පිහියා වර්ග

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පිහියා වර්ග


    stab.jpg


    ‘අඟල් හයක් බස්සනවා’ කියන කියමන අපි තරුණ කාලේදී නම් නිතර අහන්න ලැබුණා. ඒ වචනය නිතර පාවිච්චි කලේ ගමේ මෙන්ම නගරයේද සිටි ගණන්කාරයෝ. එහි තේරුම වුනේ පිහියෙන් අනිනවා කියන එකයි. අදටත් ලොව දියුණු රටවල පවා, තුවක්කු පිස්තෝල වගේම, අපරාධ සඳහා යොදාගන්නා ආයුධයක් වන්නේ පිහියයි. අද කාලයේ, නිවෙස්වල ඇති මුළුතැන්ගෙයි පිහියාද, ඉතා භයානක ලෙස මිනිසෙකුට මරණීය තුවාල කිරීම සඳහා යොදාගත හැකියි. සමහර මුළුතැන්ගෙයි පිහිය, වෙළඳ සලකින් මිලදීගෙන යන අවස්ථාවකදී, එහි ලදුපත, එය ගෙන යන තැනැත්තා අතේ නැත්නම්, දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගැනීමට පවා, පොලීසියට බලය තිබෙනවා. පිහිය මාරාන්තික අවියක් බවට පත්වුණේ අද ඊයේ නෙවෙයි. පිහිය ආයුධයක් ද උපකරණයක් ද යන්න තීරණය වන්නේ යොදාගන්නා ආකාරය සහ අවස්ථාව අනුවයි. පිහිය විතරක් නෙවෙයි වෙනත් උපකරණ වුනත් ආයුධයක් ලෙස (අත පය වුනත්) යොදා ගන්න පුළුවන්නේ. අද කතා කරන්නේ ඇතුවත් බැරි, නැතුවත් බැරි, පිහිය ගැනයි.



    cartoon.jpg


    පිහිය සම්බන්ධ කියමන් ලෝකයේ බොහෝ සංස්කෘතීන්හි අසන්නට ලැබෙනවා. අපේ දේශීය සංස්කෘතියේත් තියනවා නේද? ‘පිහිය රත්තරන් කියලා ඇණගන්නයැ’ කියලා. ඇත්තටම එයින් අදහස් කරන්නේ යම් කිසිවකු, උසස් පුද්ගලයකු යයි පිළිගැනීම මත, ඔහුගේ අකටයුතු ඉවසිය නොහැකි බවයි. ගෙදරදොර එදිනෙදා කටයුතු වලදී හෝ විනෝදය සඳහා ගස්කොලන් වලට කොටන්නට යාමෙන් හෝ පිහියකින් සුළු තුවාලයක් වත් කර නොගත් කෙනෙක් නැති තරම්. ඒ තරමට බහුලව පිහිය සමාජය තුළ භාවිතයේ පවතිනවා. පිහිය සම්බන්ධ තවත් කියමන් කීපයක් පහත දක්වනවා. හැබැයි මේ කියමන් වල යටි පෙළ අරුත සොයාගැනීම ඔබට බාරයි.


    • පිහිය කොමඩු ගෙඩිය උඩට වැටුනත් එකයි. කොමඩු ගෙඩිය පිහිය උඩට වැටුනත් එකයි. (අප්‍රිකානු කියමනක්)
    • ඔබේ දිය බඳුන මුවවිට තෙක් පිරෙව්වොත් උතුරා යයි. ඔබේ පිහිය නිතර මුවහත් කලොත් එය ගෙවීයයි. (දාර්ශනික ලාඔත් ට්සු)
    • නරක පිහියකින් කැපෙන්නේ කෝටුව නොව කපන්නාගේ ඇඟිල්ලයි. (පෘතුගීසි කියමනක්)
    • පිහියට තමන්ගේම මිට කපා දැමීමට නොහැකිය (කොරියානු කියමනක්)
    • පුහුල් ගෙඩියක හදවත තුල සිදුවන්නේ කුමක්ද යන්න දන්නේ පිහිය පමණි. (සයිමන් ශ්වාර්ස්)
    • සෙමෙන් ඔබේ පිටට තට්ටු කරන්නන්ගෙන් පරෙස්සම් වෙන්න. ඔවුන් ඒ සොයන්නේ පිහියක් සිටවීම සඳහා ඔබේ පිටේ සුදුසු තැනක් විය හැකියි.

