නොකී පෙමක මතක

sukuru bukuru

Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    නොකී පෙමක මතක

    ketikathawa-tag.jpg
    ගුවන් යානය ගුවන් පථයෙන් ටිකෙන් ටික ඉහළට පියාසර කරන්ට වුණා. ආරක්ෂිත බඳපටි සියල්ල පැලඳගත් මා මගේ සමීප අසුනේ සිටි කාන්තාව දෙස කිහිප වතාවක් නෙත් යොමු කළා. ඒ සමහර අවස්ථාවලදී ඇයගේත් මගේත් නෙත් එකට ගැටුණා.
    වයස අවුරුදු හැටකට ආසන්න මා මෙන් ම ඇයත් මගේ වයසට වඩා ටිකක් අඩු ඇතැම්විට අවුරුදු තුන හතරක් අඩු තැනැත්තියක යැයි මට සිතුණා. ටික වේලාවක් ගතවන විට ඇයත් මා මෙන් ම තනිව ගමන් කරන්නියක යැයිද මට පසක් වුණා.
    ලන්ඩනයේ සිටින මගේ පුතාගේ නිවසේ සති කිහිපයක නිවාඩුවක් ගත කිරීමට ඔහුගේ බලවත් පෙරැත්තය නිසා යන මා මේ ගමනේ කෙළවර දකින්නට අඩු තරමින් යානය තුළ පැය දොළහකට ආසන්න කාලයක් ගත කළ යුතුව ඇත. ඒ කාලය තුළ තනිපංගලමේ යානයේ රැඳී සිටින මට මගේ සමීප අසුනේ සිටින ඇය සමඟ කථාබහක යෙදෙන්නට සිතුණ.
    ඇය දෙසට හැරුණු මා “ඔයත් එක්ක ටිකක් කථා කරන්න මම කැමතියි ඔයා ඒකට කැමැතිද?” මා මුලින්ම ඇයගෙන් ඇසුවා.
    ප්‍රසන්න සිනහවක් පෑ ඇය “හා හා අපි කථා කරමු. අපට මේ යානය තුළ පැය ගාණක් කාලය ගතකරන්න වෙනවානෙ.”
    art-1.jpg
    “ඔයා මේ ගමන යන්නෙ මා වගෙ තනිවමයි කියලයි මට හිතෙන්නෙ.”
    “ඔව් ඔව් මගේ අක්කගෙ දුව එයාගෙ මහත්තයයි දරුවො දෙන්නයි එක්ක පදිංචිවෙලා ඉන්නෙ ලන්ඩන්වල. මම පොඩි නිවාඩුවක් ගත කරන්න එයාලගෙ ගෙදර යනවා.”
    “ආ මමත් යන්නෙ ලන්ඩන්වල පදිංචි වෙලා ඉන්න මගෙ පුතාගෙ ගෙදර පොඩි නිවාඩුවක් ගත කරන්න. සමහරවිට මේ දොගොල්ල පදිංචි වෙලා ඉන්නෙ එක කිට්ටුව වෙන්නත් ඇති නේද.”
    “ඇයි ඔයා තනිවම මේ ගමන යන්නෙ.” මම ඇසුවා.
    “මට යන්න වෙලා තියෙන්නෙ තනිවම තමයි. මම අවිවාහකයි. මම ප්‍රසිද්ධ බාලිකා විදුහලක විදුහල්පතිනිය ලෙස සේවය කරල දැන් මාස කිහිපයකට පෙර විශ්‍රාම ගියා. අපේ ඒ දුවගෙ ඉල්ලීමට මම ටික දවසක් ගත කරන්න ‍එහෙ යනවා. අපේ අම්ම තාත්ත දෙන්නම දැන් නැහැ. මට ඉන්නෙ අක්කයි එක නංගියෙකුයි පමණයි. ඒ දෙන්න විවාහ වෙලා දරුවොත් ඉන්නවා. වෙනම පදිංචි වෙලයි ඉන්නෙ. මට ඒ අය මහ ගේ දුන්නා. මගේ තනිනොතනියට උදව්වට මගේ වයසට ආසන්න කාන්තාවක් මගෙත් එක්ක ඉන්නවා. මම එයාව එයාලගෙ ගමේ යැව්වා මා නැවත එනතුරු.”
