලැබූ හ.

    එමෙන් ම රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ඉංජිනේරු සිසු සිසුවියන් විශාල පිරිසකට මේ කුලුනේ සැලසුම් හා ඉදිකිරීම්වලට දායක වී අගනා ක්‌ෂේත්‍ර පුහුණුවක්‌ ලබාගැනීමට අවස්‌ථාව සැලසිණි.

    ඒ අනුව නෙළුම් කුලුන ඉදිකිරීම යනු මෑතකාලීන ඉදි කිරීම් අතරින් ලංකාවට නව තාක්‌ෂණ දැනුම ගලා ආ ඉතා වැදගත් මහා පරිමාණ ඉදි කිරීමකි.



    ඉදි කිරීම් සඳහා ශක්‍යතා අධ්‍යයනය හා අනුමැතිය හා අනෙකුත් රෙගුලාසි

    අප දිවයිනේ ඕනෑ ම ඉදි කිරීමක්‌ කිරීමට ප්‍රථමයෙන් ලබාගත යුතු අනුමැති හා අනුගමනය කළ යුතු රෙගුලාසි රාශියක්‌ වෙයි. ඒවා වෙන වෙන ම නියාමනය කිරීමට ව්‍යවස්‌ථාපිත ආයතන තිබේ. දකුණු ආසියාවේ උස ම කුලුන වන මීටර් 356ක්‌ උසැති නෙළුම් කුලුන ඉදි කිරීමේ දී මෙවැනි අනුමැතීන් ලබාගත් අන්දම අපි මහාචාර්ය සමිත මානවඩු මහතා ගෙන් විමසීමු.

    ඔහුට අනුව නිසි අධ්‍යයනවලින් පසු සියලු අනුමැතීන් මේ ඉදි කිරීම සඳහා ලබාගෙන ඇත. පාරිසරික බලපෑම්, පුරාවිද්‍යා සම්පත්වලට ඇති බලපෑම් අනුමැතිය, තාක්‌ෂණ බලපෑම් අධ්‍යයනය ඒ අතර වෙයි. ඊට අමතර ව නෙළුම් කුලුන ඉදි වීමේන් පසු වැඩි වන රථවාහන තදබදයේ බලපෑම් පිළිබඳ ව ද අධ්‍යයනය කර ඇත.

    මෙවන් කුලුනු ඉදි කිරීමේ දී ශ්‍රී ලංකාවේ ඊට පෙර අත්දැකීම් හෝ රෙගුලාසි සීමා සහිත වූ අතර නාගරික සංවර්ධන අධිකාරියේ නිර්දේශිත භූමි ප්‍රමාණයේ හා ගොඩනැඟිල්ලේ වර්ග ප්‍රමාණ අනුපාතය නියමිත සීමාවන් අතරේ තිබිණි.



    ඉදි කිරීමේ දී ලද සුවිශේෂී අත්දැකීම්

    2012 වසරේ ජුලි මස ඉදි කිරීම් ඇරඹූ නෙළුම් කුලුන අත්තිවාරම දැමීමේ සිට අවසාන ඇන්ටෙනා කුලුන ඉහළට ගැනීම සහ ඉදිරියට යෙදී ඇති නිමා කිරීමේ කාර්යයන් දක්‌වාත් අවසානයේ කුලුනු ආධාරක දොඹකරය ගලවා දමන තුරුත් සුවිශේෂී අත්දැකීම් රැසක්‌ ගෙන දී/දෙනු ඇත.

    මීට සම්බන්ධ වූ ඉදිකිරීම් කණ්‌ඩායමට මේ හා සම්බන්ධ අභියෝග රාශියකට මුහුණ දෙන්නට සිදු විය.

    ඉන් පළමුවැන්න භූ ජලය හා ඔට්‌ටු වීමයි. භූ ජල මට්‌ටම ඉතා නො ගැඹුරු බේරේ වැව ආශ්‍රිත ඉඩමේ මීටර් 15ක්‌ ගැඹුරැති මීටර් හතළිස්‌ පහක්‌ විෂ්කම්භය සහිත කුලුනු පාදම හෑරීමේ දී හා එතුළ කොන්ක්‍රීට්‌ ඉදි කිරීම අවසන් වන තුරු අරීය දිශාවලින් හා පොළොව ඇතුළෙන් මතු වන සිය දහස්‌ ගණනක්‌ වූ දිය සීරාවන් මැඬගෙන එම කලාපය නිර්ජලනය කිරීම ඉතා ම දුෂ්කර විය. මේ සඳහා කුටීර සීමාවේ එක ළඟින් ගිල්වන ලද කොන්ක්‍රීට්‌ කුලුනු මෙන් ම ඇතුළත වූ ජලය ඉවතට පොම්ප කිරීමේ විවිධ උපක්‍රම ද භාවිතයට ගන්නට සිදු විය.

