පමා වූ හීනය - කෙටි කතාවක්

Niki92

Member
Jul 10, 2014
14
8
0
පමා වූ හීනය - කෙටි කතාවක්

යාළුවනේ මේ තමයි මගේ මුල්ම කෙටි කතාව..කියවල බලලා ඔයාලගේ අදහසුත් කියල යන්න හොඳේ.. :D

“ ඒයි නිකි යෝ ඉක්මණට වරෙන්කෝ බන්..අද නම් හොඳටම වෙලා ගිහින්”
“අනේ ඔව් බන් තව විනාඩි පහයි තියෙන්නේ..දන්නවනේ අපේ ඇඳුරුතුමාගේ හැටි”
“ආයේ කතා දෙකක් නෑ පැය දෙකක් එළියේ මැස්සෝ මර මර තමයි ඉන්න වෙන්නේ ”
ඒ කන්දොස්කිරියාව මගේ අතිජාත මිතුරියන් තිදෙනා වන සොපී, බීටා හා ඇලිස් ගෙනි..මේවා අපේ දෙමාපියන් විසින් තියනා ලද නම් නොවූවද ඒවා උප්පැන්නෙට පමණක් සීමා වන තරමටම සරසවියේ මේ අන්වර්ථ නාමයන්ට අප හුරු වී අවසන්ය..
“හරි හරි සුදූලා ඔන්න මං ආවා..යමු යමු ඉක්මණට මොනවා හරි බඩට දාගන්න..අප්පා දැන් නම් යකෙක් කන්න තරම් බඩගිනියි..”
“අනේ මේ මඟුලක් කතා නොකර ඉඳින්..යකෙක් කන එක කෙසේ වෙතත් දැන් පෝලිම් ගානේ ගිහින් කන්න බලන් ඉඳලා සර්ට යකා ආරුඪ කරවන්නේ නැතුව
ඉක්මණට මෙතන කළු කඩෙන් මොනා හරි බීලා දුවමු බන්..”
හිටපු ගමන් මාරාවේශ වන අපේ ආර්ථික විද්‍යා ආචාර්යවරයාට ඇති ගෞරවය නිසාවෙන්ම අමාරුවෙන් වූවත් බීටාගේ අදහස අනුමත කල අප ඈ පසු පසින් මීටර් සීය දුවන්නට විය.
“දඩාස් ..”
මෙලෝ සිහියක් නොමැතිව දිව ගිය මා නැවත පියවි ලෝකයට පැමිණියේ සද්ධන්ත යමක් මගේ ශරීරයේ ස්පර්ශ වූ බැවිනි.
“අම්මෝ..අනූ නවයයි දශම නවයයි නූල් තුනෙන් බේරුනේ..තව පොඩ්ඩෙන් මන් කාණුවේ..උඩ බලන්ද හලෝ ඇවිදින්නේ..”
අඳුන ගත්තද මන්දා.. අපේ සින්නෙක් වගේ මේ අයියා..ඉතින් මට පාන්ද..මේ වගේ පොඩි රටක ඔය වගේ චූටි දේවල් කොච්චරනම් වෙනවද..එහෙම හිතල හිත හදා ගත්තත් ඒ මුණ දකිද්දී නම් මටත් නොදැනීම මගේ හඬ බැගෑපත් විය..
“ අනේ සමාවෙන්න අයියා..මන් කලබලෙන් ආව නිසයි දැක්කේ නැත්තේ..ලෙක්චර්ස් වලට හොඳටම පරක්කු වෙලා අපි..”
“හ්ම් හරි හරි අවුලක් නෑ..එත් ඉතින් පාරේ යන කොටවත් ටිකක් සිහි කල්පනාවෙන් ගියොත් හොඳයි..අපිත් ඉතින් මේවගේ යන්න ඕනනේ..”
මුවඟට නැඟුණු මදහස සඟවා ගනිමින් පැවසූ ඔහු යන්නට ගියේ මගේ යෙහෙළියන් දෙසටද සිනාමුසු බැල්මක් හෙළාය..
“අප්පේ ඇති යන්තම් ඔයින් ගියා..මොකද්ද බන් උබේ වැඩේම කොහේ හරි වැදෙන එක..එක්කෝ මේසේ ඔලුව වද්ද ගනියි..නැත්නම් බිත්තියේ..දැන් තව පොඩ්ඩෙන් අර මනුස්සය කාණුවේ..”
“ඒ වුනාට කොහොමහරි මේකි අර ටින්කිරි වොයිස් එක දාලා ශේප් කර ගත්ත නේ..”
“ ගණන් ගන්න එපා බන් ඒ මන් ලබා උපන් හැටි..ඉතින් ඉරිසියා නොකර කියහන්කෝ ඒ කව්ද කියල..නිකන් දැකල පුරුදුත් වගේ..”
