පොලිස් භටයන් 600 ක් මැරූ තිරුක්කෝවිල ඝාතන භූමිය 30 වසරකට පසු සොයා ගනියි...
මෙයට 30 වසරකට පෙර අතිබිහිසුණු මිනිස් ඝාතනයක් සිදු විය. මේ අමානුෂික සමූල ඝාතනය දේශපාලකයන්ට මෙන්ම බොහෝ පාර්ශව වලට අමතක වී ඇත. අද අපි හෙළි කරන්නේ එම සිද්ධියයි. 1990 ජුනි 11 වැනිදා ලංකා පොලිස් ඉතිහාසයේ විශාලතම පාවාදීම සිදුවිය. ඒ නැගෙනහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන්ට සහ භටයන්ට කොටි ත්රස්තවාදීන් හමුවේ යටත්වන ලෙස එවකට පොලිස්පතිව සිටි අර්නස්ට් පෙරේරා නියෝග කිරීමයි. මේ නියෝගය ලැබුණේ එදා ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස ගෙනි.
මේ රාජද්‍රෝහී නියෝගය නිසා කල්මුනෙයි, කලවංචිකුඩි, සමන්තුරේ පොතුවිල් ඇතුළු පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරීනට අවි බිම තබා කොටි ත්රස්තයන් හමුවේ යටත් වීමට සිදු විය.
එහි ප්‍රතිඵලය වූයේ පොලිස් නිලධාරීන් 600 කට අධික පිරිසක් ම්ලේච්ඡ ලෙස ඝාතනය වීමයි. මේ ඝාතනය සිදුවන විට ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සාම සාකච්ඡා පැවැත්වුණි. එම සාම සාකච්ඡාවලට කොටි න්‍යයාචාර්ය ඇන්ටන් බාලසිංහම් හෙවත් ස්ටැනිස්ලාවුස්, කොටි හමුදා නායකයකු වූ යෝගරත්නම් යෝගි සහ සන්නිවේදන විශේෂඥයකු වූ ජූඩ් ඇතුළු පිරිසක් ද කොළඹ ගලධාරි හෝටලයේ අංක 429 සහ 430 කාමරවල ලැඟුම් ගෙන සිටියහ.
1990 ජූලි මුල් police සතියේදී මේ සාකච්ඡාවල අරමුණ කුමක් දැයි නිරීක්ෂණය කිරීමට අපි ඇන්ටන් බාලසිංහම් හමුවීමට ගලධාරි හෝටලයට ගියෙමු. කොළඹ වීරකේසරී පුවත්පතේ සේවය කළ ඇන්ටන් බාලසිංහම්ගේ කාමරයට යන විට ඔහු ටීචර්ස් විස්කි පානය කරමින් ස්ටේට් එක්ස්ප්‍රස් සිගරැට්ටුවක් අතේ තබා ගෙන සිටින අයුරු දැක ගැනීමට හැකි විය. එසේම කාමරය පැත්තක ගොඩ ගසා තිබුණේ පෙට්ටි රැසකි. මේ කාඩ්බෝඩ් පෙට්ටි කුමක් දැයි අපට පසුව හෙළි විය. බාලසිංහම් සමඟ කළ සාකච්ඡාවේදී තහවුරු වූයේ කොටි සංවිධානය බොරු කරන බවයි.
මේ අතර 1990 ජුනි 11 වැනිදා පෙරවරු 8.05 ට පමණ කොටි ත්රස්තයන් මඩකලපුව පොලිස් ස්ථානය වටලනු ලැබීය. දැඩි ලෙස සන්නද්ධ කොටි 200 කට අධික සංඛ්‍යාවක් පොලිසිය වැටලීමට පෙර සිංහල පොලිස් නිලධාරීන් රැසක් සහ ඔවුන්ගේ පවුල්වල අයව ගුවන්තොටුපළ වෙත ට යවා තිබිණි. පොලිසියට කඩා වැදුණු කොටි වැඩබලන පොලිස් ස්ථානාධිපති සහ එහි සිටි පොලිස් භටයන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත්හ.
