පේවුණු_ජීවිත

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රුවන්මැලි සෑයේ සායම් ගාන්න මාස හතරක් පේවුණු ජීවිත


    21_SLTK_P9_BG.jpg


    පා සටහන් දවන තරමින් වියරු වූ සූර්යා ක‍්‍රමයෙන් සන්සුන් වන සෙයකි. වරෙක අනෝරා වැස්සටත් පුපුරු ගහන අව්වටත් හසුව මතුව ආ අතෝරක් දුර්වර්ණ පැල්ලම් මොහොතින් මොහොත සුදෝ සුදට හැරෙන්නේ දුටු දෙනුවන පිනවමිනි. උණ බම්බු පලංචිය මත පියෙන් පිය නැග දාගැබ මත හුණු පිරියම් කරන්නවුන්ගේ දසුන මොහොතකට මා සිත සසල කරවයි. ගල් පුවරු වලින් සුසැඳි සළපතල මළුවත් දාගැබ් ගර්භය මත රැඳි මිනිස් රූ වෙතත් එක එල්ලේ මා දෙනෙත ඇදී යයි. මම තැතිගතිමි. යළි සන්සුන් වුනෙමි. හමා එන අකීකරු සුළඟත්, දැඩි අව් රශ්මියත් මැද මතුව එන ජීවිත අවදානම පිළිබඳව යළි සිතමි. එහෙත් මේ මිනිසුන්ට එහි අරුමයක් නැති සෙයකි.
    රුවන් වැලි සෑය......සියවස් ගණනාවක ඓතිහාසික, සාසනික වටිනාකම් ගොන්නක ප‍්‍රතිමූර්තිය. හෙළ සංස්කෘතික පුනරුදයේ නිහඬ සාක්ෂිකරු.......මේ අරුමය මා නෙත ගැටෙන්නේ ඒ සාක්ෂිකරු අභිමුවය. වර්ෂයක් පාසා සිදුවන රුවන්වැලි සෑ හුණු පිරියම් කිරීමේ කාර්ය වෘත්තිය නිපුනත්වයකින් යුතු මිනිස් ශ‍්‍රමය භාවිත වන අවස්ථාවක් ලෙසත්, විසල් ධන සම්භාරයක් වැය වන කාර්යයක් ලෙසත් හැඳින්විය හැකිය.
    කි‍්‍ර.පූ. 161-137 තරම් දුරාතීතයේ දුටුගැමුණු රජ දවස ඉදිකිරීම් ආරම්භ කොට ඇති රුවන්වැලි සෑය ස්වර්ණමාලි, හේමමාලි, රත්නමාලි, රුවන්මැලි, මහාථූප ආදී නම් වලින් ද හඳුන්වා ඇති බවට පුරාවෘත්ත සාක්ෂි දරයි. ස්වර්ණමාලි නම් දෙවඟන විසූ තෙලඹු වෘක්ෂය ඉවත් කොට එබිම මත චෛත්‍යය ඉදිකළ හෙයින් ස්වර්ණමාලි ලෙස නම් තැබූ බව ප‍්‍රකටව පවතින ජනප‍්‍රවාදයකි.
    මම සෙමෙන් පියනගමි. කඩියන් සේ සීරුවෙන් දාගැබ මත සුදු හුණු තවරන එකෙකු දෙන්නකු සමඟ හෝ වචන කීපයක් කථා කිරීම මගේ අරමුණය.
    ‘‘මම අවුරුදු 19ක් තිස්සේ මේ හුණු පිරියම් කරන පින්කමට සම්බන්ධ වෙනවා’’
    මතුගම, වළල්ලාවිට සිට පැමිණි 63 හැවිරිදි ‘‘පී.කේ.ජයතිස්ස මහතා’’ පැවසු ඔහුගේ කරුණා සපිරි දෙනෙත තවමත් මට මතකය.
    ‘‘උදේ කීයටද වැඩ පටන් ගන්නේ’’ මතුවූ කුතුහලයෙන් යුතුව මම යළි ඇසීමි.
    ‘‘උදේ හය විතර වෙනකොට වැඩ පටන් ගන්නවා. හවස පහ හමාර විතර වෙනකොට නවත්වනවා. දොළහ හමාරට විතර දවල්ට කෑමට වැඩ නවත්තපුහම අපි පැය දෙකක් විතර ඉන්නවා. මධ්‍යහ්න වෙලාවට අව් රස්නේ වැඩියි’’ හේ පැවසීය.
    සළපතල මළුව මත මම ඔබ මොබ යමි. පුරාවෘත්තයන්ට අනුව මහා නිර්මාණකරු විසින් පූර්ණ ලෙසම කළුගලින් නිමවා දුටුගැමුණු රජු වෙත පිළිගන්වන ලද රුවන්වැලි සෑයේ ආකෘතිය මම දකිමි. කුඩා දිය බුබුලක් අහස සිඹින මහා සෑයක් වී ඇති අපූරුව. කිසිදු චෛත්‍යයක තැන්පත් නොකළ තරමේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ තැන්පත් කොට ඇති හෙයින්ම ‘‘අසදෘස මහාථූපය’’ ලෙසද නම් පටබැඳි සෑය......රුවන් වැලි සෑය. අතීතයේ ‘‘ද්‍රෝණයක්’’ ලෙස හඳුන්වා ඇත්තේ ‘‘ලාස්’’ හතරකට නොඑසේනම් ‘‘නැලි’’ දාසයකටය.

