පොරක්_සොයමි

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ




    ඉස්සර ඉඳලම මට පොරක් වෙන්න ඕනෙ වෙලා තිබුනෙ. මුලදි යාන්තං තිබුන මේ අමාරුව පහු පහු වෙනකොට දරුණු තත්වයකට පත් උනා. ඔය කියන්නෙ ඉස්කෝලෙ ගිහිල්ල අහවර වෙච්ච අළුතමයි. පොරක් වෙන්න ඕනෙ කියල හිතුනට කිසිම පරමාදර්ශී චරිතයක් මට තිබුනෙ නෑ ඒ කාලෙ.


    ඉස්කෝලෙ ඉන්නකොට පොරක් කියල හිතාන උන්නු, ඉස්කෝලෙ ගේට්‍ටුව ඉස්සරහ පාට පාට ස්ටිකර් විකුන්න ස්ටිකර් කඩේ අංකල් පන්තියෙන් පන්තිය ඉහලට හිය මට තව දුරටත් පොරක් උනේ නෑ. ඉස්කෝලෙ ලොකු පන්තිවල උන්නු මදාවියො කාලයක් මගෙ පොරවල් වෙලා උන්න. උනුත් බිග් මැච් දවස් වල එක එකාගෙන් ගුටි කාල ඔළු පලාහෙන පාරවල් අයිනෙ කාණුවල වැටිල ඉන්නා දැක්කම උනුත් එපා වෙලා ගියා.


    ඔය කාලෙ ආව ගිය පොඩි පොඩි පොර චරිත අතරෙ හිටපු ලොකු චරිතයක් වෙච්ච සන්නස්ගල මට පොරක් උනා මේ කියන්නෙ සන්නස්ගල වැලන්ටයින් කාලෙ ආදරණීය වස්සානය නැවත මුද්‍රණයක් එලිදක්වපු අළුත. ලව් කෝච්චියෙන් නුවර ගියපු කාලෙ. මිනිහත් පොරක් වෙන්නෙ බිස්නස් වැඩිකර ගන්න කියල තේරෙනකොට ඒ පොරත් හෙමීට දියවෙලා ගියා. හැබැයි මම තවමත් මිනිහ ලියන කතා වලට ආසයි. [ඒ කියන්නෙ තාම සන්නස්ගල මට පොරක් - ඒත් මහ ලොකුවට නෙමෙයි]


    ආයෙමත් පොරක් නැතුව නූල කැඩුන සරුංගලේ වගේ ඔහේ හුලං අතට පාවෙවී ඔහේ තටම තටම උන්න මොකක් හරි පොටක් පෑදෙයි කියල. ඔය කාලෙ තමයි ගාල්ලෙ මහජන පුස්තකාලෙට ඇබ්බැහි උනේ දරුණු විදියට. ඒත් මට ඒකෙ තියන නවකතා එකක්වත් කියවන්න හිතුනෙ නෑ. මොකද මම හිතේ මවාගෙන හිටිය “මම පොර” ඔය බොලඳ දේවල් බැහැර කරපු කෙනෙක්. ඒක නිසා පුස්තකාලෙ බැහැරදෙන අංශයේ තිබිච්ච ලොකුම පොත වෙච්ච “කරමසෝ සහෝදරයෝ” අරගෙන ආව ගෙදර. පි‍ටු පනහකට හැටකට වඩා කියෙව්වෙ නෑ. ගොඩක් වෙලා කියවගෙන යනකොට පපුව හිරවෙනව වගේ දැනෙන්න පටන් ගත්ත. ඒ වෙන දෙයක් හන්ද නෙමෙයි පොතේ බරට, මම පොත් කියවන්නෙ ඇඳේ විට්ටමට කොට්ටයක් තියල හාන්සිවෙලා පොත පපුව උඩ තියාගෙන හන්දා ඒ කියවිල්ල එහෙම්මම නැවතුනා. පොත ගෙනැල්ල දවස් දෙකෙන් ආයෙ මාරුකරන්න යන්නත් ලැජ්ජයි. ඒක හන්ද සතියක්ම මේසෙ උඩ ඔහේ තියෙන්න ඇරල තමයි පුස්තකාලෙ පැත්තෙ ආයෙ ගියේ.


    ඊට පස්සෙ පුස්තකාලෙ විමර්ශණ අංශයට මාරු උනා ඒකෙ තිබිච්ච බයිබලේ දැකල. කාලයක් උදේ පාන්දර ගිහිල්ල හැන්දෑ වෙනකං ඒකෙ පි‍ටු අතරෙ හිරවෙලා ආගම් වාදෙකට කවුරුහරි ආවොත් දෙන්නං බැටේ කියල සමහර දේවල් සටහනුත් කරගත්ත. ඊටත් පස්සෙ අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදය තේරුම් ගන්න කාලයක් ආයෙම පොත් එක්ක වලි කෑව. ඒත් උන්නැහේගෙ බොහෝම ප්‍රසිද්ධ සූත්‍රය කටපාඩම් කරගන්නවට වඩා කිසිම දෙයක් කරගන්න බැරි උනා. ඒත් ඒ නොතේරෙන දේවල් හරිම ආසාවෙන් කියෙව්වෙ. ඊට පස්සෙ බ්ලැක් හෝල්ස්, වර්ම් හෝල්ස්, ටයිම් ට්‍රැවලින් එක්ක තව මහා අනං මනං ගොඩක පැටලිලා හිටියෙ. ඔය කාලෙ පුස්තකාලෙට හැමදාම වගේ පාඩම් කරන්න එන ගෑණුළමයෙකුත් මාත් එක්ක කතාකරන්න උනන්දුවක් පෙන්නුව. ඒත් මගේ “පොර ආසාව” ඒවට නෙමෙයි ඉඩක් දුන්නෙ. මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිවෙනකොට ආයෙම ඒ ළමය ගොළුබෙලික‍ටුවට රිංග ගත්ත.


