පස්‌දුන් කෝරලේ දේවාල විත්තිය

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    පස්‌දුන් කෝරලේ දේවාල විත්තිය

    පස්‌දුන් කෝරලේ දේවාල විත්තිය

    මතුගම සෙනෙවිරුවන්

    pasdun.jpg
    ලංකා ඉතිහාසයේ කෝට්‌ටේ යුගය විදේශීය බලපෑම් මගින් නොයෙකුත් වෙනස්‌කම් වලට ලක්‌වූ සමයක්‌ ලෙසට දැක්‌විය හැකිය. එම වෙනස්‌කම් අතර ප්‍රාදේශීය පරිපාලන බෙදීම් ඉස්‌මතු වේ. කෝරළ සහ පත්තු බෙදීම මේවාට නිදසුනකි. සීතාවක රයිගම සහ කෝට්‌ටේ යනුවෙන් ප්‍රාදේශීය රාජධානි බිහිකරන ලද්දේ හයවන විජයබාහු රජුගේ පුත්‍රයන් තම තමනට රිසි බල ප්‍රදේශ මගින් බල දේශපාලනය ඉස්‌මතු කර ගත් බැවිනි. මහා රයිගම් බණ්‌ඩාර කුමරුගේ පාලන වසම ලෙසට සැලකෙන ප්‍රදේශය කෝරළ කීපයකට බෙදා දක්‌වා තිබුණේ පරිපාලන පහසුව සඳහා විය යුතුය. රයිගම් පස්‌යොදුන් සහ වලල්ලාවිටි යනුවෙන් මෙම කෝරළ වෙන්වී තිබුණි. මෙයින් පස්‌යොදුන් කෝරළය පොලොන්නරු යුගයේ සිටම දක්‌�ණ දේශය වශයෙන් තිබූ දීඝ බිම් කඩේ කුඩා පැතිරීමක්‌ විය. එම නිසා එයට හිමිව තිබූ ඓතිහාසික පසුබිම වඩාත් කැපී පෙනුණි.

    පස්‌යොදුන් කොරලේ පරිපාලනය කිරීම පිණිස අතීතයේ සිටම විවිධ පාලකයන් පත්වී සිටියහ. ඒ අතරින් කිත්ති කුමරු මානාභරණ කීර්ති ශ්‍රී මේඝ ශ්‍රී වල්ලභ කේශ ධාතු ලෝක කහම්බල්කුළු මින්දල්නා ආදීන් පොළොන්නරු අවධියේ සිටි පාලකයෝ වෙති. සයවන පරාක්‍රමබාහු අවධියේදී ශ්‍රී වර්ධන ප්‍රතිරාජතුමා රජුගේ යුව රජු වශයෙන් පස්‌යොදුන් රට භාරව සිටියහ. ඉන්පසු කෝට්‌ටේ යුගයේ අපර භාගයේ පස්‌යොදුන් කෝරලේ ප්‍රමුඛ පාලකයා බවට පත් වූයේ වීදිය බණ්‌ඩාර කුමරුය. යාපනයේ විජයබාහු සහ මව් පාර්ශවයෙන් තනියවල්ලභ කුමරු ගේ පරපුරේ අභීත සෙන්පතියෙකු වූ ඔහු තමන්ට රිසි පරිදි ඔටුනු පළන් පුද්ගලයෙකි. එම නිසාම ඔහුගේ රාජධානිය පැළදි නුවර ලෙසට ව්‍යවහාර විය. පසු කාලයේ දී ඉද්දගොඩ බණ්‌ඩාර මෙම පස්‌යොදුන් කෝරළය සිය පාලන ප්‍රදේශය බවට පත් කර ගෙන සිටි බව ප්‍රකට වෙයි.

