පොල් වල්ලට ගල් ගැසීම

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    පොල් වල්ලට ගල් ගැසීම

    ශ්‍රී ලංකාවේ අද තිබෙන මජර තිරිසන් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම එක රැයකින් කළ හැකි යැයි යමෙක් සිතන්නේනම් එය සහමුලින්ම මනෝරාජික අදහසකි .ඒ තරමටම මෙම මජර ක්‍රමය අපගේ සමාජයෙහි මුල් අල්ලා තිබේ . කළ යුතුව තිබෙන්නේ මෙම මජරත්වය ඔසවා සිටින මුල්ගල් ක්‍රමක්‍රමයෙන් සොලවා උදුරා දැමීමට සිහි බුද්දියෙන් යුතුව ප්‍රායෝගික උපාය උපක්‍රම භාවිතා කරමින් කටයුතු කිරීමය. ලංකාව විප්ලව ඉවසන සමාජයක් නොවේ . අද අපි ජීවත්වන යුගය විප්ලව කළ හැකි යුගයක්ද නොවේ. ඒ වෙනුවට කළ හැක්කේ යුගයට ගැලපෙන ප්‍රතිසංස්කරන ඉදිරියට තල්ලුකර ඒවා දිනවමින් ආඥදායකත්වය ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවන් පරාජය කිරීමය .


    ශ්‍රී ලාංකික දේශපාලන මජරත්වය ඔසවා සිටින ප්‍රධාන මුල්ගලක් වන්නේ දැනට ක්‍රියාත්මක වන මනාප චන්ද ක්‍රමය හෙවත් සමානුපාතික නියෝජන ක්‍රමයයි. මුලින්ම කිව යුත්තේ මජරත්වයට එකම හේතුව එය පමණක් නොවන බවයි . එය වෙනස් කළ පමණින් කේතුමතී රාජධානියක් ලංකාවේ බිහිවන්නේ නැත .එහෙත් මෙම මජර තිරිසන් දේශපාලන ක්‍රමය රකින එක මුලික බහිරවයෙක් වන්නේ මනාප ක්‍රමයයි . මෙම මුදුන් කනුව හොල්ලා දැමීමෙන් වල්ලේ පොල් තව ගොඩක් බිමට කඩා වැටෙනු ඇත.


    න්‍යායානුකූලව බලන විට නම් නියෝජන ක්‍රම අතරින් හොඳම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයයි.
    එහෙත් ලංකාවේ අද්දැකීම වන්නේ මෙම ක්‍රමය
    මීට කලින් තිබුන ක්‍රමයට වඩා අර්බුද රැසක් නිර්මාණය කළ බවය.
    ශ්‍රී ලංකාවේ සමානුපාතික නියෝජන ක්‍රමය නියෝජනයේ ගැටළු විසඳනවාට වඩා අලුත් ගැටළු සමාජයට එකතු කර තිබේ. එමනිසා න්‍යාය කර තබා ගෙන දිවීමෙන් පමණක් සෙතක් අත් පත් නොවේ .
    කේවල ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වන කැනඩාව බ්‍රිතාන්‍යය වැනි රටවලද සමානුපාතික ක්‍රමය කරා යා යුතුය යනුවෙන් සිහින් විවාදයක් දිගින් දිගටම තිබුනද ඒ රටවල මහජන ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා හොඳම ක්‍රමය ලෙස ඔවුන්ගේ පැරණි ක්‍රමය වන කේවල ක්‍රමය නොවෙනස්ව දිගටම පවත්වාගෙන යයි .


    මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට මෙම මනාප ක්‍රමය වෙනස් කිරීමට වුවමනාවක් තිබේද? මගේ පිළිතුර නම් කිසිම වුවමනාවක් නැත ! යන්නය. එයට හේතුව නම් ඔහුගේ ඒකාධිපතිවාදී ආණ්ඩුව දරා සිටින එක මුල් ගලක් බවට මෙම මනාප ක්‍රමය මේ වන විට පත්ව තිබීමය.පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් කරමින් ඇමති ඩලස් අලහප්පෙරුම පැවසුවේ එම මැතිවරණය වනාහී මනාප ක්‍රමය යටතේ ලංකාවේ පවත්වන අවසන් මැතිවරණය බවයි! අහෝ ! එය ඩලස්ගේ තවත් එක බයිලාවක් පමණි. එවැනි බයිලා කතාද තවත් විවධ යෝජනා ආදියද විටින් විට ඉදිරියට දමමින් ජනතාවගේ මෙම ක්‍රමයට තිබෙන විරෝධයෙන් දේශපාලන වාසි ලබාගන්නට මහින්ද ආණ්ඩුව උත්සාහ කලද ඔවුන්ගේ නියම දේශපාලන භාවිතාව පෙන්වා දී ඇත්තේ මනාප ක්‍රමය කිසිවිටකින් වෙනස් කරන්නට ඔවුන් ක්‍රියා නොකරන බව පමණක් නොව එය වඩා ශක්තිමත් කර පවත්වාගෙන යන්නට ඔවුන් වැඩ කරනා බවයි .
    ඒ සඳහා එක උදාහරණයක් වන්නේ මනාප ක්‍රමය පළාත් පාලන මට්ටමින් ඉවත් කරන්නට මීට වසරකට පෙර ගෙන ආ යෝජනාවට අත් වූ ඉරණමයි.
    මනාප ක්‍රමය වෙනුවට පැරණි ගම්සභා වසම් ක්‍රමයට සමාන ක්‍රමයකින් ප්‍රාදේශීය සභා , නගර සභා මහා නගර සභා ආදියට නියෝජිතයන තෝරාගැනීමේ ක්‍රමයක් ආණ්ඩුවටම සම්බන්ධ පිරිසකගේ මැදිහත් වීමෙන් සකස්කරනු ලැබිණි. එය පනත් කෙටුම් පතක් දක්වාත් දුර ගමනක් ගිය එකක් විය. අවසානයේදී ජනාධිපති මහින්ද පුද්ගලිකවම මැදිහත් වී එය ක්‍රියාත්මක කිරීම ඊ ළඟ මැතිවරණය දක්වා කල් දැමීමට වැඩ කටයුතු සිදු කළේය .සන්ධාන ආණ්ඩුවට සම්බන්ධ සියලුම දූෂිත ප්‍රාදේශීය සභා සභාපතිවරු නගරාධිපතිවරු එකට එකතු වී ජනාධිපති මහින්දගෙන් ඉල්ලා සිටියේ යෝජිත ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් වලකින ලෙසයි .
    වසම් ක්‍රමය ක්‍රියාත්මක වුනා නම් මේ බොහොම දෙනෙකුට තමන්ගේ කොට්ටාශ දිනා ගන්නට නොහැකිව පරාද වන බව ඔවුහු හොදාකාරවම දැන සිටයහ.දුෂිතයාට කුඩා වසමක් දිනාගැනීමට අපහසුය. එහෙත් කුඩා වසම් ගනනාවකින් චන්ද ස්වල්පය බැගින් ගෙන විශාල කොට්ටාශයක් මුදල් හා මැර බලය යොදවා දිනාගත හැකි බව ඔවුන්ගේ බලයට කෑදර මොළ ගෙඩි වලට හොඳින් වැටහී තිබිණි. ජනාදිපති මහින්ද රාජපක්ෂ කලේ දේශපාලන සංස්කෘතිය රැක ගැනීම බල්ලට දමමින් තමන්ගේ හෙන්චියයන් ගේ වුවමනාවට මුල් තැන දෙමින් මනාප ක්‍රමය රැක ගැනීමය.