    මීළඟට මුහුණ දුන් අභියෝගාත්මක කාර්යය වූයේ පාදම කොන්ක්‍රීට්‌ කිරීමයි. කොන්ක්‍රීට්‌ ඝන මීටර් 4500ක්‌ එක්‌ දිනක්‌ ඇතුළත ඇතිරීමත් මේ කාර්යයේ දී කොන්ක්‍රීට්‌ ස්‌තර අතර නිසියාකාර උෂ්ණත්ව පාලනයක්‌ පවත්වාගැනීම මඟින් තාප පැලුම් වළක්‌වාගැනීමත් සුළුපටු කාර්යයක්‌ නො වී ය. 2013 අවුරුද්දේ අගෝස්‌තු මාසයේ කරන ලද මේ කාර්යයට කොළඹ අවට වූ සියලු ම කොන්ක්‍රීට්‌ නිෂ්පාදන ආයතන හවුල් කරගැනුණේ නො එසේ නම් ඒ සා විශාල කොන්ක්‍රීට්‌ ප්‍රමාණයක්‌ එක්‌ දිනක්‌ තුළ නිපදවීමට සමත් යන්ත්‍රොaපකරණ තනි ඉදි කිරීම් සමාගමක නො තිබූ බැවිනි. මේ සඳහා එක ම සිමෙන්ති වර්ගයක්‌ යොදාගැනීම, තත්ත්ව පාලනය කරන ලද අනෙකුත් අමුද්‍රව්‍ය, නියමිත පරිදි මුලින් එකඟ කරවාගත් මිශ්‍රණ සංයුතිය හා සැපයුම කළමනාකරණය යනාදිය ඉතා හොඳ මට්‌ටමෙන් කළමනාකරණය කරගැනීමට ලැබීම මහත් ජයග්‍රහණයක්‌ ම විය. 2013 අගෝස්‌තු මස 8, 9 දින දෙක තුළ කොළඹ අවට ඉදි කිරීම් සමාගම්වලට වෙනත් රාජකාරිවලින් නිදහස්‌ වන ලෙස දැනුම් දෙන ලද අතර කුලුනේ පාදම සඳහා යොදාගැනීමට අවශ්‍ය සිමෙන්ති වර්ගය සහ එම මිශ්‍රණය පිළිබඳ තොරතුරු අදාළ සමාගම්වලට කල් ඇති ව දැනුම් දෙන ලදී. ඉදි කිරීම් කණ්‌ඩායමේ සාමාජිකයෝ ඉහත සමාගම්වලට ගොස්‌ සියලු මිශ්‍රණ එක ම වර්ගයේ සහ තත්ත්වයේ පවතින බව තහවුරු කරගැනීමට කටයුතු කළ හ. මෙසේ රැගෙන ආ මිශ්‍රණ භාවිත කොට පැය 28ක්‌ තුළ පාදම ඇතිරීමේ කටයුත්ත සාර්ථක ව නිම කිරීමට හැකියාව ලැබිණි. මේ සඳහා කොන්ක්‍රීට්‌ ට්‍රක්‌ රථ 800ක්‌ පමණ යොදාගැනුණු අතර කොන්ක්‍රීට්‌ ඝන මීටර 4,500ක්‌ අතුරනු ලැබිණ.

    මෙසේ ආරම්භ කළ කුලුනේ සැලකිය යුතු ඉදි කිරීම් කොටසක වැඩ නිම වූ පසු ඊළඟ අභියෝගාත්මක කරුණ වූයේ ටොන් එක සිය අසූවක්‌ බරැති ඇන්ටෙනා කුඹ ගස ඉහළට එසවීම ය. කුලුනේ කොන්ක්‍රීට්‌ ඉදි කිරීම අවසන් වීමෙන් පසු ඒ කුලුනේ මැද කුටීරය ඔස්‌සේ කොටස්‌ එකොළහක්‌ වශයෙන් මේ ඇන්ටෙනා කුඹය එසවීම සිදු කෙරිණි. ඒ සඳහා සුවිශේෂ එසවීමේ උපක්‍රම අත්හදාබලන්නට සිදු විය.