    පත්තිනි ඇදහිල්ල ලංකාවේ ආරම්භ වූයේ ගජබා රජුගේ සමයේදී බව සාමාන්‍ය පිළිගත් මතයයි. සොළී දේශයට ගෙන ගිය පාත්‍රාධාතුව මෙන්ම රැගෙන ගිය සිංහල සෙනඟද නැවත මෙරටට කැඳවා ගෙන පැමිණීමට ගිය ගජබා රජු ආපසු එන විට නැව කුණාටුවකට අසුවී බස්‌නාහිර මුහුදු කරයට ගසා ගෙන ආයේය. රජු ඇතුළු පිරිස කැළණි ගඟ දිගේ යාත්‍රාවකින් විත් රෑබෝ වූ බැවින් කැළණි ගඟ අසල නාගස්‌ ගොම්මනක රාත්‍රිය ගත කළහ. පාත්‍රා ධාතුව සහ පත්තිනි සළඹ පූජාසනයක්‌ මත තබා තිබූ අතර උදෑසන අවදි ව බලන කල පත්තිනි සළඹ වටා සුදු නාගයන් සත් දෙනකු වටව සිටින බව පෙනුණි. ඉන්පසු එම ස්‌ථානයේ දේවාලයක්‌ කොට පුදසත්කර කිරීමට අණ දී තිබේ. මේබැව් පත්තිනි කෝල් මුරකවි පොතේ සඳහන්ව ඇත්තේ මෙසේය.

    පින් ගජබා සඳ විපුල යසස්‌ සුවිසාලේ-ගත්ත මහත් පඬරු පුදා ඉට්‌ටන් කළ සෙන්වාලේ

    මින්මතු තර නොවී නිතර පෙරහැර කර හැම වේලේ- සිංහල පුරයට මුල්වන නවගමුවේ දේවාලේ

    ගජබා කතාව සමග පත්තිනි ඇදහිල්ල සම්බන්ධ කිරීමට උත්සාහයක්‌ ගත්තද පත්තිනිය යනු පූර්ව ඓතිහාසික යුගයේ පානම පෙදෙසේ සිටි රාජකීය කන්‍යාවක්‌ බවටද මතයක්‌ ඇත. ඇය කතරගම මහසෙන් රජුගේ බිසවගේ නැගණියයි. ශ්‍රීපාද පෙදෙසේ පාලග සමග විවාහ වූ ඇය වරක්‌ දකුණු දඹදිව සංචාරය කරන අවස්‌ථාවකදී අතවරයකට මුහුණ පෑය. පඩි රජු කූට උපායකින් පාලග මැරවීමෙන් කෝප වූ ඇය පඬි රට ගිනි තැබූවේ මහසෙන් රජුගේ උපකාරයෙනි. මැයගේ පති භක්‌තිය නිසා දකුණු දඹදිව ඇය කන්නගී නමින් දේවත්වයට පත් විය.

    පත්තිනි ඇදහිල්ල හුදෙක්‌ දේව භක්‌තියෙන් කරන කන්නලව්වකට පමණක්‌ සීමා නොවී ලංකාවේ සිංහලයන් අතර සංස්‌කෘතික උත්සවයක්‌ බවට පරිවතනය වී ඇත. මඩු නැටීම පෙරහැර වැනි චාරිත්‍ර නිසා සශ්‍රීකත්වය කැන්දාගෙන ගමට පැමිණෙන ශ්‍රියාකාන්තාවක්‌ ලෙස සලකීමට ජනයා පුරුදු විය. කෝට්‌ටේ යුගය විදේශීය ආභාෂයෙන් විවිධ සංස්‌කෘතික පරිවර්තනයන්ට ලක්‌ වූ යුගයකි. පත්තිනි ඇදිහිල්ල එහි මුල් බැසගත්තේ විහාරස්‌ථානයන්ද ඉක්‌මවා යමිනි. එම නිසා විහාරස්‌ථානයන්ට වඩා පත්තිනි දේවාලය ජනතාව අතර ජනප්‍රිය විය. නමුත් පත්තිනි ඇදහිල්ලේ තිබෙන බුදු ගුණ ශාන්තිය තුළින් ප්‍රකට වන්නේ බෞද්ධ සංස්‌කෘතියේ හැඩ ගැස්‌මයි. පස්‌යොදුන් කෝරළයේ පුරා අදටත් පැතිර පවතින පත්තිනි දේවාල සංස්‌කෘතිය මීට දෙස්‌ දෙයි. පස්‌යොදුන් කෝරළය නොහොත් වත්මන් කළුතර දිස්‌ත්‍රික්‌කය පුරා පැතිර පවතින දේවාල රාශියකි. එයින් පස්‌යොදුන් කෝරළයේ ඉද්දගොඩ පත්තුවේ සහ මහ පත්තුවේ පවතින දේවාල ප්‍රධාන වෙති. ගුරදොළ, හුරුළු ගෙදර, ලත්පඳුර, කපු ගෙදර, මකල වැල්ල, අඹේගොඩ, කෝවිලගොඩ යන දේවාල සත් කට්‌ටුව සැලකෙන්නේ නයි හත් දෙනාගෙන් පැවතෙන දේවාල හත වශයෙනි. ඊට අමතරව රබලිය දේවාලය, දෙඩුම්ගොඩ දේවාලය, දෙමළ ගම දේවාලය, ආඬියකන්ද දේවාලය සහ කරන්නාගොඩ දේවාලයද ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වී තිබේ. පෙර සඳහන් කළ ගුරුදොළ පත්තිනි දේවාලයේ නයි හත් දෙනාගේ කතාව කියෑවෙන්නේ මේ ලෙසයි.

