පවුල සහ යාළුකම

hpalpola

Well-known member
  • අධිකරණයේ ඉද්දි සම්බන්ධ වෙන්න ලැබෙනවා දික්කසාද නඩු වලට. සමහරක් දික්කසාද නඩුවලදි 72 වගන්තියෙ විධාන යටතෙ ලේඛන ඉදිරිපත් කරලා කඩිනම් දික්කසාද ලබා ගැනීමට මග සාදා ගන්නවා. ඒ වගේ අවස්ථාවලදි නඩු පොතේ ලියැවුනාට වරදකාරී පාර්ශ්වයක් ඉන්නවා කියලා බැලුවම එහෙම පාර්ශ්වයක් නැහැ. විවාහයෙ දෙපාර්ශ්වය ඒ විදියට දික්කසාදය ලබා ගන්නෙ රටේ පවතින නීතිය අනුව කටයුතු කරලා. තවත් දික්කසාද නඩුවලදි දෙපාර්ශ්වය හබ කරනවා. ඒ වගේ වෙලාවලදි හිතෙනවා මේ දෙපාර්ශ්වය නඩුවෙන් පස්සෙ පාරෙ තොටේදි හම්බ වුනොත් එහෙම කොහොම වෙයිද කියලා. කවදාවත් මූණ බලන එකක් නැහැ. මග ඇරලා යාවි. මේක සාමාන්‍යයෙන් ආසියානු කලාපයෙදි දකින්න පුළුවන් දෙයක්. මෙහෙ මිනිස්සුන්ගේ විවාහ සබඳතාවලදි යාළුකම් නැහැ. ඒ කියන්නෙ දෙපාර්ශ්වය විවාහක වුනාට යාළුවො නෙමෙයි. විවාහක යුවලකට හොඳම යාළුවො වීම කෙසේවෙතත් පටස් ගාලා හතුරො වෙන්න පුළුවන්. ඒක අධ්‍යාපනයෙ වරදක් ද නැත්නම් චින්තනයේ වරදක් ද කියලා හිතා ගන්න බැහැ. මේ කියන දේ සමහරවිට තේරෙන්නෙ නැතුව ඇති.

    නිකමට හිතන්න ආදරේ කරන ජෝඩුවක්. අවුරුදු ගාණක් ආදරේ කරලා නොගැලපීම් නිසා මේ දෙන්න වෙන් වෙනවා. ඊට පස්සෙ මේ වෙන් වුන දෙන්න වෙන සබඳතා හදා ගන්නවා. එහෙම වෙනවනෙ ඉතින්. දැන් ඔන්න ආපහු දවසක් ෆුඩ් සිටියෙදි නැත්නම් ස්ටේෂන් එකේදි මේ දෙන්න මූණට මූණ හම්බ වෙනවා. ඒ හම්බ වුනාම එක්කො දෙන්න නොදැක්ක වගේ යනවා. නැත්නම් මග හරිනවා. ඒ කියන්නෙ යන පාර වෙනස් කරනවා. නැත්නම් ඔරවන් ගස්සගෙන යනවා. බොහොම කලාතුරකින් දෙන්නෙක් තමයි එහෙම හමු වුනාම හිනාවෙලා හලෝ කියන්නෙ. ඉතින් මේකට විවිධ හේතුත් තියෙනවා. ඒකෙන් ප්‍රධානම එක තමයි දැන් සම්බන්ධතාවය හදාගෙන ඉන්න කෙනා, පරණ සබඳතාවය ගැන දැන ගත්තොත් දාලා යයි කියලා හිතෙන එක. ඒ නිසා ආපහු කලින් කෙනා එක්ක හිනා වෙන්නෙවත් නැහැ. තව එකක් තමයි තියෙන තරහ.

    නිකමට හිතන්න. යාළුකමක් තිබුනා නම් එහෙම වෙනවද කියලා. අවුරුදු ගාණක් ආදරේ කරලා නැත්නම් එකට ඉඳලා මොකක් හරි නිසා වෙන් වුනාට පස්සෙ, ආපහු දවසක හම්බ වෙද්දි හිනා වෙන්නවත් බැහැ කියන්නෙ අර කලයි කියන ආදරේට මොකද වෙන්නෙ. ඒ ගෙවුන කාලයට මොකද වෙන්නෙ. ඇත්තටම බැලුවොත් පෙනේවි ඒ කාලයේ ආදරේ කියලා කරලා තියෙන්නෙ වෙන මොකක් හරි කියලා. ආදරේ කලා නම් යාළුකමත් තියෙනවානෙ. යාළුකම් නැති වෙනවා කියන්නෙ හිතේ තරහ තියනවා කියන එක. ඒ කියන්නෙ හිත ඇතුලෙ ද්වේශය තියෙනවා කියන එකනෙ.

    බුදු හාමුදුරුවො යහළුකම ගැන සෑහෙන්න දේශනා කරනවා. හොඳ යාළුවෙක් වෙන විදිය ගැන සූත්‍ර දේශනාවල පෙන්වලා දෙනවා. හැබැයි බෞද්ධ රටේ ඒවා තියෙන්නෙ සූත්‍ර පොතේ විතරයි. නිදසුනකට බලන්න හොඳ යාළුවකුගේ ගතිය තමයි තරහ වුනත් තමන්ගෙ යාළුවගේ රහස් එළිනොකරන එක. දැන් අපේ ජෝඩු තරහ වුන ගමන් මොකද කරන්නෙ? යාළු වෙලා උන්න කාලේ දෙන්න අතරෙ විතරක් ෂෙයාර් කර ගත්ත පුද්ගලික දේවල් ප්‍රසිද්ධ කරනවා. යාළුකමක් තිබ්බා නම් එහෙම කරයි ද?

    මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැහැ. කොහොම ඇති වුනත් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම අන්තර් සබඳතා පවත්වාගෙන යාමෙදි බාධාවක්. නිකමට හිතන්න දික්කසාද වෙන ජෝඩුවට දරුවො ඉන්නවා කියලා. ඒ වගේ හැසිරෙද්දි දරුවන්ට ඒක බලපාන්නෙ නැද්ද. අම්ම තාත්තා වෛරක්කාරයො වෙලා ඉන්න දරුවොන්ගෙ මානසික මට්ටම ගැන අමුතුවෙන් කියන්න ඕනා නැහැ. ඒ දරුවො ලොකු වෙලා වැඩිහිටියො වුනාම සමාජයට ඒක කරදරයක් වෙන්න පුළුවන්.

    ඉතින් මේ තත්ත්වයන් අපි සැලකිල්ලට ගන්න ඕනා. හැකි උපරිමයෙන් විවාහ ජීවිතයෙදි නැත්නම් ආදරේදි යාළුකම් පවත්වාගෙන යන්න ඕනා. එතකොට තමුන්ටත් සතුටින් ඉන්න පුළුවන්. අනුන්ටත් සතුටින් ඉන්න පුළුවන්. ට්‍රයි එකක් දෙමු සමාජයට පොඩි හරි වෙනසක් කරන්න.
     
    • Like
    Reactions: NRTG