එසේම පොලිස් සේප්පුවේ තිබූ රු. මිලියන 45 ක් ද, රන් ආභරණ ද ටී 56 අවි 109 ක් ද, ටී 84 අවි 77 ක් ද, සැහැල්ලු මැෂින් තුවක්කු 29ක් ද උණ්ඩ පුරවා වෙඩි තබන අවි 29ක් ද, සබ් මැෂින් තුවක්කු අවි 65 ක්ද, 303 වර්ගයේ අවි 28 ක්ද, එස්. ඒ. ආර්. අවි 78 ක් ද, පැහැරගත් කොටි දවල් 2.30ට පෙර නැගෙනහිර සියලුම පොලිස් ස්ථානවලින් නොගියහොත් ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බව නිවේදනය කළහ. මේ පසුබිම මැද පොලිස් නිලධාරීන්ට යටත් වන ලෙස පොලිස්පති අර්නස්ට් පෙරේරා නියෝග කළේය. එහෙත් එවකට කල්මුණේ පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කළ අයිවන් බොතේජු පොලිස්පතිගේ නිවේදනය ප්‍රතික්ෂේප කරමින් පොලිසිය යටත් වුවහොත් ඝාතනය වනු ඇතැයි ඔහු කියා සිටියේය. නැගෙනහිර පොලිස් ස්ථානය බේරා ගැනීමට ගුවන් සහය සහ කාලතුවක්කු සහය ලබා දෙන ලෙස ඔහු ඉල්ලීමක් කළත් කොළඹ ආරක්ෂක මූලස්ථානය සහ ආරක්ෂක ප්‍රධානීන් එම ඉල්ලීම ඉටු කළේ නැත.
අයිවන් බොතේජුගේ මෙම ඉල්ලීම බීරිඅලීන්ට වීණා ගායනයක් විය. තමා කොටින්ට එරෙහිව සටන් කරන බව ඔහු පැවසූ අතර පොලිස්පතිවරයා කීවේ වෙඩි තැබීම් නතර කර යටත් වන ලෙසයි. මේ අවස්ථාවේ විදේශ ඇමැති වූයේ ඒ. සී. එස්. හමීඩ් ය. ඔහු ඇන්ටන් බාලසිංහම් ඇමතූ විට පැවසුවේ බයවෙන්න දෙයක් නැහැ සියලුම පොලිස් භටයන් සතියකින් නිදහස් කරයි යනුවෙනි. එහෙත් ඒ වනවිට ප්රභාකරන් පොලිස් භටයන්ගේ ඉරණම තීන්දු කර තිබිණි. දැත් බැඳ තිරුක්කෝවිල් මහ වනයට ගෙන යනු ලැබූ පොලිස් භටයන් පේළි ගස්වා මැෂින් තුවක්කු ප්‍රහාර එල්ල කර මරා දැමීමට කොටි ක්‍රියා කළහ. මෙය පොලිස් ඉතිහාසයේ ඛේදනීය දිනයයි. මේ ඝාතනය සිදුවීමට පෙර ජුනි 11 වැනිදා රාත්‍රි 7 ට පමණ කොටි කලවංචිකුඩි පොලිසිය වට කර තිබුණි.
කොළඹ බම්බලපිටියෙ පොලිසියේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු ද කලවංචිකුඩි පොලිසියේ විය. ඔහු රාත්‍රියේ 7.05 ට පමණ මා අමතමින් පැවසුවේ කොටි පොලිසිය වටලා ඇති බවත්, ඔහුගේ කටහඬ ඉතා දුක්බර බව අපිට වැටහුණි. අපව කෙසේ හෝ බේරා ගන්නා ලෙස ඉහළ බලධාරීන්ට දන්වන ලෙස ද ඔහු ආයාචනා කළේය. ඒ සමඟම දුරකථන සම්බන්ධතා නතර විය. කලවංචිකුඩි පොලිසියට කඩා වැදී කොටි පොලිස් පණිවුඩ හුවමාරුවට වෙඩි තබා විනාශ කරනු ලැබීය.