    21-page9-S2-5.jpg

    මුල් ශිල්පියා විසින් දුටුගැමුණු රජු වෙත සකස් කොට පෙන්වූ බවට ඉතිහාසයේ කියැවෙන රුවන්මැලි මහාසෑ ආකෘතිය.

    එවක චෛත්‍යයේ ඉදිකිරීම් නිම කිරීමට දුටු ගැමුණු රජුට නොහැකිව ඇති බවත් කි‍්‍ර.පු. 137-119 දී රජ පැමිණි රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජ දවස ඉදිකිරීම් නිමා කොට ඇති බවත් ඉතිහාසයේ සඳහන්ව ඇත. මුල් වකවානුවේ අඩි 300ක් උසට නිමවා ඇති රුවන්වැලි සෑයේ වටප‍්‍රමාණය අඩි 900ක් පමණ වී ඇත. ගල් පුවරු ඇසුරින් නිර්මාණය කොට ඇති සම සතරැස් සළපතල මුළුවේ එක් අන්තයක දිග අඩි 480ක් පමණකි. කි‍්‍ර.ව. 1017දී අනුරාධපුර රාජධානිය බිඳවැටීමත් සමඟ එහි වූ වෙහෙර විහාර ද විනාශයට පත්වී ක‍්‍රමයෙන් වල්වැදී ඇත.
    ‘‘දැන් මේ එන හුළඟත් එක්ක ටික ටික උඩට යනකොට බයක් එහෙම හිතෙන්නේ නැද්ද?’’ හුණු මිශ‍්‍ර කරමින් සිටි තවෙකකු වෙතින් මම ඇසීමි. හේ ඇල්පිටියේ සිට පැමිණි 52 හැවිරිදි ‘‘එම්.ජී.සුනිල් ශාන්ත’’ මහතාය. ඔහුගේ හඬ අධිෂ්ඨනාශීලීිය. කිසිදු සෙලවීමක් එහි ඇති බවක් මට නොහැඟේ.
    ‘‘එහෙම කියන්න තරම් බයක් හිතෙන්නෙ නෑ. අපි කාලයක් තිස්සේ මේ වැඬේ කරන නිසා බයක් දැනෙන්නේ නෑ. ඒත් ඉතිං අලූතින්ම මේ වැඩවලට එකතු වෙන කෙනකුට ඇත්තටම බයක් දැනෙන්න පුළුවන්. කොහොම වුණත් එහෙම එකපාරටම අලූතින් එන කෙනෙකු හුණු ගාන්ඩ චෛත්‍යය උඩට යවන්නේ නෑ. හුණු දිය කරන්ඩ, පලංචි බඳින්ඩ වගේ දේවල් වලට තමයි උදවු කරගන්නේ’’
    කාලානුරූපව ගරා වැටී, වල්වැදුනු රුවන්වැලි සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ‘‘ නාරංවිට සුමනසාර හිමියන්ගේ’’ මූලිකත්වයෙන් 19 වැනි ශතවර්ශයේදී ආරම්භ වී වර්ෂ 1940 පමණ වන විට අවසන්ව ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමානය වන විට සෑයේ උස අඩි 338කි. වටප‍්‍රමාණය අඩි 942කි. රන් ආලේපිත කොත සහ චූඩා මාණික්‍යයේ උස අඩි 25ක් පමණකි. අක්කර පහක පමණ හතරැස් මළුවක් මත චෛත්‍යය නිර්මාණය වී ඇත.
    ‘‘කොච්චර කාලයක් හුණු පිරියම් කරන එක කරනවද?’’ මට ඇත්තේ නිමානොවන ප‍්‍රශ්නාවලියකි. සියල්ලට පිළිතුරු බඳින්නට ඔවුනට වෙලාවක් නැත. එහෙත් ‘‘පී.කේ. ජයතිස්ස මහතාගේ’’ වටිනා කාලයෙන් මඳක් මා වෙත වෙන් කරන්නට තරම් නිර්ලෝභී වීම අස්වැසිල්ලට හේතුවකි.
    ‘‘මාස තුනක් විතර යනවා...... සම්පූර්ණයෙන් හුණු ගාල ඉවර කරන්ඩ. පලංචි බඳින එක තමයි ඉස්සෙල්ලම කරන්නේ. පලංචි බඳින්ඩ විතරක් සති දෙක හමාරක් තුනක් විතර යනවා.”
    ‘‘පලංචි බඳින්නේ මොනවගෙන්ද?’’
    ‘‘උණ බම්බුයි කොහු ලනුයි තමයි පලංචි බඳින්ඩ ගන්නේ’’
    ‘‘හුණු පිරියම් කරන්ඩ පටන් ගන්ඩ කලින් භාරහාර එහෙම වෙනවද?’’
    ‘‘අපොයි ඔව්......ජයසිරිමා හාමුදුරුවන්ට භාර වෙනවා. කරදරයක් නැතිව අපට මේ වැඬේ අවසන් කරන්න ආරක්ෂාව දෙන්ඩ කියලා. වැඬේ ඉවර වුණාම ශ්‍රී මහා බෝධිය ඉස්සරහ කිරි උතුරවලා භාරහාර ඔප්පු කරනවා’’

