පරමාර්ථ ප්‍ර‍ඥප්ති භේදය

Answer

Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය යනු පරමාර්ථ ධර්ම කොටස් සතරක් කියන ලදි. පරමාර්ථ ස්වභාව ධර්ම වූ ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය පහසුවෙන් තේරුම් ගැනීමට පරමාර්ථය පළමු කොට දැන සිටිය යුතුය. එබැවින් පරමාර්ථ ධර්ම තත්ත්වය ද දක්වනු ලැබේ.

    ලෝකයෙහි සත්‍ය වශයෙන් නැතිව, අන්‍ය වස්තූන්ගේ ක්‍රියා - පිහිටි ආකාරාදිය නිසා ඇති සේ පෙනෙන ඇති සේ වැටහෙන වස්තු කොටසක් ඇත්තේ ය. එසේ සත්‍ය වශයෙන් නැත්තා වූ ඒ දේවලට ප්‍ර‍ඥප්තිහු යයි කියනු ලැබේ. සත්‍ය වශයෙන් ඇති දේවලට පරමාර්ථයෝ යයි කියනු ලැබේ.

    අඳුරෙහි සිට ගිනි පෙනෙල්ලක් වේගයෙන් කර කැවුවහොත් ගිනි වළල්ලක් පෙනේ. ගිනි පෙනෙල්ලේ ගමන් වේගය නිසා එසේ පෙනෙන නමුත් සත්‍ය වශයෙන් ගිනි පෙනෙල්ල හැර ගිනි වළල්ලක් එහි නැති බව කාහට වුවත් පහසුවෙන් වැටහෙනවා ඇත. උදය - සවස - දවාල - රාත්‍රිය - දවස - මාසය යන මේවා ද සූර්යයාගේ ගමන නිසා ඇති සේ වැටහෙන් ඒවා. සත්‍ය වශයෙන් උදය කියා හෝ සවස කියා හෝ දවාල කියා හෝ රාත්‍රිය කියා හෝ දවසය කියා හෝ මාසය කියා හෝ කිසිවක් නැත. සූර්යයාගේ ගමන නිසා ඇති සේ සලකනවා මිස කතා කරනවා මිස උදය සවස යනාදියේ කිසිවක් නැති බව නුවණින් විමසන්නකුට වැඩි අමාරුවක් නැතිව තේරුම් ගත හැකිය. ගිනි වළල්ලය, උදය - සවසාදි කාලයෝය යන ආදිය අන්‍ය වස්තූන්ගේ ක්‍රියා නිසා ඇති සේ පෙනෙන ඇති සේ වැටහෙන දේවල් ය.

    සත්‍ය වශයෙන් නැතිව අන්‍ය වස්තූන්ගේ පිහිටි ආකාරය නිසා ඇති සේ පෙනෙන ඇති සේ වැටහෙන දේවල් ඉතා බොහෝ ය. කුලුන ඉන් එකකි. කුලුනය යනු උස්ව පෙනෙන එක් වස්තුවකි. එය බෙදා බැලුවහොත් ගල් හා බදාම එහි ඇති බව දත හැකිය. එහි තිබෙන ගල් හා බදාම වෙන් කොට දෙතැනක තැබුවහොත් බදාම ගොඩක් හා ගල් ගොඩක් පෙනෙන්නට වන්නේය. කුලුන නො පෙනී යන්නේය. එසේ නො පෙනී යාමට හේතුව ගල් හා බදාම හැර කුලුනක් නොමැති බවය. ඒ ගල් හා බදාම නැවතත් ඒ ආකාරයෙන් උස්වන සේ රැස් කළහොත් නැවතත් කුළුන පෙනෙන්නට වන්නේය. වෙන් කළහොත් නො පෙනී යන්නේය.