    ඇන්ටෙනා කුලුනේ පිටස්‌තර ආවරණය වන මිලිමීටර් 35ක්‌ ඝනකම සහිත ලෝහමය ආවරණය චීනයෙන් ලැබුණු මුල් සැලසුම්වල දක්‌වා තිබුණේ මිලිමීටර් 30ක්‌ වශයෙනි.

    එහෙත් මෙරට උපදේශක කණ්‌ඩායම විසින් කරන ලද සැලසුම් විශ්ලේෂණයක දී මෙය මිලිමීටර් 35ක්‌ ඝනකමින් යුක්‌ත විය යුතු බව සොයාගැනිණි. ඊළඟට මේ ආකාරයේ ඇන්ටෙනා කුඹ ගස්‌ සම්බන්ධයෙන් ප්‍රවීණයකු වන ඕස්‌ටේ්‍රලියානු විද්වතකු ලවා කරන ලද දෙවැනි විමර්ශනයේ දී ද නිර්දේශ කෙරුණේ ද මේ ආස්‌තරයේ ඝනකම මිලිමීටර් 35ක්‌ විය යුතු බව ය.

    මේ නිර්දේශ දෙක ම චීන සැලසුම් හා ඉදි කිරීම් සමාගමට දන්වා යෑවූ පසු ඔවුන් වැඩි ඝනකම සහිත ආස්‌තරයක්‌ ලබා දුන්නේ ඔවුන් ගේ මුල් සැලසුමේ වූ අඩුපාඩුව පිළිsගනිමිනි.

    කුඹ ගසේ ඇන්ටෙනා රැඳවුම් සැලසුම නිසා ද නෙළුම් කුලුනේ ඉදි කිරීම් කටයුතු මාස කිහිපයකින් ම ප්‍රමාද කරන්නට සිදු විණි. ඇන්ටෙනා කුලුනේ රඳවන ඇන්ටෙනා වර්ගය හා ඒවා රදවන ස්‌ථාන තීරණය වනුයේ යොදාගනු ලබන ඩිජිටල් තාක්‌ෂණය අනුව ය. මේ පිළිබඳ රජයේ අවසන් ප්‍රතිපත්තිමය තීරණය ලැබෙන තුරු ඇන්ටෙනා කුඹය සිදුරු විද ශ්‍රී ලංකාවට එවීම ප්‍රමාද විය.

    මේ සියලු අභියෝග මැදින් නෙළුම් කුලුනේ වැඩ කටයුතු නිම වෙමින් පවතී. මේ තුළින් අප ලද ඉදි කිරීම් ක්‌ෂේත්‍රයේ අත්දැකීම් සුවිශාල වන අතර එම දැනුම තවත් කාලාන්තරයක්‌ තිස්‌සේ අපට වාසිසහගත ව යොදාගත හැකි වනු ඇත.

    වැඩ නිම වීමෙන් පසු රූපවාහිනි හා ගුවන් විදුලි සන්නිවේදන කටයුතුවලටත්, සංචාරක ප්‍රවර්ධන කටයුතුවලටත් නෙළුම් කුලුනෙන් ලැබෙන ආර්ථික දායකත්වය පිළිබඳව බොහෝ තැන්වල කතාබහ වී ඇත. එහෙත් මේ ඉදි කිරීමට සමගාමී ව අපට ලැබුණු දැනුම් සම්භාරය හා කුසලතාවන්වල වටිනාකම පහසුවෙන් තක්‌සේරු කරන්නට බැරි තරම් ය. අනෙක්‌ අතට විදේශීය සමාගමක්‌ ශ්‍රී ලංකාවේ සිදු කරන ඉදි කිරීමක දී අපේ අනන්‍යතාව හා අවශ්‍යතාව සුරැකෙන පරිදි එය මෙහෙයවන්නට ලැබීම ම ජයග්‍රහණයක්‌ වෙයි. එය තිරසාර සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයකි. එසේ හෙයින් නෙළුම් කුලුනෙන් අපේ ඉදිකිරීම් ක්‌ෂේත්‍රයට අලුත් ආලෝකයක්‌ ලැබුණු බව නො පැකිළ සටහන් කරන්නට පිළිවන.

    මොරටුව විශ්ව විද්‍යාලයයේ වාස්‌තු විද්‍යා අංශයේ මහාචාර්ය සමිත මානවඩු සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරෙනි.


