පුෂ්පා අයිරාංගනි ගුරුතුමිය

wasanthahwr

Junior member
  • Jun 30, 2007
    115
    42
    18
    පුෂ්පා අයිරාංගනි ගුරුතුමිය

    ඉස්සර මටත් උන්න දරුවෙකුගෙ අනාගතයට ආදරය කරන ගුරුවරියක්, ඒ මිස් උන්නෙ කුලි/මාහිම්පිටිය මධ්‍ය මහා විදුහලේ, ඇය පුෂ්පා අයිරාංගනි ගුරුතුමියයි. ඉන්න ගෙයක්දොරක් නැතුවත් අපේ පවුලෙ තිබුනු ආර්ථික දුෂ්කරතා හින්ද මට යන්න වුනා (1997) මාහිම්පිටියෙ මගෙ සහෝදරිය ජීවත් වන ගෙදරට. (ගෙයක් කිව්වට අන්නාසි වත්තක මුර සේවයට හදපු පොල් අතුවලින් වටකරපු පැළලි ගෙයක්)
    9 වසර පටන් ගනිද්දිම වගේ පන්තිභාර ගුරුතුමිය වුනේ පුෂ්ප මිස්. ඇය අපිට ඉගැන්නුවෙ සමාජ අධ්‍යයනය. පළවෙනි වාර පරීක්ෂණයෙන් මං පන්තියෙ තුන්වෙනිය වුනා. ඇය මාව අගයකරල මාව පන්තියෙ නායකය කලා.පන්තියට අලුත් අලුත් නිර්මාන වලින් හැමෝගෙම දැනුම වැඩිකරන දේවල් කරන්න ඇය මාව දිරිගැන්වූව. දෙමව්පියො මං ගාව නැතිහින්ද වෙන්න ඇති නිතරම මගෙ සුවදුක් විමසුව. මටත් හරි ආස හිතුන තව තවත් ඉගෙනගන්න, ගෙදර ගිහින් හවස්වෙද්දි පොත් මේසයක් නැති උනත් කපාපු පොල් කොටයක් උඩ තියාගෙන මන් ඉස්කෝලෙ වැඩ කරේ හරිම උනන්දුවෙන්.

    දෙවෙනි වාරෙ මං පන්තියෙ දෙවෙනිය වුනා, මිස්ටත් හරිම සතුටුයි. දවසක් ඉස්කෝලෙ සාහිත්‍ය සමිතියෙ රැස්වීමෙදි මගෙ වාරයේදි "දවසක් පැල නැති හේනේ" සිංදුව කිව්ව. එදා මිස් උන්නෙ නෑ, අනිත් ගුරුවරු මාව අගය කලා. ඉස්කෝලෙ විශේෂ දවසක මට ඒ සිංදුව ආයෙමත් කියන්න කියල ආරාධනා කලා.එදා මිස් උන්න, මං දැක්ක ඇයගේ ඇස් කදුලුවලින් තෙත්වෙලා, මට මතකයි එදා මට කතාකලේ "පොඩි කපුගේ" කියල, මට කිව්ව ඔයාට සංගීතය ඉගෙනගන්න මං අදුනන හොද ගුරුවරයෙක් ගාවට යවන්නම් කියල. මටත් හරිම සතුටුයි, කාලය ගෙවිල යද්දි තුන්වෙනි වාර පරීක්ෂණය ළං වුනා.

    අපිට මිස් කිව්ව මේ වතාවෙ තෑගි ප්‍රදාන උත්සවයක් තියෙනව බාහිර හා විෂය සමගාමී සියළුම දෑ ට තෑගියි සහතිකයි දෙනව කියල. හොදට පාඩම් කරල විභාගෙ ලියල අන්තිම වාර පරීක්ෂණයෙන් මං පන්තියෙ පළවෙනිය වුනා හැම විෂයකටම වැඩිම ලකුණු අරන්.සතුටුපිරුණු මුහුණෙන් මිස් මට කිව්ව පුතේ ඔයාට තවත් දේවල් වලට තෑගි තියෙනව උත්සව දවසෙ බලන්නකො කිව්ව. අනේ ඒත් එදාට දවස් දෙක තුනකට පස්සෙ ගොඩක් ඈත පලාතකින් අම්මට අඩු කුලියට ඉන්න තැනක් හම්බවෙලා මාව කැන්දන් යන්න ආව ගෙදරට.මොකද අන්නාසි වත්තෙ මුර කාලය ඉවර වුනු හින්ද අපිට එහෙන් යන්න වෙලා තිබුනෙ.