    ගෙය ද ඒකාන්තයෙන් නොමැතිව අන්‍ය වස්තු සම්භාරයක පිහිටි ආකාරය නිසා ඇති සේ පෙනෙන දෙයකි. එහි උළු - ගල් - ලී - බදාම ආදිය වෙන් කර තැබුවහොත් ගෙය නොපෙනී යන්නේය. මෙසේ කොටස් කළ කල්හි නොපෙනී යන්නා වූ ද ඒ ඒ ආකාරයෙන් වස්තු රැස්කළ කල්හි ඒ වස්තූන් නිසා ඇති සේ පෙනෙන්නට වන්නා වූ ද යම් යම් දෙයක් ඇතහොත් ඒ සියල්ල ම සත්‍ය වශයෙන් නැති, අන්‍ය වස්තූන් නිසා ඇති සේ පෙනෙන්නා වූ දේවල් ය. සාමාන්‍ය ලෝකයා විසින් ඇත යයි සලකන, දෙවි - මිනිස් - ඇත් - අස් - ගව ආදි පණ ඇති වස්තූහු ය, ඇඳ - පුටු - මේස - පිඟන් - කෝප්ප සැලි - රෙදි ගස් - ගල් ආදි පණ නැති වස්තූහුය යන මේ සියල්ල ම යට කී කුලුන මෙන් ද ගෙය මෙන් ද බෙදා බැලුවහොත් නො පෙනී යන්නා වූ නැති වන්නා වූ දේවල් ම ය. එබැවින් ඒවායින් එකකුදු පරමාර්ථ නො වන බව දත යුතු.

    යම් කිසිවක් පරමාර්ථ වශයෙන් ඇති දෙයක් ද නැති දෙයක් ද යන බව සොයා ගැනීමට තිබෙන පහසු ම ක්‍ර‍මය බෙදා හැලීමය. නො බෙදිය හැකි දෙය ලැබෙන තුරු, නුවණට වැටෙන තුරු ඒ ඒ වස්තූන් නැවත නැවත බෙදා බලා ම පරමාර්ථය සොයා ගත යුතුය. නිදර්ශනයක් වශයෙන් එක වස්තුවක් බෙදන ක්‍ර‍මය දක්වනු ලැබේ.

    වස්ත්‍ර‍ය සාමාන්‍ය ජනයා විසින් ඇති සේ සලකන එක් දෙයකි. එය පරීක්ෂා කරන කල්හි වස්ත්‍රයේ තිබෙන්නේ කුමක්දැයි විමසනු. එකල්හි දෑතට විහිද ගිය නූල් සමූහයක් එහි ඇති බව පෙනෙනවා ඇත. ඉක්බිති වස්ත්‍ර‍ය නූල්දැ යි කල්පනා කරනු. එකල්හි වස්ත්‍ර‍ය නූල් නොවිය හැකි බවත් නූල් වස්ත්‍ර‍ නො විය හැකි බවත් වැටහෙනවා ඇත. නූල් සමූහය පෙනෙන ආකාරමාත්‍ර‍යක් බවත් වැටහෙනවා ඇත. වස්ත්‍ර‍යක් ඒකාන්තයෙන් නැති බවත්, නූල් පමණක් ඇති බවත් දුටු පසු, එයින් එක නූලක් ගෙන එහි කුමක් තිබේදැයි විමසනු. එකල්හි එහි කුඩා කපු කෙඳි සමූහයක් පෙනෙනවා ඇත. කපු කෙඳි දුටු කල්හි නූලක් ඒකාන්තයෙන් නැති බවත් කපු කෙඳි පමණක් ඇති බවත් නූල කපු කෙඳිවල පෙනෙන ආකාර මාත්‍ර‍යක් බවත් වැටහෙනවා ඇත. ඉක්බිති කෙන්දක් ගෙන එහි කුමක් තිබේදැයි විමසනු. එහි ද ඇසට නො පෙනෙන ඉතා කුඩා වස්තු රැසක් ඇත්තේ ය. ඒවා සොයා ගැනීම පහසු නොවේ. එහි ඇත්තා වූ ඉතා කුඩා කොටස රූප කලාපයයි. ඇසට පෙනෙන තරම් ද්‍ර‍ව්‍යයක් වනුයේ රූප කලාප ලක්ෂ ගණනක් එකට බැඳී සිටි කල්හිය. කපු කෙන්දෙහි ඇති ඉතා ම කුඩා ද්‍ර‍ව්‍ය රූප කලාපයයි. ඒ රූප කලාපය ද, එක් වස්තුවක් නොවේ. එහි ද පෘථිවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, වර්ණය, ගන්ධය, රසය, ඕජාව යයි රූප අටක් ඇත්තේ ය. ඒවායේ තවත් කිසිවක් නැත. එබැවින් ඒවා බෙදිය හැකි නොවේ. ඒවා ඒකාන්තයෙන් ඇත්තා වූ දේවල් වෙති. වස්ත්‍රයෙහි ඇති පරමාර්ථ ධර්මයෝ ඒ පෘථිවි ආදි රූප අටය. මේ වස්තූන් පරීක්ෂා කරන්නා වූ ආකාරයයි. පරමාර්ථ ධර්ම විෂයෙහි කිසිදු උගෙනීමක් නැති කෙනකුට මෙසේ පරීක්ෂා කොට පරමාර්ථය සොයා ගන්නට නුපුළුවන. එහෙත් ඇති සැටියට සැලකෙන නොයෙක් දේ පරමාර්ථ වශයෙන් නැති ඒවා බව කාහට වුවත් වටහා ගත හැකි ය.