    'පත්තිනි මෑණියන් අපගේ සංස්‌කෘතියේ මතුවී තිබෙන්නේ කිරි අම්මාවරුන් ට දෙන දානයත් එක්‌කයි. පත්තිනි මෑණියන් මුල් කොට සිහිපත් කොට කාන්තාවන් උදෙසා දෙන දානයක්‌ වුවද මෙහි ඇතුලාන්තයේ තිබෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ නොකිලිටි ආධ්‍යාත්මයේ ගුණ සුවඳයි. පත්තිනි මෑණියන් ගැන තිබෙන ජන ප්‍රවාද අනුව අඹෙන්, ජලෙන්, මලෙන් , ගලෙන්, කුළෙන්, ගින්නෙන් සහ නාගයාගෙන් ඇය උපන් බවට විශ්වාසයක්‌ තිබෙනවා. අපේ ගම්වල කුඹුරු වල අස්‌වනු කපා පාගාගෙන අහවර වූ දවසේ දී ඒ අස්‌වනු ගෙදරට ගෙන එන්නට පළමු වෙලේ දීම අගහස්‌ වෙන්කර කොටා දේව දානයක්‌ දීම සිරිතයි. මේ දානය දෙන තුරුම විශාල නාගයෙක්‌ වෙල් යායේ සැරි සරන බව පැරණියන් කී කතා බොරුවක්‌ නොවෙයි.

    මේ කථාව සිහිපත් කරන්නට හේතු වූයේ අපේ ගමේ තිබෙන ගුරුදොළ දේවාලය ගැන ජන ප්‍රවාදයක්‌ මතකයට නැගුණු නිසයි. එම දේවාලයට කියන්නේ නයි හත් දෙනාගෙන් උපන් හෑළඹ පත්තිනි දේවාලය කියායි. නාග උපත පත්තිනි කථාවට සම්බන්ධයි. ඒ නිසා ඒ ප්‍රවාදය අනුව යළි ඇතිවූ ජනශ්‍රැතියක්‌ යෑයි සැක ඇති වුණත් මීට අඩ සියවසකට එහා මෙහි සිටි වැඩි හිටියන් අතින් මේ කතාව නිතර අහන්නට ලැබුණ බව කිව හැකියි.