    මේ වගේ තවත් කියමන් ඔබ දන්නවා ඇති. ඔබේ අදහස් සමග ඒ කියමන් ඉදිරිපත් කරනු ඇතැයි සිතනවා.
    අපේ සංස්කෘතියේත් ලෝක සංස්කෘතියේත් විවිධ කාර්යයන් සඳහා විවිධ පිහියා තියනවා. අපිට මතක තියන ඒවා නම් කලොත්,

    • මේස පිහිය
    • වප්පිහිය (වක්‍+පිහිය = වප්පිහිය)
    • කප්පාදු පිහිය
    • දැලි පිහිය
    • මාළු පිහිය
    • වාං කැත්ත
    • දෑකැත්ත
    • කිරි පිහිය
    • මන්නය (මන්න පිහිය)
    • කැත්ත
    • කුරුඳු කැත්ත
    • පොල් කෙක්ක (පිහිය)
    • දැලි පිහිය
    • උල් පිහිය (කිරිච්චිය)
    • බද්ධ පිහිය
    • දුනු පිහිය
    මෙහි මට අමතක වූ පිහිය වර්ග ඔබ මතක් කර දෙනු ඇතැයි සිතනවා.
    නවීන තාක්ෂණයෙන් අපිට ලබාදී තිබෙන පිහිය රාශියක් ද තිබෙනවා. වර්තමානයේ මුළුතැන්ගෙයක තිබෙන පිහිය වර්ග අප මවිතයට පත කරන තරම්. ඉස්සරනම් කුස්සියේ තිබුනේ මේස පිහිය වප්පිහිය මාන්නය වැනි සීමාසහිත පිහිය කීපයක් පමණයි. මිනිසාගේ ආහාර රටාවන් වෙනස්වීම, ආහාර සැකසීමේ ක්‍රම වෙනස්වීම නිසා කපන කොටන උපකරණ රාශියක් මුළුතැන්ගෙයට එකතු වුනා.

    bread-slicing-knife.gif



    පාන් කැපීමට ගන්නා පිහිය නවීන තාක්ෂණයෙන් අපට ලබාදුන් පිහියක්. මේ පිහියේ තිබෙන දැති සහිත තලය නිසා තරමක් පරණ පාන් හෝ අලුත්ම පාන් වුනත් නොතැලී, නොකැඩී, කපාගන්නට පුළුවන්. අපේ ගෙදරට 1990 දී මිලදීගත්, ස්වීඩනයේ නිෂ්පාදිත, පාන් කපන පිහිය, අදටත් ඉතා හොඳින් කැපෙනවා. එය මෙතෙක් මුවහත් තබා නැහැ. (එහෙනම් ඒක පාවිච්චි කරන්නේ නැතුව ඇති :P)
    සමහර පිහිය වර්ග අප පාවිච්චි කරන්නේ විශේෂ කාර්යයන් සඳහායි. එම පිහියෙන් ඒ විශේෂ කාර්යය හැර වෙනත් කිසිවක් කරන්නට ගියොත් එක්කෝ පිහියට හානි වෙනවා. නැත්නම් පිහිය පාවිච්චි කරන්නට තුවාල වෙනවා. එහෙමත් නැත්නම් කරන්නට ගිය කාර්යය විකෘති හෝ අවුල් වෙනවා. උදාහරණ කීපයක් සලකා බලමු.
    ශල්‍ය පිහිය:-
    මේ පිහිය තියෙන්නේ ශල්‍යකර්ම සඳහා පමණයි. එයින් එළවලු කැටයම් කරන්න බැහැ. :D ඒ පිහිය පාවිච්චි කරන ආකාරය දන්නෙත් ශල්‍ය වෛද්‍ය වරු පමණයි.