    පරමාර්ථ ධර්මයන් ගැන කල්පනා කරන්නට විමසන්නට හැකිවීමට පළමුවෙන් පරමාර්ථ ධර්මයන් ගැන සාමාන්‍ය උගෙනීමක් ගුරුවරයකු ඇසුරු කොට කළ යුතුය. අපාය ලෝක - මනුෂ්‍ය ලෝක - දිව්‍යලෝක - බ්‍ර‍හ්මලෝක යන සෑම තන්හි ම ඇත්තා වූ අවිඤ්ඤාණක සවිඤ්ඤාණක සියල්ල ම විමසුවහොත් පරමාර්ථ ධර්ම දෙඅසූවක් ලැබේ. එනම් සිතය චෛතසික දෙපනසය රූප අටවිස්සය, නිවනය යන මොහුය. මේ දෙ අසූව හැර ඒකාන්තයෙන් ඇත්තා වූ කිසිවක් කොතැනකවත් නැත්තේ ය. ලෝකය වී තිබෙන්නේ නිවන හැර ඉතිරි පරමාර්ථ ධර්ම එක් අසූවය. ප්‍ර‍ඥප්තියෙන් වැසී තිබෙන බැවින් ඒ පරමාර්ථ ධර්මයෝ නො පෙනෙන්නාහ. ප්‍ර‍ඥප්තියක් පාසා ම නුවණින් විමස විමසා ප්‍ර‍ඥප්තීන් නුවණින් බිඳ බිඳ බලන කල්හි ඇත යයි කිසි කලෙක නොවැටහුණා වූ පරමාර්ථයෝ වැටහෙන්නට වන්නාහුය.

    දෙඅසූ පරමාර්ථ ධර්මය සොයාගත හැකි වන්නේ ද ධර්ම විෂයෙහි ඉතා ගැඹුරට බැසීමෙනි. පරමාර්ථ ධර්ම දෙඅසූව සොයාගත් පමණින් ද චතුරාර්‍ය්‍ය සත්‍යය දැන ගත්තේ නම් නොවේ. එය දැන ගැනීමට පරමාර්ථ ධර්ම විෂයෙහි තවත් ගැඹුරට යා යුතුය.

    -රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් සම්පාදිත චතුරාර්‍ය්‍ය සත්‍යය' ධර්ම ග්‍රන්ථය ඇසුරිණි-

    මේ ධර්ම දාන කුසලය මෙය කියවන සියල්ලන්ටම එක සේ සම්මෝහය දුරුවීම පිණිසම උපනිශ්‍රය වේවා !!
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    වස්තූන් නැවත නැවත බෙදා බලා ම පරමාර්ථය සොයා ගත යුතුය
    Screenshot_2021-10-06-14-53-45.png
     
    Last edited:
    • Like
    Reactions: Answer

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    ආකාශ ධාතුව රූප 28 න් එක් පරමාර්ථ ධර්මකි . පරමාර්ථ ධර්ම නැවත නොබෙදිය හැකිය. නමුත් ඔබේ උපුටා ගැනීම සූවිසි ප්‍රත්‍යන්ට පරමාර්ථ ධර්ම ප්‍රත්‍යය ප්‍රත්‍යයෝපන්න වන නොවන ආකාරය.එය මේ ප්‍රඥාප්ති පරමාර්ථ කතාවෙන් වෙනස් වූවක්
     
    • Like
    Reactions: batwise