    පත්තිනි දේවාලවල ඉතිහාසය බොහෝම ඈතට දිව යන්නක්‌ වුවද මේ කියන දේවාලයට ඇත්තේ වසර හයසීයක පමණ පුරා වෘත්තයකි. ඒ කෝට්‌ටේ යුගයයි.කෝලියබණ්‌ඩාර පරපුරට අයත් සොළි රජ කුමරුවෙක්‌ මැරෑටි යුද්දයකින් පැරදී ලංකාවට එනවා. ඔහු ලංකාවේ සිටි සියවැනි පැරකුම්බාවන්ට නෑ වෙනවා. ඒ නිසාම කෝට්‌ටේ රජු ඔහුට පස්‌යොදුන් කෝරළයෙන් ගම්බිම් වෙන්කරදී පදිංචි කරවනවා. මේ සොළී රජුත් එක්‌ක පැමිණි සෙනඟ පත්තිනි හළන් රැගෙන විත් වර්තමාන තුඩුගලට නුදුරු ලෙච්චමී කන්දේ ගස්‌ බෙණයක තබා පුද සත්කාර කරනවා. පසුව දෙමළගම දේවාලය බවට පත්වෙන්නේ මෙයයි. ඊටත් පස්‌සෙ පැරකුම් රජුගේ පුත් ප්‍රතිරාජ පදවිය ලබා මෙහි පැමිණෙනවා. ඒ කාලයේ පත්තිනි ඇදහිල්ලට තිබුණේ බොහොම ලොකු සැලකිල්ලක්‌. ඉතින් රජ අණින් ඉද්දගොඩ පත්තුවේ රන්වලාගල පාමුළ දේවාලයක්‌ සෑදෙනවා. මේ දේවාලයේ වැඩ කටයුතු වතාවත් කළේ සපරගමුවෙන් පැමිණි කපු පරම්පරාවක්‌. ඒ පරම්පරාවේ කන්වැල් පත්තිනිහාමි කියලා හැඳින්වූ මැදිවියේ පුද්ගලයෙක්‌ තමයි මේ කියන කාලයේ කපු නිලය කලේ. ඔහුට රූමත් බිරිඳක්‌ සිටියා. ඇය කාලයාගේ ඇවෑමෙන් ගැබ්බර වුණා. ඉතින් දස මාසයක්‌ කුසේ දරගෙන සිටි ඇයට දරු ප්‍රසූතියට කාලෙ ළං වුණා. කන්වැල් පත්තිනි හාමිත් ජයටම ලෑස්‌ති වුණේ මේ දරු උපත සමරන්නයි. ඉතින් ඒ දවස උදා වුණා. ඒත් පුදුමයි. දරුවන් බිහි වුණත් සිඟිත්තාගේ හඬක්‌ නම් ඇහුණේ නැහැ. බැලින්නම් බිරිඳට ලැබිලා තිබෙන්නේ නයි පැටියන් හත් දෙනෙක්‌. වින්නඹු අම්මා ඇතුළු කාන්තාවන් සැවොම භිරන්ත වී දුවන්නට තියා ගත්තත් කන්වැල් පත්තිනි හාමිත් බිරිඳත් බිය වුණේ නැහැ. පත්තිනි හාමිට දැනුනේ මෙය දෙවියන් දුන් තෑග්ගක්‌ කියලයි.

    දැන් නයි හත් දෙනාට අම්මා කිරි පොවනවා. උන් ටික ටික ලොකු වෙනවා. දැන් කැඳත් දෙන්න වෙනවා. ලොකු අප්පලයක්‌ අරගෙන එය ළිපේ තබලා තමයි කැඳ සාදන්නේ. කැඳ සාදා අහවර වුණාම මව එය නිවෙන්නට හරිනවා. නැත්නම් කට පිච්චෙනවා නොවැ. කොහොම නමුත් කාලයක්‌ ගත වුණාම එක්‌ දවසක්‌ කැඳ හැදි ගානකොට බැරි වෙලා හැන්ද අප්පල්ලයේ වැදුණා ටාං කියන හඬින්. මේ සද්දය ඇහිලා නයි හත් දෙනා දිව ආවා. ඇයි උන් කැඳවන්නේ හැන්දෙන් නගින නාදයෙන් තමයි. නමුත් අනපේක්‌ෂිතව දිව ආ නයි හත් දෙනා කැඳ බඳුනට හොස්‌ස පොවලා කට පුච්ච ගත්තා. ආයේ හැරිලා බැලුවේ නැහැ. උන් හිස්‌ ලු ලු අතේ දිව ගියා කියලයි කියන්නේ. ඒ කියන්නේ හත්දිශාවකට සේන්දු වුණාලු. මේ ස්‌ථාන වල පත්තිනි දේවාල හතක්‌ ඇති වුණා කියලා තමයි ජන ප්‍රවාදයේ සඳහන් වන්නේ. ඉතින් නයි හත් දෙනා නැති වුණ ශෝකෙන් පත්තිනි හාමිගේ බිරිඳ වැලපෙන්නට පටන් ගත් බවයි කියන්නේ. එදා රෑ අලි රංචුවක්‌ ඇවිදින් දේවාල භූමියට වැදිලා යකා නැටුවාලු. අන්තිමේ දී දේවාලයත් කඩලා දමා ඊට පස්‌සේ අතු කඩ කඩා දමා ගියාලු. මෙහෙම ගිහින් නැවතුණ තැන අලුතින් දේවාලයක්‌ හැදිලා තියෙන්නේ ඊට කාලයකට පස්‌සෙයි. පසුගිය කාලෙ මේ පැරණි දේවාල භූමියේ කැණීමක්‌ කළාම එයින් මතු වුණා පැරණි හෑළඹ දේවලයේ මැටි කොත. ඉතින් ඒ ජන ප්‍රවාද ගත ඉතිහාසයට සාක්‌ෂියක්‌ හමු වුනා කියලයි හිතෙන්නේ.'