    දෙව්නි යසාරා ඒකනායක
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එල මචං +15

    මානවඩු සර් තමයි අපිට World History of Architecture සබ්ජෙක්ට් එක කරේ. එතුමා ගාලු කොටුව සංරක්ෂණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරා.
    මහාචාර්ය නිමල් ද සිල්වා කියන්නේ අපේ රටේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව වෙනුවෙන් විශාල සේවයක් කරන කෙනෙක්. එතුමා අපි කැම්පස් එන කාලේ වාස්තු විද්‍යා අංශ ප්‍රධානි. ඉන් පස්සේ එතනින් අස් වෙලා දැනට සංස්කෘතික ත්‍රිකෝණයේ අධ්‍යක්ෂ විදියට කටයුතු කරනවා.

    මොරටුව විශ්විද්‍යාලයේ මානවඩු සර් ලා පවත්වාගෙන යන Uni Consultancy කියන අංශයෙන් රජය වෙනුවෙන් මේ වගේ බොහෝ කාර්යයන් කෙරෙනවා.

    විශ්වවිද්‍යාලයේ ඉන්න අනෙකුත් පීට වල විශේසඥ්යින් මෙන්ම සිසුන් එක්ක මේ වගේ විශාල ව්‍යාපෘති, නගර සැලසුම්, නොයෙකුත් පර්යේෂණ, ප්‍රතිසංස්කරණ වගේම සංරක්ෂණ කටයුතු රාශියකට මෙයින් දායක වෙනවා.

    ඒක නිසා නිකරුනේ විදේශීයයන්ට ගෙවන සල්ලි විශාල ප්‍රමාණයක් රජයට ඉතුරු කරලා දෙනවා.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මේ ඉදි කිරීමට අවශ්‍ය ආයෝජනය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම දරන්නට සූදානම් ව සිටියේ ඔවුන් ගේ වාර්ෂික ආදායමෙන් කොටසක්‌ මේ සඳහා සෑහෙන නිසා ය. එහෙත් ඉදි කිරීම් සඳහා විදේශීය සමාගමක්‌ තෝරාගැනීමෙන් පසු එම ආයෝජනය විදේශ රටකට ගෙවිය යුතු විය. මේ කටයුත්තේ දී මුදල් අමාත්‍යංශයේ උපදෙස වූයේ මෙරට මුදල් කෙළින් ම පිටරට යවනවාට වඩා හොඳ ම විකල්පය කුලුන ඉදි කිරීමට විදේශීය ණය මුදලක්‌ ලබාගෙන එය වාරික වශයෙන් ගෙවීම බවයි. ඒ අනුව චීනයේ එක්‌ෂිම් බැංකුවෙන් මේ ඉදි කිරීම සඳහා ණය මුදලක්‌ ලබාගැනිණි.

    Very Bad Advice from Ministry...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එල මචං +15

    මානවඩු සර් තමයි අපිට World History of Architecture සබ්ජෙක්ට් එක කරේ. එතුමා ගාලු කොටුව සංරක්ෂණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරා.
    මහාචාර්ය නිමල් ද සිල්වා කියන්නේ අපේ රටේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව වෙනුවෙන් විශාල සේවයක් කරන කෙනෙක්. එතුමා අපි කැම්පස් එන කාලේ වාස්තු විද්‍යා අංශ ප්‍රධානි. ඉන් පස්සේ එතනින් අස් වෙලා දැනට සංස්කෘතික ත්‍රිකෝණයේ අධ්‍යක්ෂ විදියට කටයුතු කරනවා.

    මොරටුව විශ්විද්‍යාලයේ මානවඩු සර් ලා පවත්වාගෙන යන Uni Consultancy කියන අංශයෙන් රජය වෙනුවෙන් මේ වගේ බොහෝ කාර්යයන් කෙරෙනවා.

    විශ්වවිද්‍යාලයේ ඉන්න අනෙකුත් පීට වල විශේසඥ්යින් මෙන්ම සිසුන් එක්ක මේ වගේ විශාල ව්‍යාපෘති, නගර සැලසුම්, නොයෙකුත් පර්යේෂණ, ප්‍රතිසංස්කරණ වගේම සංරක්ෂණ කටයුතු රාශියකට මෙයින් දායක වෙනවා.

    ඒක නිසා නිකරුනේ විදේශීයයන්ට ගෙවන සල්ලි විශාල ප්‍රමාණයක් රජයට ඉතුරු කරලා දෙනවා.

    Meke Structural Engineering consultancy client side eken kale moratuwa uni eke Civil Engineering Department eke prof.Priyan Dias :yes:


    oya inne dennama :)
     
    • Like
    Reactions: kaushala1988