    “මමත් තනියම යන්නෙ. මගේ‍ නෝන ටිකක් අසනීපෙන් ඉන්නෙ. එයාට මේ වගේ දුර ගමන් යන්න බැහැ. අපිට ඉන්නෙ මේ පුතා විතරයි. නෝනත් පුතා බලල එන්න මට යන්න කීවා. මම පදිංචි වෙලා ඉන්නෙ මාතර. මම කළේ පත්තර රස්සාව. මමත් දැන් වසර තුනකට පෙර විශ්‍රාම ගියා. නමුත් මම නිදහස් ලේඛකයකු හැටියට තවමත් ලියනවා.”
    “අපිත් මාතර පළාතෙ තමයි. නමුත් අපි කුඩා කාලෙ අපේ දෙමවුපියො එහෙ ගේදොර ඉඩ කඩම් විකුණල කොළඹ පදිංචියට ආවා. අපේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අපි පදිංචි වුණේ මරදානෙ කුප්පියවත්ත කියන හරියෙ. තාත්තා ඒ හරියෙම සිල්ලර කඩයක් පටන් ගත්තා. අපි තුන්දෙනාම අපේ ගෙවල් ළඟම බාලිකා පාසලකට දාල තිබුණා.
    අපි තුන්දෙනාම හොඳට ඉගෙන ගත්තා. මගේ අක්ක වෛද්‍යවරියක්. නංගීත් දැන් විදුහල්පතිනියක්.”
    “ඇත්ත කියනව නම් මමත් ඉපදුණේ හැදුණේ වැඩුණෙ පාසල් ගියෙ කොළඹ. මම මාතර පැත්තෙන් විවාහ වුණාට පස්සෙ එහෙ පදිංචියට ගියා. දැන් මාතර පදිංචි වෙලා අවුරුදු තිහ පැනලා.” කථා බහ කරනකොට ඇයගේ මුහුණුවර ගැන මගේ මතකයේ මොකක් හෝ කුකුසක් සැරිසරන්නට වුණා.
    මේ අතර මගේ හිත ටිකක් අතීතයට ඇදී ගියා. මා ඇයට මුලින් නොකීවට මාත් හිටියෙ කුප්පියාවත්ත පැත්තෙනෙ. පාසල් ගියෙත් කුප්පියාවත්තෙදිනෙ. පාසල් යන ගමන් ගෙවල් ළඟ දහම් පාසලටත් ගියා. එවකට දහම් පාසලේ සියලු කටයුතුවලදි මා ක්‍රියාකාරීව පෙරමුණ ගත්තා. දහම් පාසලේ ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයාත් වුණා. දහම් පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වුණා.
    අපි පදිංචිවෙලා හිටියෙ පටු පාරක. ඒ කාලෙ කිව් හැටියට ලේන් එකක. ඒ ලේන් එකේ ඉඳල එනකොට තියෙන මහ පාරේ ලේන් එකෙන් මහ පාරට බැස්ස තැනම පාර අයිනට වෙන්න ටිකක් වත් පොහොසත් අය හිටපු ටිකක් ලොකු ගෙවල් හතරක් එකපෙළට තිබුණා. ඉන් එක් ගෙයක් සල්ලිවලට ගත් පවුලක් ඇවිත් පදිංචි වුණා. ඒ ගෙදර හිටියෙ අම්මයි තාත්තයි ගෑනු දරුවොම තුන්දෙනෙකුයි. ඒ ළමයිනුත් අපේ දහම් පාසලට ඇතුල් වුණා. ඉන් වැඩිමලා අපේ පන්තියේ. අනෙක් දෙන්නා අපිට පහළ පන්තිවල. ඒ වැඩිමල් ළමයා අපේ ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරිකාවත් වුණා. දහම් පාසලේ සියලු බාහිර වැඩවලදී පිංකම් විවිධ උත්සවවලදී ඇය මට සෑහෙන්න උදව් කළා. ඇයත් සමඟ ඇයට ටිකක් බාල ලොකු නංගීත් නිතරම ඇය සමඟ සිටිමින් අපේ වැඩ කටයුතු වලදී සහය දැක්වුවා. අක්කටත් වැඩිය අැය නිතරම මා අසල ගැවසෙන බවක් මට පෙනුණා. ඇය මා කෙරෙහි විශේෂත්වයක් දක්වන බව මට වැටහුණා. මට මතක හැටියට අක්කා චන්ද්‍රා, නංගි පද්මා. මට දැන් නම් හිතෙන්නෙ මේ ඉන්නෙ ඒ පද්මි කියලයි.