    ගුරුදොළ දේවාලයේ ඓතිහාසිකව පැවතෙන ලේඛන රාශියක්‌ තිබෙන බව මෑතකදී නැසී ගිය කේ.ඩී.ඩී. වික්‍රමනායක මහතා විසින් සකස්‌ කරන ලද ඓතිහාසික ලේඛන සමුච්චය දක්‌වයි. දේවාලයේ කපු මහතා වශයෙන් ක්‍රියා කළ කපුලියනගේ දොන් අබ්‍රහම් පත්තිනි හාමි සතුව තිබූ එම ලේඛන අතර පුස්‌කොළ ලේඛන 121 ක්‌ විය. එයට අමතරව පත්තිනි සළඹ කවි, පූනා යාදින්න, සිරස පාද කවි, පත්තිනි ශාන්තිය, ගරා යකුම, ගිනි සිසිල, සත්දින ශාන්තිය, තොරණ දැක්‌වීම, දොළහ පෙළපාලිය වැනි කාව්‍ය මාලාවෙන් රචිත පුස්‌කොළ ලේඛන අසූවක්‌ද වූ බව පැවසේ. ඊට අමතරව පුරාණ කතරගම කොඩියට සමාන නමුත් යම් යම් වෙනස්‌කම් ඇති සැවුල් කොඩියක්‌ ද තිබී ඇත. වාර්ෂිකව කතරගම දේවාලය වෙත පඬුරු දැකුම් ඔප්පු කිරීම්ට යැමේ චාරිත්‍ර තවමත් පත්තිනිවරුන් අතර පවතී. මෙම කොඩිය එයට යම් සම්බන්ධයක්‌ ඇති බව පෙන්වයි. පස්‌යොදුන් කෝරලේ දේවාල විත්තිය හැදෑරීමට මෙම ලේඛන සහ කොඩිය අතිශයින්ම උපකාරී වේ. මෙහි සඳහන් වන්නේ එම පුස්‌කොළ ලේඛන අතර තිබූ පත්තිනි සළඹ කවි පොතේ ඇතුළත් දුලභ කවි පන්ති කීපයකි.


    ජලෙනි දලෙනි කුලෙනි උතුල් රලෙනි උපන්නා -
    ගලෙනි කුලෙනි සළුවෙනි එක්‌ වරෙක්‌ උපන්නා
    එවෙනි එසත් වලෙනි වරක්‌ අඹෙනි උපන්නා -
    මෙවැනි පතිනි තෙදිනි මෙලක්‌ දිව තෙද පෙන්නා

    කරට මල් දඹ ගෙන - දෙවුරට වන්ගුහ ලමින
    ඔබ සරන දැන ගෙන - මෙරට ගැසුවොත් සළඹ වෙවුලන
    ගිනි පත්තිනි දෙවි ගන් - වැඩලා මෙරඟ දිවසින්
    නිතර අප රැක දෙන් - මෙරඟ මඩලට වරන් මට දෙන්

    දවුන්ඩයක්‌ වෙති පත්තිනි හළඹා -
    යකුන්ට ගිනි දෙති තැන තැන පුලඹා
    දෙවිඳුට වැඳ බැස අරගන් සළඹා -
    මොහුත් ඔසෙන් කරවමි ගෙන සළඹා


    divaina.com