පැරකුම්බා සිරිත
සිංහල සාහිත්‍ය ග්‍රන්ථාවලියට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමයේ දී එක් වූ අලුත් මගක් ගත් තවත් විශේෂිත කෘතියක් ලෙස පැරකුම්බා සිරිත හැඳින්විය හැකි ය. එතෙක් නො ලියැවුණු ගණයේ ප්‍රබන්ධයක් වූ මෙය විරුද කාව්‍යයක් හෙවත් ප්‍රශස්ති කාව්‍යයක් වේ. සංස්කෘත භාෂාවෙන් රචිත පැරැණි විවිධ විරුද කාව්‍ය තිබිණි. විශ්වනාථයන් සාහිත්‍ය දර්පණයෙහි සඳහන් කරනුයේ ‘ගද්‍යපද්‍යමයී රාජස්තුතිර් විරුදමුඛ්‍යතෙ’ යනුවෙනි.
ඒ අනුව ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් හෝ රචිත රාජස්තුති ආදි වර්ණනා විරුද කාව්‍ය නම් වේ. කෝට්ටේ ශ්‍රී පරාක්‍රමබාහු මහරජු වර්ණනා කරනු පිණිස පැරකුම්බා සිරිත නම් වූ කාව්‍යය ලියැවී තිබේ. ගුණ වර්ණනා කිරීම හෝ ප්‍රශංසා කිරීම හෝ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කිරීම හෝ පිණිස කෙරුණු රචනා ප්‍රශස්ති වශයෙන් සැලැකෙන බැවින් මෙකී කාව්‍යයන් ප්‍රශස්ති කාව්‍ය සංඛ්‍යාවෙහි ලා සිංහල සාහිත්‍ය ග්‍රන්ථ අතුරෙහි සැලකේ. එසේ වූ ප්‍රථම ප්‍රශස්ති ග්‍රන්ථය පැරකුම්බා සිරිත යි.
‘සිරිත’ යන්නෙහි චරිතය, චාරිත්‍රය මෙන් ම ජීවිත පුවත යන අර්ථය ද පවත්නා බැවින් පරාක්‍රමබාහු රජුගේ තොරතුරු වර්ණනය යන අර්ථයෙන් මේ නම යෙදී ඇති බැව් පෙනේ.
මේ කෘතිය ලියැවී ඇත්තේ රජු සිරිලක එක්සේසත් කොට විදේශවල ද ස්වකීය බල පරාක්‍රමය පතුරුවා ප්‍රබලත්වයට පත් කාලයෙහි බව ‘රන මිණි මුතු පඬුරු ලබන රටින් ලාඹ ගවුඩ වංග‘ වැනි කව් පදවලින් අනාවරණය වේ’
පැරකුම්බා සිරිත කතුවරයා කවුරු ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් දකින්නට නොමැත. මෙහි ඇතැම් කවි ආශ්‍රය කොට ගෙන මෙය ලියා ඇත්තේ කතුවරියක වන්නට ඇතැයි සමහරු අනුමාන කරති.
එහෙත් එවැන්නක් පිළිගැනීමට තරම් ප්‍රබල හේතු නැත. මෙය කීප දෙනෙකු විසින් කරන ලද ප්‍රශස්ති කව් සංග්‍රහ කොට යම් අයෙකු විසින් සම්පාදනය කරන ලදැයි තවත් සමහරු සිතති. එහෙත් මෙහි මුලින් එන හැඳින්වීමේ කව් දෙස බලද්දී කිසි යම් කතුවරයකු විසින් ස්ව නිර්මාණය සඳහා වූ ප්‍රවේශයකට පත් වන ආකාරය දකිත හැකි බැවින් එය ද පිළිගැනීම අසීරු ය. මේ පොතේ කතුවරයා කවුරුන් වුව ද ඔහු මනා භාෂා ඥානයකින් යුක්ත ව සිටි උගතකු වූ බව මේ රචනයෙන් විද්‍යමාන වේ.