    උදෙන්ම ඉස්කෝලෙට ගිහින් යාළුවන්ට කිව්වට මිස්ට කියන්න ගියෙ නෑ මං. අම්ම ඇවිත් අස්වීමත් අරගෙන ඉවර වෙලාමයි ආවෙ ගුරුවරු ඉන්න කාමරය ළගට. මිස් එළියට ඇවිත් ඇහැව්ව "ඇයි පුතේ "කියල. අම්ම විස්තරෙ කිව්වම මිස්ගෙ ඇස්වල කදුළු පුරවන් හරිම නොසන්සුන්තාවයෙන් මගෙන් ඇහැව්ව "ඇයි පුතේ ඔයා මට මුලින් නොකිව්වෙ" කියල.මට ඇහුන පුංචි ආවේගයකින් වගේ අම්මට මෙහෙම කියනව, " මේ දරුවව අපේ ගෙදර හරි තියාගෙන මං ඉස්කෝලෙ යවන්නම්, මට දෙන්න, " කියල. තව ගොඩක් දේවල් කිව්ව එතුමිය,

    එදා මං ඒ ඉස්කෝලෙන් අයින්වෙලා ආවෙ හරිම වේදනාවෙන්, මාසෙකට පස්සෙ මායි අම්මයි අර තෑගි ප්‍රධාන උත්සවයෙ සහතිකයි තෑගියි අරන් යන්න ආව, එදා මිස් උන්නෙ නැහැ. අනෙක් ගුරුවරුන්ගෙන් දැනගන්න ලැබුන මං උන්නෙ නැති හිංද ඊළගට දක්ෂතාවය තිබුනු ළමයින් අතරේ බෙදාදුන්න කියල ඒ හැමදේම.

    කාලය ගෙවී ගිහින් අවුරුදු 10කට පස්සෙ මං ඒ ගුරුතුමියව හොයාගෙන ගියා. එතුමියට මාව දැක්ක ගමන් අදුනගන්න බැරි වුනා. නමුත් ඇයගෙ කකුල් දෙක ළග දනින් වැටිල නමස්කාර කරද්දි ඇය මාව අදුනගත්ත, සතුටු කදුළු පිරුණු මුහුනින් මාව ඇය තුරුලු කරගෙන මගෙන් ඇහැව්වෙ " පුතේ ඔයා හොදින්ද" කියලයි.එදා දවසෙ ඇයගෙ සුවදුක් ගැන අහල මං ආවෙ පුදුම සතුටකින්. ඊට ටික කාලෙකට පස්සෙ මං විදේශගතවුනා.

    ඉතිං මං අද පොඩිහරි සාර්තකත්වයකට ආව නම් එදා එතුමිය මගෙ හිතට දුන්නු වටිනාකම හිංදයි, දුප්පත් කමින් මන් වැටෙන හැම වෙලාවකම එතුමිය මගේ ගැන මගෙ හිතට දුන්නු ඒ වටිනාකම මට ලොකූ හයියක් වුනා. ඊළගට ලංකාවට යන දවසට මං හරිම ආසාවෙන් බලන් ඉන්නෙ ඇයව බලන්න යන්න.
    https://www.facebook.com/video.php?v=927337460642998&set=vob.100001002579646&type=2&theater
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට සැකයි මේ කියන්නේ මගෙත් ගුරුතුමී ගැනද කියලා.....:):) මොනවා උනත් අද කාලේ මෙහෙම ගුරුවරු හරි අඩුයි.....