න ණ ල ළ එක්ක ඔබ තරහද?

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    න ණ ල ළ එක්ක ඔබ තරහද?

    සිංහල භාෂාවේ ඇති එක්තරා අයුරක භාෂාමය ආලෝකයක් ලබා දෙන අකුරු කිහිපයක් ලෙස න ණ ල සහ ළ හැඳින්වීම වරදක් නැතැයි මම සිතමි.

    ඊට හේතුවක් ඇත.

    මේ අකුරු භාවිත කළ යුතු තැන නිසි සේ දැන භාවිත කිරීමෙන් අදාළ වචනයට,වාක්‍යයට සහ ඡේදයට වඩා ආලෝකයක් මෙන්ම පරිපූර්ණ බවක්ද ලැබීම නිසාය.

    පහත දැක්වෙන උදාහරණය දෙස බලන්න.

    ‘දක්‍ෂ ලෙස නිර්මානකරනයේ යෙදුනු නිර්මානකරුවා සිය කරුනාවන්ත ගුරුවරයා අසල සිට ගෙන සිටියේ පිලිවෙලක් නැති වැඩසටහන ගැන කළකිරීමෙනි.’

    මේ වාක්‍යය න ණ ල ළ යෙදෙන පිළිගත් ආකාරයට සම්පූර්ණයෙන්ම පටහැනිය.

    ඔබට මෙය නැවත නිවැරැදිව ලිවිය හැකිද?
    පහත දැක්වෙන වාක්‍යය බලන්න.

    ‘දක්‍ෂ ලෙස නිර්මාණකරණයේ යෙදුණු නිර්මාණකරුවා සිය කරුණාවන්ත ගුරුවරයා අසල සිට ගෙන සිටියේ පිළිවෙළක් නැති වැඩ සටහන ගැන කලකිරීමෙනි.’
    පළමු වැකියට වඩා දෙවැනි වැකිය වඩාත් සම්පූර්ණ සහ වඩා අර්ථවත් බවක් පළ කරන බව ඔබට පෙනෙනු ඇත.

    ඇතැම් කෙනෙකුට එසේ නොවන්නටත් පුළුවන.
    ‘ඕක කොහොම ලිව්වත් වැඬේ කෙරෙනවනේ.එහෙව් එකේ ඔය අර අකුරුයි මේ අකුරුයි දමා ගෙන ලියන්න දඟලන්නේ අහවල් එකටද?අනිත් එක ඕවා මතක තියා ගත්තයි නොගත්තයි කියලා අපට නොලැබෙන දෙයක් නැනේ.’ ඔබ තර්ක කරන්නටත් පෙළැඹෙනු ඇත.

    තරහ වෙන්නට එපා.ඔබ එසේ හිතනවා නම් හෝ ඔබ එසේ කියනවා නම් හෝ එසේ කරන්නේ ඔබේ පාසැල් අවදියේ සිටම ඔබ ඒ සඳහා උනන්දුවක් නොදැක්වූ එහෙමත් නැති නම් ඒ ගැන උනන්දුවක් නැති පරිසරයක ඔබට වසන්නට සිදු වීම නිසා විය හැකිය.
    සමහර විට වෙනත් හේතු තිබෙන්නටත් පුළුවන.

    බොහෝ දේ දැන සිටීම වාසනාවකි.
    බොහෝ දේ නිවැරැදිව දැන සිටීම ඒ වාසනාවත් බව අර්ථ සම්පන්න කරයි.

    ඔබට විවේකයක් ඇති නම් පහත දැක්වෙන අභ්‍යාසය කරන්නට උත්සාහ කරන්න.
    එය ඔබට නිවැරැදි දැනුවත් බවක් ලබා දෙනු ඇති.
    පාසැල් සිසුන්ට වඩාත් උපකාරයක් වනු ඇත.

    නිවැරැදි අක්‍ෂර වින්‍යාසය(නිවැරැදි ලෙස අකුරු ඇති) සහිත වචනය තෝරා ගැනීමට ඔබට හැකිදැයි බලන්න.