“අහන්නත් දෙයක්ද බන් ඒ මීඩියා බැච් එකේ අයියා කෙනෙක්නේ..කොයි වෙලෙත් කැමරාවත් උස්සගෙන ඇවිදින එකමයි වැඩේ..ඒත් බන් මාර දක්ෂයිලු..කවද හරි බැච් ටොප් තමයි..”
ඒ සොපී ගේ හඬයි.පුදුමයක් නැත.මේ සරසවි භුමියේ වැදගත් නොවැදගත් ඕනෑම ඕපා දූපයක් දන්නා අපේ රොයිටර් සේවය ඈ ය.
කතාව අතරම කිරි පැකට්ටුවක් උගුරට දෙකට බී හමාර කර දේශණ සඳහා දිව ගිය අපට නැවතත් ඒ රුව නෙත ගැටුනේ දහවල් කැන්ටිමේ බත් පෝලිමේ සිටියදීය.
ගෙල තෙක් වවා ඇති ස්ට්‍රේට් කොණ්ඩය හා දුඹුරු පැහැති කතාකරන නෙත් සඟල පැහැපත් ඔහුගේ කඩවසම් බව වැඩි කර ඇතැයි මට සිතුනි..
“හා හා හොරේ දැණුනා දැණුනා..සයිලන්ට් මොකෝ බැලුවා බැලුවා..”
මොහොතකට අයාලයේ ගිය මා දෙනෙත ඒ නෙතු අතරින් මිදුණේ මා සවන් අසලින්ම රහසින් කෙඳිරු ඇලිස් ගේ හඬිනි.
“ආ..ආ..ඕවට තමා කියන්නේ සැබෑ ආදරය කළු කඩේ අසලදී වුවද හමු විය හැක කියල..හික්ස්..”
“මොකෝ නිකියෝ බඩගිනි වැඩි වෙලාද උඹ අර ඒ.ආර් දිහා කන්න වගේ බලන් ඉන්නේ ආ..”
“ඒ.ආර්..?” මා බීටා දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් දෑසේ රඳවාගනිමිනි.
“ අයියෝ බන් ඒ.ආර් කියන්නේ මෑන් ගේ ආතර් කියන කාර්ඩ් එකේ ෂෝර්ට් නේම් එකනේ ..බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ..එහෙම කිව්වම කාටවත් තේරෙන එකක් නෑනේ සුදූ” යි ඇසක් ගසා පැවසූ ඈ දෙස බැලූ මා මුවේ සිනාවක් ඇඳුනේ නිතැතිනි.. මේ සුළු මොහොතට මුන් ටික නමකුත් දමා අවසන්ය..පාඩම් වලට කෙසේ වූවද නම් දැමීමේ කලාවෙහි නම් උන්ට ඇත්තේ විශිෂ්ට දක්ෂතාවයකි.මා මිතුරියන්ගේ බ්‍රේක් නොමැති කටවල් ගැන හොඳින් දන්නා මා බත් එකත් රැගෙන ගොස් වාඩි වූයේ ආයේ ආයෙත් ඒ රුව වෙතම ඇදී යන දෙනෙතට තරවටු කරමිනි.
අපටත් නොදනීම දින සති බවට පත් වෙමින් ඒ.ආර් හා මා අතර සුහදත්වයක් ඇති කරමින් ගෙවී ගිය කාලය මා ගෙවා දැමුවේ සැහැල්ලුවෙනි..අප දෙදෙනා අතර නම් යාලු කමකට වඩා යමක් නොතිබුණද පිරිමි ළමුන් සමඟ වැඩි සබඳකමක් නැති මගේ මේ හැසිරීම පිළිබඳව මා මිතුරියන්ට වුයේ නම් සැකයකි.
“ ඔන්න ඔන්න ඉතින් උඹ මේ පණට පණ ඉන්න අපිටත් බොරුව දානවනේ බන්..”
“ උඹලට පිස්සු..අපි යාලුවෝ විතරායි..හාද..”
“අහ්..හා ..දැන් එතකොට ඒකා උඹ යන යන තැන පස්සෙන් එන්නේ..සැරින් සැරේ දවස තිස්සේ මැසේජ් කොටන්නේ..සතියට දෙතුන් පාරක් කතා කරන්නේ මේ යාලු කමට.. එහෙමද ආ..”
“අනේ මන්ද සොපියෝ උඹලට කිව්වට පිලි ගන්නේ නෑනේ..ඒ මනුස්සයගේ තුන් හිතකවත් නැතිව ඇති එහෙම දෙයක්..”
“හපොයි ඔව් ඔව් ඒ නිසා වෙන්න ඇති එදා අවරුදු උත්සවය දවසේ ඒ.ආර් ගේ කැමරාව දෙතුන් පාරක්ම උඹේ පැත්තට හැරුණේ නේද..?”