    21-page9-S2-4.jpg

    හුණු මිශ‍්‍ර කරමින්...

    ”මේ වෙන මහන්සියේ හැටියට දවසකට කීයක් විතර ගෙවනවද?’’
    ‘‘එක අතකින් මේක පිනක්.......අපි ඉතිං මාස තුන හතරක් තිස්සේ ගෙදරින් ඈත්වෙලා ඉන්නෙ........කාලා බීලා සන්තෝසෙන් ඉන්නවා. තුන්වේල කන්ඩ බොන්ඩ දීලා දවසකට රුපියල් දාහක්, එක්දහස් දෙසීයක් විතර හම්බ වෙනවා. හැමෝම ඔය මාස තුන හතරම එක දිගට වැඩ කරන්නේ නෑ. සතියකට හමාරකට සැරයක් ගෙදර ගිහිල්ලා එන්ඩ යනවා’’
    මම යළි එන්නට හැරුනෙමි. සෑයට යන මග දෙපස රතු සුදු නෙළුම් අත රැුඳි නේක මුහුණින් යුතු වෙළෙඳුන්ය. ඔවුනට ජීවිතය සටනක්ව ඇති සෙයකි. ඒ මේ පුදබිම ආශ්‍රීතව කියවෙන තවත් කථාවකි. පොසොන් පොහොය අරමුණු කොටගෙන දියත් කෙරුණු හුණු පිරියම් කිරීමේ කාර්ය දැන් අවසන්ව ඇත. අනේක දුර්වර්ණ සේයා පසුබා සෑය සුදෝ සුදට හැරී ඇත. එහෙත් ක‍්‍රමයෙන් මේ සුද යළි දුර්වර්ණ වනු ඇත. තවත් මාස කිහිපයකින් යළි මේ මිනිසුන් පැමිණෙනු ඇත. එවිට මේ සමහරෙක් යළි නොපැමිණෙනු ඇත. නවකයන් ඒ ගමනට එකතුවනු ඇත. එය නැවතූ තැනින් යළි ඇරඹෙන මේ අනවරථ ජීවිත ගමන හා සම නොවේදැයි මම යළි සිතමි......


    21-page9-S2-8.jpg

    ජයතිස්ස

    21-page9-S2-3.jpg

    සුනිල් ශාන්ත

    source lankadeepa
     
    Last edited:
    • Like
    Reactions: Mahaawansha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