මම පාසල් ගියේ කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලකට. නැවතිලා හිටියෙ නේවාසිකාගාරයේ. 10 වසරේ ඉඳලා පන්ති යන්න එළියට යන්න අවස්ථාව දුන්න නිසා පන්තිවල හමු වෙන ගෑනු ළමයි එක්ක සම්බන්ධතා ගොඩ නැගෙන කාලයක්. මාස කිහිපයක් යද්දිම අපේ යාළුවො කීප දෙනෙක් "පවුල්" වෙලා හිටියා. එයාලත් අවට ඉස්කෝලවල නේවාසිකාගාරවල ඉන්න ළමයි. අම්මලා තාත්තලා අතේ වියදමට දෙන සල්ලිවලින් තමයි බොහෝ දේවල් පිරිමසා ගත්තේ.
මගෙ කිට්ටු යාළුවෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තිබුණු ගෑනු ළමයා ශිෂ්‍යත්වයෙන් ආපු දුප්පත් පවුලක ගැහැණු ළමයෙක්. අපි එක්කත් සුහද වුණා. ඔන්න ටික ටික ඒ ළමයාගෙ උපන්දිනෙත් කිට්ටු වුණා. උපන්දිනයට දෙන්න හොඳ තෑග්ග මොකක්ද කියලා යාළුවා අපි එක්කත් කතාබහක් කළා.
ඒ කාලෙ ඇත්තටම ලව් කරෙත් විනෝදයට වගේ. ඒ නිසා විහිළුවට විකාර තෑගි දෙන එක බහුලව තිබුණා. ඒ නිසා බයිට් එකටත් එක්ක අර ගෑණු ළමයට පෑඩ් 20 පැකට් දෙකක් ලස්සනට ඔතලා දුන්නා. (බරට තියෙන්න ගඩොල් කැටයකුත් එක්ක.)
දෙපැත්තෙම කට්ටිය හිනා වෙලා එදා හොඳ විනෝදයක් ගත්තා විතරක් නෙවෙයි, එදා ඉඳන් උපන් දිනයට දෙන ජනප්‍රියම තෑග්ගත් ඕකම වුණා. අපිටත් ඉතින් මාර විහිළුව තමයි.
කාලෙකට පස්සෙ ඒ මුලින්ම කියපු ගැහැණු ළමයා එක්ක මම අහම්බෙන් චැට් කරා. දැන් ඒ කාලෙ තිබුණ සම්බන්ධතා සේරම නැවතිලා ගිහින්. අර විහිළුවත් මම මතක් කරා. ඒ කාලෙ අපි කරපු විහිළුව නිසා ඒ හොස්ටල් එකේ ගෑණු ළමයින්ට මොන තරම් පහසුවක් වුණාද කියලා හරියටම තේරුම් ගත්තෙ එදා.
මාසෙකට සැරයක් දුප්පත් පවුලක ගෑනු ළමයෙක් නේවාසිකාගාරයක තියලා ඉන්නකොට පෑඩ් ගන්නත් සල්ලි දෙන එක දෙමව්පියන්ට මොන තරම් බරක්ද කියලා ඒ කාලෙ හැඟීමක් නොතිබුණාට අද හොඳට තේරුම් ගන්න පුළුවන්. හිතේ ලොකු සතුටක් තියෙනවා එදා විහිළුවට හරි ඒ කරපු දෙයින් ඒ ළමයින්ට මොන තරම් පහසුවක් වුණාද කියන එක ගැන.