පැරකුම්බා සිරිත කව් 140 කින් යුක්ත වූ කෘතියකි. මෙය පරිච්ඡේද ආදි වශයෙන් වෙන් නො කොට එක දිගට ම ගලා යන රචනයක් ලෙසින් ලියැවී ඇත. එහෙත් කාව්‍ය වෘත්ත වරින් වර වෙනස් වීමෙන් විරාම සහිත වී කොටස් කීපයකට බෙදා දැක්වෙන ආකාරයක් දකින්නට පිළිවන. තත්කාලීන බොහෝ කෘතිවල එන සමුද්‍රඝෝෂය වැනි සුලබ විරිත්වලට ගැති නො වී විවිධාකාර තාල රටා රැගත් විරිත් මෙහි භාවිතයට ගෙන තිබේ.
එකී විවිධ විරිත්වලින් බෙහෙවින් ප්‍රකට වන්නේ ගායනයට උචිත වූ සංගීතමය විලාසයකි. එසේ ම රංගන අභිලාෂය කුළුගන්වන ශබ්ද ධ්වනියෙන් යුක්ත රිද්මයකි. එබැවින් මේ රචනා වාද්‍ය භාණ්ඩ ද නර්තනය ද සහිත ව රාජ සභාව වැනි තැන්වල ගායනය වන්නට ඇති බැව් සිතීම දුෂ්කර නො වේ. මෙය රාජ සභාවේ සිටි කාව්‍යක්කාරයන්ගේ හෙවත් වන්දිභට්ටයන්ගේ රචනා සමූහයක එකතුවක් වන්නට ඇතැයි ඇතැමුන් උපකල්පනය කිරීමට මෙය එක් හේතුවක් ව ඇත.
තෙරුවන සහ දෙවියන් නැමදීම සහ හැඳින්වීම කිරීමෙන් අනතුරු ව ඔකාවස් රජ පරපුරෙන් පටන් ගෙන සිරිලක දෙවනපෑතිස් රජුගේ සිට විශේෂිත රජවරුන් එකොළොස් දෙනකු පිළිබඳ වර්ණනා කිරීමෙන් පසු හය වැනි පරාක්‍රමබාහු රජු පිළිබඳ හැඳින්වීමට ප්‍රවේශ වේ. අනතුරු ව රජුගේ රූප ශෝභාව, තේජස් වී භාවය, වීරත්වය, ත්‍යාගශීලීත්වය ආදි වූ නොයෙක් ගුණාංග විවිධාකාරයෙන් ද විචිත්‍රත්වයෙන් ද වර්ණනා වේ. ඒ සඳහා කව් සියයක් පමණ බන්ධනය වී තිබේ.
මෙහි එන හැම පද්‍යයක් ම මනහර එළිවැටෙන් ද ලාලිත්‍ය රිද්මවලින් ද යුක්ත ශ්‍රවණ රමණීය ලෙසින් පවතිද්දී ශබ්ද රසයට මෙහි මූලිකත්වය දී ඇතැයි හැඟුණ ද පැරකුම්බා සිරිතේ ඇතැම් පද්‍ය අර්ථ රසයෙන් ද සමන්විත ව ලියැවී ඇත. මේ කවිවලින් බොහොමයක් ම වාගේ එකිනෙක නො පරයන තරමේ රාජ ප්‍රසාදය දැනවීමෙන් ද විචිත්‍ර බවින් ද යුක්ත ය.
ඊට අතිශයෝක්තිය බෙහෙවින් මිශ්‍ර ව පැවතුණ ද ඇතැම් විට පුනරුත් දෝෂ දැකිය හැකි වුණ ද සමස්තයක් සේ ගත් කල කතුවරයාගේ පරමාර්ථය වූ ප්‍රශස්ති ගැයුම මැනැවින් ඉටු කිරීමට ඔහු සමත් වී තිබේ. රචනයේ ඒකාකාරී බව වෙනසකට ලක් කරන රිසියෙන් මෙන් වෘත්ත සහ කාරණා ආදිය පමණක් නො ව වෙනත් උපක්‍රම ද මෙහි වරින්වර යෙදී ඇත. දෙ බසක ස්වරූපයෙන් ලියැවී ඇතැයි සිතිය හැකි මේ කවිය ඊට නිදසුනකි.
‘කියග මගිය එනු කොහි සිට?
දද සමනොළ ගොසිනා
නොය කියමුකු එදිග?
බමුණ සුමන සුරිඳු විසිනා
ගිය කල දෙදහස් පන්සිය
රජකු එතැයි දියනා
කියැවිණි - තන්වැසිය එනම්?