    surgical.gif



    කිරි පිහිය:-
    සමහරු නම් මේ පිහිය දැකලත් නැතුව ඇති. මෙයින් කරන්නේ රබර් ගසෙන් කිරි ගැනීම සඳහා රබර් ගසේ පොත්තේ කැපුම් දැමීමයි. කිරි පිහිය පාවිච්චි කරන්න දන්නෙත් රබර් කිරි කපන අය විතරයි. මේ සමග ඇති පින්තුරයෙන් පෙන්වන්නේ අපේ රටේ පාවිච්චි කරන සාම්ප්‍රදායික කිරි පිහියයි. මීට වඩා වෙනස් හැඩ වල කිරි පිහියා දැන් භාවිත කරනවා.


    rubber-tapping-knife.jpg



    වාං කැත්ත:-
    තලය සාමාන්‍ය කැත්තක තලයට වඩා පළලයි. මෙය පාවිච්චි කරන්නේ කැලය කපා එළි පෙහෙළි කිරීමටයි. දිග මිටක් සහ ශක්තිමත් තලයක් තිබෙනවා. මෙහි දැක්වෙන පින්තුරයේ නම් තිබෙන්නේ මිට කොට කැත්තක්.




    කුරුඳු කැත්ත:-
    මෙය විශේෂයෙන් දකින්නට ලැබෙන්නේ අපේ රටේ දකුණු පළාතේ කුරුඳු වගා කරන ප්‍රදේශ වලයි. කුරුඳු කර්මාන්තය ආශ්‍රිතව සකසාකත් පිහියා වර්ග කීපයක් තිබෙනවා. කුරුඳු කැත්තක පින්තුරයක් සොයා ගැනීමත් අපහසුයි. සොයාගත් පින්තුර පහත දක්වනවා.
    image0221.jpg


    cinnamon1.jpg



    image0161.jpg



    පොල් කෙක්ක:-
    කෙක්කෙන් පොල් කැඩීම බහුල වශයෙන් සිදුවන්නේ වයඹ පළාතේ බවයි මම දන්නේ. මා වැරදිනම් නිවැරදි කරන්න. පොල් කෙක්ක පාවිච්චි කරන්නෙත් පොල් කැඩීමට විතරයිනේ. අනික එච්චර උස කෙක්කක් වෙනත් කටයුත්තකට අවශ්යවන්නෙත් නැහැ. පොල් කෙක්කක පින්තුරයක් සෙවීමට උත්සාහ කලත් එය සාර්ථක වුනේ නැහැ.
    කප්පාදු පිහිය:-
    කප්පාදු පිහියත් විශේෂ පිහියක්. අපේ රටේ පාවිච්චිකරන කප්පාදු පිහිය වප්පිහියේම විකාශයක් කිව හැකියි. පොදුවේ පාවිච්චි කළහැකි කප්පාදු පිහියකුයි පහත පින්තුරයේ දැක්වෙන්නේ.

    e0b69ae0b6b4e0b78ae0b6b4e0b78fe0b6afe0b794-e0b6b4e0b792e0b784e0b792e0b6ba.jpg


    බද්ධ පිහිය:-
    කෘෂිකාර්මික කටයුතු වලදී භාවිත වන පිහියක් තමයි බද්ධ පිහිය. ශාක බද්ධ කටයුතු වලදී අවශ්‍ය කැපුම් සඳහාත්, ශාක වලින් පොතු ගලවා ගැනීම සඳහාත්, බද්ධ පිහිය භාවිත කරනවා. බද්ධ පිහිය විවිධ හැඩ වලින් තිබෙන අතර, මෙහි දැක්වෙන්නේ, පොදු බද්ධ පිහියක පින්තුරයකුයි.