“ අනේ බොරු නොකියා ඉඳින්..උඹලා මට එහෙම දෙයක් කලින් කිව්වේ නෑනේ...” යි මා විමසුවේ ප්‍රීතිමත් ස්වරයෙනි.එය මට අලුත් පුවතක් වූවද ඉන් මගේ හිත බෙහෙවින් සතුටට පත් වී ඇති බව මටද හැඟුනේ මගේ හඬේ වූ වෙනස හඳුනා ගත් මිතුරියන්ගේ මුවඟ රැඳුණු සරදම් සිනාවෙනි..
“ හරි හරි බන් උඹලා අහල නැත්ද ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියල..ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉඳින්කෝ..”
කවිය නුඹ..තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී..සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය නුඹ.. ගීතය නාද වීම නිසාවෙන් කියන්නට ගිය දෙය නවතා දුරකථනය මා අත තිබූ බීටා ගේ මනමාල හිනාවෙ අර්ථය මට වැටහුනේ තිරය මත දිස් වූ නම දුටු විටය.. ඒ.ආර්.. ඇත්තෙන්ම මේ සබඳකමේ තේරුම තවමත් මට නොතේරේ..ඒ ගැන දුරට සිතා හිතට බර පැටවීමට නොසිතූ මා දුරකථනය කන තබා එළියට ගියේ මිතුරියන්ගේ දෑස් මඟ හරිමිනි..
සහෝදරත්වය,දයාබරත්වය මුසු වූ ඒ.ආර් ගේ මිතුදමත් සමඟින්ම කාලය ගෙවී යන්නට වූයේ මෙතෙක් කල් පැවති සැහැල්ලු කෙළිලොල් මානසිකත්වයට තිත තබන වසර අවසන් විභාගයට දින සති ලං වන බව අපට සිහියට නගනා මධ්‍ය වාර පරීක්‍ෂණ හා ඇගයීම් වලින් අප සැම කාර්යබහුල කරවමිනි.
“ඒ නිකියෝ..මේ දවස් වල ඒ.ආර් ගෙන් සද්දයක් නෑ නේද..”
“හ්ම්..වැඩ ඇති බන් උන්ටත්..පේන්නේ නැද්ද අපිට තියෙන වැඩ කන්දරාව..ඊයේ රෑ නින්දකුත් නෑ මේ ප්‍රසන්ටේෂන් වැඩ නිසා බන්..”යැයි මා කියා ගත්තේ මෙතෙක් දවස් මා හිත පෙලූ පැනය සොපීගෙන් ද යොමුවීම නිසා වූ හිත් තැවුල සඟවන්නට වෙර දරමින්ය.
“මන් නම් කියන්නේ පොඩ්ඩක් ඔය ගැන මීට වඩා සීරියස් හිතපන් බන්..නැත්නම් ඔය හිත උඹට තේරුම් යන දවසට පරක්කු වුණා වැඩි වෙයි..”
“ඉතින් ඒකට නිකියා මොනා කරන්නද බන්...මේකි කෙල්ලනේ...”
“නෑ ඉතින් මන් කියන්නේ මුගේ මේ කටේ තියෙන සහෝදර බයිලා අත හැරලා ටිකක් සීරියස් හිතන්න කියල.එතකොටනේ ඒ කොල්ලට වුණත් තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ..”
“අම්මේ ඇති ඇති දැන් ඒ.ආර් කපා හැරලා අපේ වැඩ ටික කරගමු.නැත්නම් ඉතින් අදත් නයිටක් අදින්න වෙයි අපිට”
“හ්ම්..මදැයි අපිත් ඒ කාලේ සර්ලගෙ සුරංගනා කතා අහලා ජොලියේ ඉගෙන ගන්න කියල මෙහේ ආවා..බලන් ගියාම උසස්පෙළ හොඳයිනේ බන්..හි..හි.”
ඇලිස්ගේ වදන් අනුමත කරමින් අප සැවොම අදහස් පලකළ ද මා දෙසම බලා හිඳ සුසුමක් හෙලූ සොපී ගේ බැල්ම මට ගෙන ආවේ කුහුලකි.
අවසන් මධ්‍යවාර පරීක්‍ෂණයෙන් පසු සැහැල්ලු සිතින් එළියට පැමිණි අපේ මුහුණු වල සිනාව පුළුල් වූයේ තැනින් තැන ඇති ලී බංකු මත එක පොදියට සිටිනා පළමු වසර සිසුන් පිරිස දැකීමෙනි..