    මේ තත්වය ඊ ළඟ මහා මැතිවරණය වන විට වෙනස් වනු ඇතය් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකිය.
    දූෂිත ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඉල්ලා සිටියා සේම
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් ඇතුළු බොහෝ දෙනෙක් ජනාධිපති මහින්දට කියා සිටිනු ඇත්තේ
    මන්නප ක්‍රමය හදිසියේ වෙනස් නොකරන ලෙසය.
    මනාප ක්‍රමය වෙනස් කිරීම පක්ෂයේ මහා මැතිවරණ ජයග්‍රහනයට හානිකර ලෙස බලපාන බවය.
    උදාහරණයක් ලෙස මර්වින් සිල්වාට ආසනයක් ලෙස කැලණිය දිනාගත නොහැකිය
    . එහෙත් සිය මැර බලය යොදවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමීන්තුවට යාමට අවශ්‍ය චන්ද ප්‍රමානයක් එකතු කර ගත හැකිය.
    දුමින්ද සිල්වාට ආසනයක් ලෙස කොලොන්නාව දිනාගත නොහැකි උනත් තම ලුම්පන් ශක්තිය යොදමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් චන්ද එකතු කර ගත හැකිය.
    මුළු ලංකාව පුරාම දිස්ත්‍රික්ක වල මහින්දගේ දේශපාලන හිතවතුන් වී තිබෙන්නේ ඉතා කී දෙදෙනා වැනි උදවියය. ඒ අනුව දේශපාලන සංස්කෘතිය රැකගැනීම බල්ලට දමමින් ජනාධිපති මහින්ද ගනු ඇත්තේ අර දුෂිත දිස්ත්‍රික් නායකයන්ගේ පැත්තය. ඔහු මනාප ක්‍රමය වෙනස් කිරීම අඩුම තරමින් වර්ෂ 2022 දක්වා වත් කල්දමනු ඇත. . භාරත ලක්ෂ්මන් ලා තව කොපමණ මිය ගියත් ඔවුන්ට ගණනක් නැත .
    මනාප ක්‍රමය වෙනස් නොකෙරීමේ ලකුණු දැනටමත් පහල වී ඇත.
    මේ වන විට නව මැතිවරණ ක්‍රමයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් සකසා ඇත.
    එයට පක්ෂ වැඩි ගණනක සහයද පල වී තිබේ.
    ආණ්ඩුව එය නීතියක් ලෙස සම්මත නොකරන්නේ ඇයි?තුනෙන් දෙකේ ප්‍රශ්නයක් දැන් ආණ්ඩුවට නැත.
    ජනාධිපති ධුරයට තරඟ කල හැකි වාර ගණන වැඩි කර ගැනීමට ව්‍යවස්ථා සංසෝධනයක් ගෙන ඒමට මහින්ද පෙන්වූ හදිසිය මනාප ක්‍රමය වෙනස් කිරීමේ ව්‍යවස්ථා සංසෝධනයට දක්වන්නේ නැත්තේ ඇයි ?
    ඊ ළග මහා මැතිවරණයට මනාප ක්‍රමය වෙනස් කරන්නේ නම් මේ වන විට පනත සම්මත කර තිබිය යුතුය. මන්ද නව පනතට අනුව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට වැඩ ගොඩක් කල යුතුව ඇති බැවිනි . මැතිවරණ කොට්ටාශ යලි සීමා නීර්ණය කිරීම ,නව මැතිවරණ නීතිය පිලිබදව ජනතාව දැනුවත් කිරීම ආදිය ඒ අතර ප්‍රධානය.
    මැතිවරණය කට ළඟ තබා ගෙන මැතිවරණ නීති වෙනස් කල නොහැකිය . මෙයින් පෙනෙන්නේ මනාප ක්‍රමය වෙනස් කිරීමට මහින්ද ආණ්ඩුව කිසිසේත් සූදානම් නැති බවය. මහජනතාවගේ එයට තිබෙන විරෝධයෙන් දේශපාලන වැසි ගැනීමට පමණක් '' අපි එය වෙනස් කරනවා , වෙනස් කරනවා ' යයි කියමින් ආණ්ඩුව සුපුරුදු බයිලාව ගයනු ඇත.
    එහෙයින් ඊළඟ පළාත් සභා සහ මහා මැතිවරණ වලට අදාලවම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සටන් කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කල යුතු වටිනා ක්‍රියාවකි.