    ඊට කාලෙකට පස්සෙ දීප්ති කුමාර ගුණරත්න එයාගෙ නඩය ඩෙරීඩත් එක්ක ඇවිත් මගේ හිතේ පදිංචි වෙනව. මට උන් කියන කිසිම දෙයක් නොතේරුනත් හරි වැදගත් මනුස්සයෙක් මයෙ ගෙදර ඉන්නව කියල හරි සන්තෝසෙන් ආඩම්බරෙන් තමයි උන්නෙ. ඒ දවස් වල මම හරිම විප්ලව කාරය. ගෙදර මම තමයි ඔක්කෝම දන්නෙ, පාරට බැස්සත් රෑම්පාට් එකේ සෙට් එකත් එක්ක බියර් එකක් ගැහුවත් මම තමයි පොර. ඇයි මම කියවන්නෙ ලන්ඩන් නෙ. හැබැයි ඔහොම කාලයක් ඉන්නකොට දීප්තිවත් එපාවෙලා යන තැනටම ආව. ලන්ඩන් වල කුණු කානු උතුරල දෝරෙගලනකොට මං ඉබාගාතේ ඇවිදින්න පටන්ගත්තා විතරයි. ඒක නිසා වැඩිය ගඳක් දැනුනෙ නෑ මට.


    ඊටපස්සෙ මට මුනගැහුනෙ ඕෂෝ. ජෝ සෙනවිරත්න තමයි පාර කිව්වෙ. හරිම සරළයි, හැම දෙයක්ම පිළිගන්නව. ගැ‍ටුමක් ඇත්තෙම නෑ. දෙමළිචිචෙක්ගෙ යටිබඩෙන් ගැලවිලා හුළ‍ඟේ පාවෙන තුනී පිහා‍ටුවක් වගේ සැහැල්ලුවක් මම ඕෂෝගෙන් දැක්කෙ. “ජීවිතයට ඉඩ දෙන්න” “ගැහැණු මනුස්සයා” මම ආසම කරපු ලියමන්. ඕෂෝ ගැන මොන තරම් විවේචන තිබුනත් ඕෂෝ තවමත් මට පොරක්. ඒ සරළ කම ඇතුලෙ තියන ගැඹුරු බව මට හුල‍ඟේ යන්න නොදී රඳවාගෙන.


    ඕෂෝට පස්සෙ මගෙ ජීවිතේ පොරක් වෙමින් පවතින අජාන් බ්‍රහ්මවංසෝ [සිනාසෙන සුදු හාමුදුරුවෝ] හාමුදුරුවන්ගෙ දේශනා, දේශනා ඇසුරෙන් ලියවුණු ලිපි ආයෙම මගේ පොරක් සෙවීමේ ආසව සංතෘප්ත කරමින් ඉන්නෙ. උන් වහන්සේත් බොහොම සැහැල්ලුයි. සරළයි, අපේ අග්ගමහා, ධර්ම චක්‍රවර්තී, අධිකරණ සංඝනායක වගේ මහා නම්බු නාම තියන උන්නාන්සේලාට වඩා පැහැදිලි, සරළව හිතට දැනෙනෙ ජීවිතේ හදාගන්න උදව් දෙන බොහෝමයක් කාරණා කියනව. උන්නාන්සෙට අනිත් අයට වගේ චීවරය බරක් නෙමේ වගේ. හරිම සැහැල්ලුවෙන් !


    ඒත් මට තවමත් උපරිම සෑහීමකට සෑහීමකට පත්වෙන්න බැරි උනා.. මම තාමත් පොරක් හොයනව.. කවදා මට පොරක් මුනගැහේවිද රෙද්ද උස්සල බැළුවම ඕජස් ගලන ශරීරයක් නොමැති, පපඩමක් වගේ ඇතුල හිස් නැති, වැල ගෙඩියක් වගේ බිමට වැටිච්ච ගමන් සී සී කඩ ඇට මදුළු නොවිසිරෙන ?????




    තිබ්බේ මෙතෑන - https://nawammawatha.wordpress.com


     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පොර වෙන්න ගිහින් කොර වෙන අය තමයි අද සමාජෙ වැඩිපුරම ඉන්නෙ එහෙම එකෙ නිකන් පොර වෙන්න යන්නෙ නැතිව සරලව ඉන්න අපිත් හොද පොරවල් තමයි:cool:
    ජයවේවා
    11.gif