    කාලයත් සමඟ අප මුහුකුරා යනවිට අපි දහම් පාසල් ගමනත් අවසන් කළා. අපි විසිර ගියා. ඒ අතර ඒ පළාතෙන් ටිකක් ඈත පළාතකට අපි පදිංචියට ගියා. නිසි වයස ඇවිත් මා රැකියාවට ගියා. අපි පළාත වෙනස් කළ නිසා අපිත් එක්ක එකට ඉගෙනගත් එකට හිටපු අය අහම්බෙන්වත් මුණගැහුණෙ නැහැ. කාලය වසරින් වසර වසර ගාණක් ගියා. අපිට අපි සියල්ලන් මතකයෙන් බැහැර වුණා.
    අතීත ආවර්ජනයෙන් මිදුණ මා “ආ ඒක නෙමෙයි අපි දෙන්න දැන් සෑහෙන වේලාවක් කථා බහ කළානෙ. මට ඔයාගෙ නමවත් අහන්න බැරි වුණානෙ.”
    “ආ මගේ නම පද්මා රණසිංහ.” ඇය උත්තර දුන්නා.
    “ඔයා‍ෙග අක්ක වෛද්‍යවරියක් කිව්වනෙ. එයාගෙ නම මොකක්ද?”
    “එයා චන්ද්‍රා රණසිංහ.”
    ස්ථිර වශයෙන්ම අපිත් එක්ක දහම් පාසලේ හිටපු පද්මාම තමයි මේ. මා ස්ථිර නිගමනයකට බැස්සා.
    “පද්මා මම ඔයාගෙන් පෞද්ගලික තොරතුරු ටිකක් ඇහුවට කමක් නැද්ද?”
    “ඒකට කමක් නැහැ. අපි දැන් පැය ගාණක් එකට කථා කළා. අපි ඉතින් නැවත මුණ ගැහෙයිද කියන්නත් බැහැනෙ.”
    “ඇයි ඔයා තනිකඩ ජීවිතයක් ගත කළේ. විවාහ වෙන්න හිතුණෙම නැද්ද. තරුණ කාලෙ මුකුත් සම්බන්ධයක්වත් තිබුණෙ නැද්ද?” මා මගේ හිතේ කුකුස නැති කරගන්න විමසුවා.
    “දැන් අපේ ගමන කෙළවර වෙන්නත් කාලය ළංවෙනවනෙ. මම ඉතින් ඔයාට ඇත්තම කියන්නම්කො. අපි ඉස්කෝලෙ යන කාලෙ ගෙවල් ලඟ දහම් පාසලකටත් ගියා. අපිත් ඉතින් ටික ටික තරුණ වයසට කිට්ටු කරමිනුයි හිටියෙ. ඒ කාලෙ අපේ අක්කගෙ පන්තියෙ ළමයෙක් හිටිය. එයා හරි දක්ෂ ළමයෙක්. දහම් පාසලේ කා අතරත් එයා කැපී පෙනුණා. එයාගෙ උත්සහයෙන් අපේ දහම් පාසල ඒ පළාතේ තිබුණ දහම් පාසල් අතුරෙන් ඉහළ තැනකටත් ආවා. එයාගේ සෑම වැඩ කටයුතුවලදි අක්කත් එක්ක මම උපරිම සහය දුන්නා. ටිකෙන් ටික මගේ හිතේ එයා ගැන ලොකු සෙනෙහසක් මතු වුණා. නමුත් ඒ කාලෙ අද වගෙ නෙමෙයිනෙ. තිබුණ සමාජ තත්වය. අපිට ලොකු ලැජ්ජා බයක් තිබුණනෙ. අපේ අම්මල තාත්තලත් අපි ගැන ලොකු විමසිල්ලකින් හිටියෙ. එයාලගෙ නීති රීතිත් හරි තදයි. ඒ නිසා ඒ ගැන කෙළින්ම එයාට අඟවන්න මම බයවුණා.
