චක්ෂුර් විඥාන ධාතුවය, ශ්‍රෝත්‍ර විඥාන ධාතුවය, ඝ්‍රාණ විඥාන ධාතුවය, ජිහ්වා විඥාන ධාතුවය, කාය විඥාන ධාතුවය, මනෝ ධාතුවය, මනෝ විඥාන ධාතුවය යි විඥාන ධාතු සතෙකි. එයින් චක්ෂුර් විඥානධාත්වාදි පස ප්‍රසාද රූප පසෙහි උපදී. ප්‍රසාද රූප පස ඒ විඥාන ධාතු පසට නිඃශ්‍රය වස්තු වේ. මනෝ ධාතුව හා මනෝවිඥාන ධාතුව ඒ ප්‍රසාදයන්හි නූපදී. ඒ ධාතු දෙකට නිඃශ්‍රය වන රූපය හෘදය රූපය ය. එයට වස්තු රූපය යි ද, හෘදය වස්තු රූපය යි ද කියනු ලැබේ. ප්‍රසාද නාමයෙන් නො කියන නමුදු එය ද එක්තරා ප්‍රසාදයෙකි. පඤ්චවෝකාර භවයෙහි සත්ත්වයකු උපදනා කල්හි ප්රතිසන්ධි චිත්තය සමඟ ම එය හා බැඳී එයට නිඃශ්‍රය වෙමින් හෘදය රූපය ද පහළ වේ. එය පහළ වන්නේ මහාභූත සතර හා වර්ණ ගන්ධ රස ඕජා රූප සතර ද ජීවිත රූපය ද සමඟ ය. ඒ රූප පිණ්ඩයට වස්තු දසක කලාපය යි කියනු ලැබේ. එය කලලාදි අවස්ථාවල සුදුසු පරිදි පැවතී, ශරීරය වැඩුණු පසු හෘදය කෝෂය තුළ පිහිටි ලෙය ඇසුරු කොට පවත්නට වන්නේ ය. හෘදය කෝෂයෙහි ස්ථිර ව පිහිටි ලෙයක් නැත. නිතර එයින් පරණ ලෙය බැහැර වන්නේ ය. අලුත් ලේ එයට පැමිණෙන්නේ ය. හෘදය රූපය එතැනට පැමිණෙන ලෙය ඇසුරු කොට ම පවතිනවා මිස ඉන් බැහැරට නො යන්නේ ය. මනෝධාතු මනෝවිඥාන ධාතු දෙකට නිඃශ්‍රය වන බව එහි ලක්ෂණය ය.
මේ තියෙන්නෙ රෙරුකානෙ හමුදුරුවන්ගෙ පොතෙන්