මෙලෙස එදා රජය නැගෙනහිර පොලිස් නිලධාරීන් කොටි ත්රස්තයන්ට බිල්ලට දුන්නේය. මේ පොලිස් භටයන් 600 සමූල ඝාතනය කිරීමේ සිද්ධියෙන් සතියකට පසු සංගමන්කන්ද විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු වූ ජනෙත් විමල ප්රමුඛ භට පිරිසක් නැගෙනහිර පිහිටි රූපස්කුලම් වනයට පිවිසියහ. එහිදී ඔවුන්ට දැක ගැනීමට හැකි වූයේ බිහිසුණු දර්ශනයකි. ඒ විශාල වළකින් උඩට මතුවී තිබූ මළ සිරුරු කීපයකි. එම මළසිරුරු ඉදිමී වළෙන් මතුවී තිබිණි. මේ වළේ ඇත්තේ පැහැර ගොස් ඝාතනය කරනු ලැබූ පොලිස් භටයන්ගේ මළ සිරුරු බව ජනෙත් විමල ඇතුළු භටයන්ට තහවුරු විය. අපි කිසි මෙහෙයුමකදී භටයන් මියගියාට හැඬුවේ නැහැ. එහෙත් මේ උඩට මතුවී තිබූ සිරුරු දුටු අපට හැඬුණා.
මේ සිරුරු ගැන අපි විශේෂ කාර්ය බළකායේ ඉහළ නිලධාරියෙකුට දැන්වූ විට ඔහු විගස කඳවුරු වෙතට එන ලෙස නියෝග කළා. මළ සිරුරු අසල වැටී තිබූ දැවී නොගිය හැඳුනුම්පතක් මා දුටුවා. එය උප පොලිස් පරීක්ෂක ගමගේට අයත් වූවක් යෑයි ජනෙත් විමල ඇඟ ලොමුදැහැගැන්වෙන එම බිහිසුණු දර්ශන හෙළි කරමින් කියා සිටියේය. අපි පසුව විශේෂ කාර්ය බළකා කඳවුරට පැමිණ මෙම මළ සිරුර ගැන උසස් නිලධාරීන්ට දැනුම් දුන්නා. එහෙත් මළ සිරුරු හාරා ගෙන ඒමට පියවරක් ගත්තේ නැහැ. දින කීපයකට පසු අපට තොරතුරක් ලැබුණා. අම්පාර ප්‍රදේශයේ සිට බැකෝ යන්ත්‍රයක් ගෙන්වා සමූහ මිනීවල වසා තැබීමට පියවර ගෙන තිබුණා" යෑයි හෙතෙම වැඩිදුරටත් පළ කළේය. ජනෙත් විමලගේ මේ ප්‍රකාශයෙන් හෙළි වූයේ එදා රජය කොටි ඝාතනය කළ පොලිස් භටයන්ගේ සිරුරු කොටස් ගොඩ ගෙන ඔවුන්ගේ ඥතීන්ට භාරදීමට ක්‍රියා නොකිරීමයි. ඒ සමයේ ජනාධිපති වූයේ ආර්. ප්‍රේමදාසය රූපස්කුලම කැලෑවේ තිබී පොලිස් භටයන්ගේ සිරුරු අපේ කණ්ඩායම සොයාගත් බව විශේෂ කාර්ය බළකාය කිසිවකු කිසිම දේශපාලකයකුට හෙළි කළේ නැති බවත්, එදා පැවැති අයහපත් වාතාවරණය නිසා එම සිද්ධිය හෙළිදරව් කිරීම අපේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවත් ජනෙත් විමල වැඩිදුරටත් සඳහන් කළේය. මෙලෙස කොටි ත්රස්තයන් විසින් පොලිස් භටයන් 600 ක් ඝාතනය කළ අවස්ථාවේ සාම සාකච්ඡා සඳහා පැමිණි කොටි ක්‍රියාකාරීන් කීපදෙනෙක් ගලධාරී හෝටලයේ ලැඟුම් ගෙන සිටියේය. ඔවුන් අතර ජූඩ් කොටි සන්නිවේදන විශේෂඥයකු ද විය. විශේෂ කාර්ය බළකායේ දැඩි රැකවරණ මැද කළුතර හමුදා කඳවුරට ගෙන ගිය එම කොටි කණ්ඩායමට රත්මලාන ගුවන් තොටුපළෙන් පලාලි බලා යැමට පහසුකම් සලසනු ලැබීය.
source: FB