“අඩේ නිකියෝ යමුද පොඩ්ඩක් පොඩි එවුන් එක්ක චැට් එකක් දාන්න..ඒ බීටා ගේ උද්යෝගිමත් හඬයි..”
“අනේ නිකන් ඉඳපන් බන් උන්ට පාඩුවේ ඉන්න දීලා..දැන් සෝෂල් එකත් ලඟයි නේ.”
“ හරි හරි බන් අපි උන්ව කන්නේ නෑනේ..පොඩ්ඩක් සැප දුක විමසන්නනේ යන්නේ..මෙන්න මෙහේ වරෙන්..”
ජුන්නන් සිටිනා තැනකට ගොස් සැහැල්ලු විනෝදශීලී කතාබහක යෙදී සිටි මගේ දැහැන බිඳුනේ එක දිගට මාගේ පයට වැදුණු ඇලිස්ගේ පා පහරිනි.. වැදුණු පහරේ සැර නිසාවෙන්ම ඈ වෙතට යොමු වුණු මගේ රැවුම ඇගේ නෙත් මානය ඔස්සේ යොමු වූයේ අප හිඳිනා බංකුවට මඳක් ඈතින් වූ මල් පාර දෙසටය..
තත්පර ගානක් යන තුරු මගේ නෙත් රැඳී තිබුණේ එක ළඟ එක පියවර තබමින් දෑත් පටලා සිනහ මුහුණින් මෙදෙසට එන ඒ ආදරණීය යුවල මතය.. ඉඳින් සියල්ල අවසන් වී ඇත..මේ දැනෙන්නේ දුකක්ද සතුටක්ද යන්න තෝරා ගන්නට බැරි තරමට මුළු හිතම ගොළු වී ඇත. මා මතකයට නැගුණේ මීට කිහිප දිනකට පෙර පැවසූ සොපීගේ වදන්ය..අද ඒ වදන් සත්‍ය වී ඇත..මා පමා වී වැඩිය..මෙලෙස ඔහුත් සමඟ එක මඟ යන්නට හේතු රහිතව වැට කඩොළු දමා සිර කර තිබූ හීනය තේරුම්ගන්නා විට මා පමා වී ඇත.
“හ්ම්..මට ආරංචි වුන විදියට නම් ඒ.ආර් ෆස්ට් ඉයර් ඉන්න කාලේ ඉඳලමයි ඔය අක්කට කැමැත්තෙන් ඉඳල තියෙන්නේ..ඒත් එයා ඒ කාලෙදීම වෙන අයිය කෙනෙක් එක්ක යාළු වෙලා.. කොහොම හරි දැන් ටික කාලෙකට කළින් ඒක නැති වෙලා ඒ අයියගේ වරදින්...නොකිව්වට ඒ අක්කගේ හිතෙත් ආකාශ් ගැන පොඩි කැමැත්තක් තිබිල තිනවා..ඒ ගැන දන්න දෙපැත්තේම යාළුවෝ එකතුවෙලා තමයි ආයේ මේක සෙට් කරල තියෙන්නේ..”
අද මුල්ම වතාවට සොපී ගේ මුවින් ඒ.ආර් ගේ නම කියැවුණි..ආකාශ්..සැබෑව එයයි..මින් ඉදිරියට මට සම්බන්ධ කර විහිළු කරන්නට ඒ.ආර් කෙනෙක් නැත..ඇත්තේ ආකාශ් වනිගසූරියයි..
“ඔන්න ඕක දැන් අමතක කරලා දාපන් බන්..එක මාළුවද මුහුදේ ඉන්නේ..ඊටත් ඔය වගේ හිත් දෙකේ මිනිස්සු නම් කොහොමත් වැඩක් නෑ..” මගේ වමතත් දෑතට ගෙන ඈ පවසන්නේ මා ගැන දුකින් බව මම දැන් දනිමි..
අප ඉන්නා තැනට ආසන්න වෙත්දීම අහම්බෙන් මෙන් මා දුටු ඔහුගේ නෙත් ගැස්සෙනු මම හොඳින් දුටුවෙමි..
“ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
ඒ කිව් එකාගේ කට කෑවත් මදිය
ඉස්සර වුනු එකා හට කොකු හත අටය
ඉවසපු එකා අද තාමත් තනිකඩය..” හැමදාමත් වගේ වාචාල කටවල් වලට මුල් තැන දෙන මගේ අතිජාත මිතුරියන් තිදෙනා මඳ හඬින් ගැයූ සරසවි කවියට මා ද අත් වැල තබමින් අවසන් පද පෙළ ගැයුවේ නව යුවළ වෙත සිනාවක් තිලිණ කරමිනි....


attachment.php
 

Attachments

  • short Story pic (2).jpg
    short Story pic (2).jpg
    83.7 KB · Views: 249
Last edited:
  • Like
Reactions: argan