    grafting-knife.png



    දුනු පිහිය:-
    අපි කුඩා කාලයේ අපේ වැඩිහිටියන් අත බොහෝවිට දුනු පිහිය දකින්නට ලැබුනා. ඔවුන් දුනු පිහියෙන් ගත් ප්‍රධානම ප්‍රයෝජනය වුනේ බුලත්විට කෑම සඳහා පුවක් කපා ගැනීමයි. දුණු පිහියේ තලය අංශක 90 කෝණයකට නවා, එහි මිට තුලට යැවිය හැකියි. අවශ්‍ය විට, එහි තලයේ ඇති කුඩා කට්ටය, මහපට ඇඟිල්ලේ නියපොත්තෙන් ඇද, දිග හැරිය හැකියි. ලී කැබැල්ලක්, කෝටුවක්, කපා ගැනීමටත් දුනු පිහිය සුදුසුයි. ඒ වගේම දුනු පිහිය මාරාන්තික ආයුධයක්. දුනු පිහි වර්ග දෙකක් තිබෙනවා. අතින් දිග හැරිය යුතු දුනු පිහි සහ බොත්තමක් එබූ විට, පිහිතලය, දුන්නක ආධාරයෙන්, ස්වයංක්‍රීයව එලියට එන දුනු පිහි, ඒ දෙවර්ගයයි.

    e0b6afe0b794e0b6abe0b794-e0b6b4e0b792e0b784e0b792e0b6ba.jpg



    legal-automatic-knife1.jpg



    කිරිච්චිය:-
    අපේ පැරණි සංස්කෘතිය තුළ නිතර භාවිත වුන ආයුධයක් තමයි කිරිච්චිය හෙවත් උල් පිහිය. කම්මලක හදන සාමාන්‍ය උල් පිහිය සාමාන්‍ය මිනිහාගේ ආයුධයක් වූ අතර, විවිධ අලංකරණය කිරීම් සහිතව සමහර විට රන් රිදී වැනි වටිනා ලෝහ ද එකතුකර සාදනලද කිරිච්චි, රාජකීය සහ රදල පැලැන්තියේ ආයුධයක් ලෙස මෙන්ම, අධිකාරි බලයේ සංකේතයක් ලෙස ද භාවිත වුනා.



    දැලි පිහිය:-
    දැලි පිහිය ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අදනම් දැලි පිහිය අභාවයට ගිගින්. සමහර බාබර් සාප්පු වල කොණ්ඩය කැපීමේදී පාවිච්චි කරන්නේ නියම දැලි පිහිය නෙවෙයි. රේසර් තලයක් දෙකට කඩා, සවිකළ හැකි පිහියක්. අපි කුඩා කාලේදී බාබර් සාප්පු වල තිබුනා නියම දැලි පිහිය. ඒ වගේම ගෙවල් වල සහ පන්සල් වලත් තිබුණා. ඒ කාලේ මිනිස්සු මෝඩ නිසා, බය නැතුව බාබර් සාප්පුවේදී, එකම දැලි පිහියෙන් කොණ්ඩය රැවුල කැපුවා, හැම දෙනාගේම. ඒ මෝඩ මිනිස්සු සදාචාරවත් මිනිස්සු නිසා, ඒඩ්ස් වගේ රෝග හදාගත්තෙත් නැහැ. දැලි පිහිය නිසා ඒවා පැතිරුනෙත් නැහැ. කාලයක් ගැට කපන්නන්ගේ සහ පාතාලයන්ගේ ආයුධය වුනේ දැලි පිහියයි. අද ඊට වඩා දියුණු ආයුධ තියනවා නොවැ. ඉතින් මොකටද දැලිපිහි.


    shaving-razor.jpg

    පිහියක මුලික කොටස් මොනවද?
    ඔබ කියයි, ‘පිහියක මොන කොටස්ද? තලය සහ මිට තමයි පිහියක කොටස්’ කියලා. නමුත් සමහර පිහියා ටිකක් සංකීර්ණයි. ඒ වගේ පිහියා වල කොටස් රාශියක් තියනවා. අද කාලයේ පාවිච්චි කරන සාමාන්‍ය මුළුතැන්ගෙයි පිහියක් අරගෙන බලමුද කොටස් කොපමණ තිබෙනවාද කියා. සමහරවිට ඔබ පුදුම වෙයි. මෙන්න බලන්න.


    kitchen-knife-anatomy.png



    ඔබ කිව්වා වගේම මෙහි ප්‍රධාන වශයෙන් තිබෙන්නේ තලය සහ මිට තමයි. නමුත් බලන්න, සමහරවිට අපි මෙතෙක් නොදන්නා කොටස් කීයක්,‌ පිහියක තිබෙනවාද කියා. ඒවා පහත නම් කරනවා.