    එයාල හිටියෙත් අපේ ගෙවල් කිට්ටුව. නමුත් දහම් පාසලෙන් අයින් වුණාට පස්සෙ එයාල ගෙවල් ඇරල අපේ පැත්තෙන් පිට පළාතකට ගියා. ඉන් පස්සෙ කාලයත් සමඟ එයා දකින්නවත් ආරංචියක්වත් නොලැබී ගියා අදවනතුරු. නමුත් ඒ කාලෙදි මම හිතුවා කොහොමහරි එයා හමුවේවි කියල. මගේ ජීවිතයේ මුල්ම වතාවට හිත ‍ගියේ එයාට. ඒ කාලයේ කෙතරම් ‍හැදිල වැඩිල නොහිටියත් මගේ හිතේ එයා ගැන තදින්ම කාවැදිලයි තිබුණෙ. දැන් ඉතින් අපේ කාලය ඉක්මවලා ගිහින්. මට දැන් ඒ කථාව කියන්න කිසිම අපහසුවක් නැහැනෙ.
    මම හැබැයි ඉගෙන ගන්නමයි හිත යොමු කළේ. විශ්වවිද්‍යාලෙටත් ගියා. කිසිම කෙනෙකු සමඟ සම්බන්ධයක් ඇති කර ගත්තෙ නැහැ. මට අවශ්‍ය වුණෙත් නැහැ. මම පශ්චාත් උපාධියට ඇමරිකාවටත් ගියා. වසර කිහිපයක් එහිත් ගත කළා. සම්බන්ධයක් ඇති කර ගන්න හෝ විවාහයක් ගැන හිතන්න තරම් මට උවමනාවකුත් තිබුණෙ නැහැ. ඊට පස්සෙ මම ලංකාවට ඇවිත් රජයේ විදුහලක ගුරුවරියක් වුණා. විදුහල්පතිනියක් වුණා. අවසානයේ තනිකඩව විශ්‍රාම ගියා.”
    “පද්මා මම ඔයාගෙ කථාවට ඇහුම්කන් දුන්නේ බොහොම උවමනාවෙන්. ඒ දහම් පාසලේදි හිටපු ළමයගෙ නම තාම මතක ඇතිනෙ.”
    “ඔව් ඔව් මොකද මතක නැත්තෙ එයාගෙ නම සිරිමල්.”
    “එහෙනම් පද්මා මම මෙහෙම කිව්වහම ඔයා පිළිගනීවිද මන්දා?”
    “නැහැ නැහැ කියන්න බලන්න.” ඇය උනන්දුවෙන් කීවා.
    “පද්මා ඒ කාලෙ දහම් පාසලේ හිටපු සිරිමල් තමයි මම.”
    “මොනවා මේ සිරිමල්” ඇය විමතියෙන් කලබලයෙන් වගේ විමසුවා”
    “ඔව් ඔව් පද්මා මම සිරිමල්.” මේ අපේ දෛවය වෙන්න ඇති. දැන් ඉතින් අපි වයසයිනෙ හැඩරුවත් වෙනස්. නමුත් ඔයාගෙ නම් ඒ කාලෙ තිබුණ හැඩරුව ගැන දැනුත් ඔයා දිහා බැලුවහම මතක් වෙනවා.”
    අපේ කථාබහ අවසන් වන කොට යානය ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළේ. ගුවන් යානයෙන් පිටත ආ මා ආසනයේ මා එනතුරු මෝටර් රථය නවතා ගෙන සිටි පුතා වෙත යන්නට පෙර මගේ ලන්ඩනයේ සිටින ලිපිනය පද්මාට දී ඇයගේ ඥාති දියණියගේ පවුලත් සමඟ දිවා හෝ රාත්‍රි කෑමකට එන ලෙස ආරාධනා කරමින් මා ඇයගෙන් සමු ගත්තා.
    ජස්ටින් ෙකාඩිකාර


    -උපුටා ගැණීම සිළුමිණ පුවත්පතෙන්.-