පැරකුම් රජ මෙදිනා’
විවිධාකාරයෙන් රජු වර්ණනා කොට සෑහීමකට නො පත් මේ කවියා කාව්‍යයේ අවසාන භාගයේ දී ශෝකී ළඳුන් ගේ මුවින් ගැයෙන රජු අරබයා වූ විරහාලාප පද්‍ය සමූහයක් ද මීට ඇතුළත් කරනු දැකිය හැකි ය. මේ කෘතිය කිවිඳියකගේ නිර්මාණයකැයි ඇතැමුන් සැක පහළ කරනුයේ මේ කව් උපයෝගී කොට ගෙන ය. එහෙත් මෙකී කව් මේ කවියා රජුගේ චරිතයේ තවත් ප්‍රතාපවත් පැතිකඩක් නිරූපණය කිරීමට උපයෝගී කොට ගෙන ඇතැයි සිතීම සාධාරණ ය.
පැරකුම්බා සිරිතෙහි රජවරුන් පිළිබඳ කෙරෙන හැඳින්වීමේ දී ඓතිහාසික තොරතුරු රැසක් ද අනාවරණය වනු දකින්නට පිළිවන. කතුවරයා ලංකා ඉතිහාසය ගැන පැවැසීම අරඹනුයේ සිරිමා බෝ සමිඳුන් වැඩම වීමේ පුවතිනි. ඉන් අනතුරු ව ස්වකීය විෂයයට අදාළ යැයි හැඟෙන රජවරුන් හා ඔවුන්ගේ විශේෂිත ක්‍රියා පිළිබඳ පමණක් ප්‍රකාශ වේ. ගජබා රජු ගැන ‘එසඳ සොළියා බසට රැහැණි ව ගඳා මිරිකා රැපැයි දියකඳ’, කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු ගැන ‘ළසේ සත් මහලින් අලුත් ලෝ මහ පහා කර මනනද’, බුද්ධදාස රජු ගැන ‘අසූ මහ සව් නම් තබා කුමරුන් අසූවක් ලැබ ගෙනා’, කුමාරදාස රජු ගැන ‘කුමර දස් රජ කාලිදස් නම් කිවිඳු හට සිය දිවි පිදී’ වැනි සඳහන් මෙහි දැකිය හැකි ය.
මේ අනුව පැරකුම්බා සිරිත කතුවරයා උසස් කවීත්වයක් සහිත සාහිත්‍යමය කුසලතාවෙන් හෙබි උගතකු වී යැයි සිතීමට හේතු සාධක ඇත. මේ කෘතියෙහි දැකිය හැක්කේ අසීමිත රාජ පාක්ෂික භාවයෙන් යුක්ත ව අතිශයෝක්තියට ගැති වීම කැයි පැවසිය හැකි නමුදු ඒ අතින් තත්කාලීන අනෙකුත් කෘතිවල එන රාජ වර්ණනාවලට වඩා වැඩි අමුත්තක් මෙහි දැකිය නො හැකි ය. මේ රචනයෙහි දී කතුවරයා හැම අතින් ම පාහේ සංස්කෘත කාව්‍ය සම්ප්‍රදායයන් හි ආභාෂය ලබා ඇතැයි සිතීම නිවැරැදි ය. එහෙත් අරමුණට අදාළ පරිදි ස්වාධීන ලක්ෂණ පිළිබිඹු කිරීමට ද ඔහු සමත් වී ඇත්තේ ය.
කෝට්ටේ යුගයේ පඬිවරුන් සිංහල සාහිත්‍යය විවිධාකාරයෙන් දියුණු කිරීමට ගත් උත්සාහයේ එක් පාර්ශ්වයක් පැරකුම්බා සිරිතෙන් නියෝජනය වේ. එසේ ම පද්‍ය භාෂාවේ පෙරළියක් කිරීමට සමත් නිර්භය ප්‍රයත්නයක් සේ ද මේ කෘතිය විශේෂිත වේ. එතෙක් නො තිබු විරූ නව මගක් ගත් නිර්මාණයක් ලෙසින් ද පසුකාලීන ව බිහි වූ ප්‍රශස්ති කාව්‍යාවලියට මග පෑදූ මුල් කෘතිය ලෙසින් ද කෝට්ටේ සාහිත්‍යයේ විසිතුරු භාවය පළ කෙරෙන උසස් ප්‍රබන්ධයක් ලෙසින් ද පැරකුම් සිරිත අගනේ ය.