පැනමා පේපර්ස් නම් ලැයිස්තුව...

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැනට ප්‍රචලිත කර ඇති පැනමා පත්‍රිකාවන් ලෙස හැදින්වෙන ලැයිස්තුවෙහි සදහන් වන ශ්‍රී ලාංකිකයන්ගේ යැයි පැවසෙන නාම ලේඛණයක මහා නගර හා බස්නාහිර සංවර්ධන අමත්‍යයන්ශයෙහි උපදේශක විද්‍යා අමරපාල මහතාගේ නම සදහන් වීම දැඩි අවධානයට ලක්ව ඇත.ඒ පිලිබන්දව වන විශේෂ මාධ්‍ය ප්‍රකාශය ඔබගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර ඇත.
    මාධ්‍ය නිවේදනයයි
    දැනට ප්‍රචලිත කර ඇති පැනමා පත්‍රිකාවන් ලෙස හැඳින්වෙන ලැයිස්තුවෙහි සඳහන් වන ශ්‍රී ලාංකිකයන්ගේ යැයි පැවසෙන නාම ලේඛණයක මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙහි උපදේශක විද්‍යා අමරපාල මහතාගේ නම සඳහන් වීම අපගේ දැඩි අවධානයට ලක්ව ඇත.
    පැනමා රාජ්‍යය සැලකෙනුයේ බදු පැහැර හරින්නන් සඳහා පාරාදීසයක් වශයෙනි. මේ වනවිට ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති පැනමා පත්‍රිකා යනු එරට පිහිටා ඇති Mossack Fonseca නම් සමාගමෙහි ගනුදෙනුකරුවන්ට අදාල දත්ත පිළිබඳ හෙළිදරව්වකි. ඒ අනුව යමෙකුගේ නම එම ලැයිස්තුවෙහි ඇතුළත්වන්නේ නම් එයින් කියැවෙන්නේ එම පුද්ගලයා අයථා මුදල් ඉපැයීමකට සම්බන්ධ වී ඇති බවකි. විද්‍යා අමරපාල මහතා 2010 මැයි මස සිට 2011 ජූනි මස දක්වා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස සේවය කළ අතරම වර්තමානයෙහි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙහි උපදේශක ලෙසද ක්‍රියාකරන බැවින් ජනමාධ්‍ය මගින් සිදුකෙරුණු මේ හෙළිදරව් කිරීම පිළිබඳව අප ඉක්මනින්ම අවධානය යොමු කළෙමු. එහිදී පෙනීගියේ එම ලැයිස්තුව කිසිසේත්ම පැනමා පත්‍රිකාවන්ට අදාල එකක් නොවන බවත්, තවමත් එහි සඳහන් ශ්‍රී ලාංකිකයන්ගේ නම් මොනවාද යන්න ප්‍රකාශයට පත්ව නොමැති බවත්ය.
    පැනමා පත්‍රිකා ලෙස වැරදියට දක්වා ඉදිරිපත් කර ඇති මෙම ලැයිස්තුව මීට පෙර 2013 වසරේදී එළි දැක්වුණු, සිංගප්පූරුවේ විදේශ ගිණුම් හා සමාගම් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයන් පිළිබඳ හෙළිදරව් කිරීමකට සම්බන්ධ එකකි. විද්‍යා අමරපාල මහතා 2010-2011 කාලයේදී ලංකා විදුලිබල මණ්ඩලයෙහි සභාපතිව සිටි නිසාත්, විදුලිබල මණ්ඩලයෙහි දූෂිත ගනුදෙනු පිළිබඳ විශාල මහජන අවධානයක් තිබූ නිසාත්, මෙම ලැයිස්තුව පිළිබඳව පාර්ලිමේන්තුවේදී පවා ප්‍රශ්න කෙරිණි. එහෙත් කරුණු සොයා බැලීමේදී හෙළිදරව් වූයේ විද්‍යා අමරපාල මහතා 2003 සිට 2010 දක්වා කාලයෙහි ආතර් සේනානායක මහතාට අයත් IWS Holdings ආයතනයෙහි විධායක නිලධාරියෙකු ලෙස සේවය කර තිබූ අතර, ඔහු ආතර් සේනානායක මහතාට අයත්, සිංගප්පූරුවේ ස්ථාපිත කර තිබූ Sovereign Capital Corporation සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙසට සේවය කළ කාලයට එකී ගිණුම් අයත් බවත්ය. එම සමාගම, එම කාලය තුළ කිසිදු මූල්‍යමය වංචාවකට සම්බන්ධ වූ බවට වාර්තාවක් මෙතෙක් ලැබී නැති බවද එය ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය හරහා ආයෝජන සිදුකර ඇති බවද සඳහන් කළ යුතුය.
    කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව සඳහා ලැබුණු ජනවරම පැහැදිලි ලෙසම වංචා දූෂණවලට එරෙහිව, පිරිසිදු පාලනයක් සඳහා ලැබුණු ජනවරමක් බව අපගේ විශ්වාසයයි. ඒ අනුව, මේ රටේ බහුතර මහජනතාව, විවිධ දුෂ්කරතා මධ්‍යයේ යහපත් රටක් වෙනුවෙන් අප පිළිබඳව තැබූ එම විශ්වාසය හැකි උපරිම අයුරින් ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමක් ලෙස සලකමු. එමෙන්ම, පැනමා පත්‍රිකා ලෙස හැඳින්වෙන මේ හෙළිදරව් කිරීම මගින් ලෝකය පුරාම වංචා දූෂණ පිළිබඳ ආන්දෝලනයක් සහ අවධානයක් ඇතිවී ඇත. එබඳු පසුබිමක අප හෝ අපගේ ක්‍රියා පිළිවෙත පිළිබඳව කුමනාකාරයක හෝ සැකයක්, අවිශ්වාසයක් ඇතිවීම වැලැක්වීමේ වගකීමක් අප සතුය.
    ඒ අනුව, විද්‍යා අමරපාල මහතා සමග මේ කරුණු පිළිබඳව කෙරුණු සාකච්ඡාවේදී යථා තත්වය හෙළිදරව් වන තෙක් තමන් අමාත්‍යාංශයේ දරණ නිලතල වලින් බැහැරව සිටීම උචිත බව විද්‍යා අමරපාල මහතාගේ අදහස විය. මහා පරිමාණ මූල්‍ය අපරාධවලට වගකිවයුතු සැබෑ වංචනිකයින් හඳුනා ගැනීමේත්, ඔවුන්ව නීතිය ඉදිරියට පැමිණවීමේත් ක්‍රියා පිළිවෙතට එය රුකුලක් වනු ඇතැයි යන්න අපගේද අදහස විය. ඒ අනුව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක තනතුරින් විද්‍යා අමරපාල මහතා ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව දැනුම් දීමට කැමැත්තෙමු.
    එමෙන්ම, විද්‍යා අමරපාල මහතා අධ්‍යක්ෂවරයෙකුව සිටි (2003 - 2010) Sovereign Capital Corporation ආයතනය යම් නීති විරෝධී මූල්‍ය කටයුත්තක නියැලී සිටියාද යන්න සොයා බැලීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශයට (FCID) දැනුම් දීමක්ද මාගේ ලේකම්වරයා මේ වනවිටත් සිදුකර ඇති බවද දන්වනු කැමැත්තෙමු. දූෂිත දේශපාලනයට එරෙහිව අපගේ අරගලය කැලැල් කිරීමට දරන උත්සාහයන්ගෙන් අප වඩාත් නිවැරදි වීමෙන් වඩාත් අධිෂ්ඨානයෙන් සටන් කිරීමටත් පෙළෙඹෙන බව අප කෙරේ විශ්වාසය තබා ඇති සියලූ මහජනයා වෙත දැනුම් දෙමු.
    පාඨලී චම්පික රණවක
    මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය.





    Source: https://www.facebook.com/patali.champika/posts/1703421626606015