    • A – Point – තුඩ – යමක් සිදුරු කිරීම සඳහා යොදාගන්නා, පිහි තලයේ කෙළවර.
    • B – Tip – උල – සාමාන්‍යයෙන් පිහි තලයේ දිගෙන් 1/3 ක් පමණ වන අග කොටස. වක්‍ර හැඩයේ කැපීම් සඳහා භාවිත කෙරෙයි.
    • C – Edge – කැපුම් තලය. තුඩෙහි සිට, මෙහි පහත, ‘හීල් Heel’ යනුවෙන් දැක්වෙන කොටස දක්වා ඇති දාරය.
    • D – Heel – තලයේ පසුපස කොටස. තලය මත දැඩි බර යොදවා කපන විට, ප්‍රධාන වශයෙන් බලය යෙදවෙන්නේ මේ කොටස මත ය.
    • E – Spine – පිහියේ පිට (කොන්ද) තලයේ ඝනකමින් වැඩි දාරය. තලයේ ශක්තිමත් බව රඳවා ගැනීමට ආධාර වන අතර, බර යොදා කපන විට, තලයේ ආරක්ෂාව තහවුරු කරයි.
    • F – Bolster – බෝල්ස්ටර් – (ගැලපෙන සිංහල වචනයක් ලැබුනේ නැත) පිහි තලය, පිහි මිටට තදින් ශක්තිමත්ව සවිවීම සඳහා, ඝනකමට සාදා තිබෙන, සම්බන්ධකය.
    • G – Finger Guard – ඇඟිලි ආරක්ෂක වක්‍රය. මේ වක්‍රය බාධකයක් ලෙස ක්‍රියා කරන බැවින්, කපන්නාගේ ඇඟිලි පිහි තලය වෙත ලිස්සා යාම වැළකෙයි.
    • H – Return – රිටන් – (ගැලපෙන සිංහල වචනයක් ලැබුනේ නැත) හීල් කොටස සහ බෝල්ස්ටර් කොටස එකට සම්බන්ධ වන ස්ථානය.
    • J – Tang – ටැංග් – (ගැලපෙන සිංහල වචනයක් ලැබුනේ නැත) පිහියේ මිට තුළට කවා ඇති, පිහි තලයේ පසුපස කෙළවර.
    • K – Scales – ස්කේල්ස් – ටැංග් එකට දෙපැත්තෙන් සවිකර ඇති, (ලී, ප්ලාස්ටික්, හෝ එවැනි ද්‍රව්‍යයකින් සාදා ඇති) පිහි මිටේ පළු දෙක.
    • L – Rivets – ස්කේල්ස් දෙක, ටැංග් එකට සවි කිරීම සඳහා යොදා ඇති, රිවට් ඇණ.
    • M – Handle Guard – වාරුව – පිහිය අල්ලාගෙන සිටිනවිට අතින් ලිස්සායාම වළකින්නේ මිටෙහි පසුපස කොටසේ ඇති මේ වක්‍ර කොටස නිසාය.
    • N – Butt – බට් – පිහි මිටෙහි අවසන් කෙළවර.
    (මෙම සටහනේ I අකුර යොදා නැත්තේ අයි අකුර පින්තුරය තුළ පැහැදිලිව නොපෙණීමට ඉඩ ඇති නිසාය) දැන් මොකද හිතෙන්නේ. අපි හිතනවාට වඩා දේවල්, අපි එදිනෙදා පාවිච්චියට ගන්නා පිහියේ තිබෙනවා නේද?

    ඉස්සුවේ මෙතනින්
    Code:
    https://jangun.wordpress.com/2012/10/12/%E0%B6%92%E0%B6%BA%E0%B7%92-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%86%E0%B7%80%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%83%E0%B7%8A/




     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පිහිය මුවාත් කතුර මුවාත්......ආ..යෙන්ඩ යෙන්ඩ මාත්තයා....;)