    (මේ සිංහල පාඩමක් හෝ පාඩම් මාලාවක් හෝ නොවේ.නිවැරැදි බව රකින්නට දෙන සුළු උදව්වකි.)

    1) “මිණි/මිනි මිණි/මිනි පොද වැටේවි- මල් මිණි/මිනි දැදැරි වේවි - ඔබ එනවා නම්
    දේදුණු/දේදුනු පාළම/පාලම ළඟ/ලඟ හැන්දෑවේ මම ඉන්නම්” (ජනප්‍රිය ගීත කණ්ඩයකි.)

    2) සමන් පිච්ච මල් ඉහිරුනු/ඉහිරුණු
    නිල් තණ/තන කොළ/කොල පිට්ටනියක්
    වගෙයි අහස අන්න බලණු/බලනු
    කොච්චර ලස්සණද/ලස්සනද රෑට (ඇස්- මහින්ද හිමි)

    3) ‘එදින සෙනසුරාදා දවසක් වුවත් බක්මීයාය පාසල් භූමිය වෙනදාට වඩා පන/පණ පෙවුණු/පෙවුනු ගතියක් දැක්වීය. පාසල් නිල/නිළ ඇඳුමින් සැරසුනු/සැරසුණු පස්වන ශ්‍රේනියේ/ශ්‍රේණියේ දරු දැරියන්ගේ මුහුණු/මුහුනුවල නොඉවසිලිවන්ත බවක් පෙනිනි/පෙනිණි.’ ( 5- සිංහල කියවීම් පොත)

    4) ‘කුප්පි ළාම්පුවක්/ලාම්පුවක් ද අතැතිව සඳවතී කුස්සියෙන් එලියට/එළියට ඇදුනාය/ඇදුණාය. ඈ ලං/ළංවත්ම ඔහු අවට වසා තිබුණු/තිබුනු අඳුර කෙමෙන් පහවී ගියේය.වරක් සේන දෙස බැලූ ඈ බිම් බලාගත්වනම ඔහු අසළට/අසලට ඇදුනි/ඇදුණි. ඔහු නොඉවසිල්ලෙන් ඈ දෙස බලා ගත් වනම සිටියි. ඈ පහත්වී නිවුනු/නිවුණු පහන් දැල්වූවාය. කුස්සිය දෙසින් ඇසෙන/ඇසෙණ කටහඬ හැරුණු/හැරුනු විට මුලු/මුළු අවට මහත් නිහඬතාවක් පවතී.’ (‘අක්කර පහ - මඩවල ඇස්- රත්නායක)

    5) ‘ “මේ මනුස්සයාට පණ/පන නෑ හැන්දෑවේ එනකොට. ඒත්, මොනව ද හම්බ වෙන්නේ? දවස් ගනනට/ගණනට එහෙම නෙවෙයි-උස්සපු මුට්ට ගණනට/ගනනට” පුංචි මැණිකා/මැනිකා පැහැදිළි/පැහැදිලි කලාය/කළාය.’ (ශිෂ්‍යත්වය - ටී- බී- ඉලංගරත්න)

    සිංහල සහ ඉංග්‍රිසි භාෂාවන්හී ප්‍රාමාණික උගතකු නොවූවත් මට ඇති සුළු දැනුම මම ඔබ හා බෙදා ගැනීමට අවකාශ ඇති හැම විටම උත්සාහ කරමි.
    (පිළිතුරු ඊළඟ සටහනෙන්.)

    ඔබේ අදහසද දන්වන්නට කාරුණික වන්න-

    දැනුම/විනෝදය ලැබීමට https://athuranmusic.blogspot.com වෙබ් අඩවියට පිවිසෙන්න.

    ඔබට ස්තුතියි.


     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔහොම ලිපි පෙළක් ගියා ඉස්සර ලංකාදීපේ.ඒකේ තිබුණේ පත්තරවල යන වාක්‍ය තෝරගෙන ඒවායේ වැරදි පෙන්නලා දෙන එක.