"කාමර පහසුකම් ඇත." දෙමහල් ගොඩනැඟිල්ල ඉදිරිපිට පුංචි බෝඩ් කෑල්ලකි. පැත්තකින් තිබූ දොරටුවකින් අපි ඇතුළට ගියෙමු.
එහි සිටි මැදිවියේ පුද්ගලයා අපගේ දෙපතුළේ සිට ඉස් මුදුනට යන තෙක් හොඳින් නිරීක්‍ෂණය කර "අද නම් ඉන්නෙ දෙන්නයි" කියා කීවේය.
ඒ අයව අපට පෙන්වනවද?
චන්දන අයියා කෙටි නිහඬතාව බිඳිමින් කීවේය.
එහෙම පෙන්වන්න බැහැ. ගෙනිහිල්ලා බලන්න. මේ දෙන්නා මුස්‌ලිම් කෙල්ලෝ දෙන්නෙක්. ඒ අයගේ මුහුණු කොණ්‌ඩැක්‌කියකින් වසාගෙනයි ඉන්නෙ. රුපියල් දාහයි. එළියේ කාමරයට ගෙනියන්න."
එහි සැපයුම්කරු වන මැදිවියේ පුද්ගලයා ඒ කාන්තාවන් හඳුන්වා දුන්නේ එසේය.
"කොහේ හරි කාමරයකට ගියාම ඔය කොණ්‌ඩැක්‌කි විතරක් නොවේ කබායත් ගලවන්න ඕනෑ නේ. ඉතින් පොඩ්ඩක් ඔය රෙද්ද උස්‌සලා මුහුණ පෙන්වන්න කියන්න."
කිසිවක් කතා නොකර සිටි මගේ මිත්‍රයාගේ හඬ අවදි විය.
මුහුණු පෙන්වීමට ඔවුහු අකමැති වූහ. එතැනින් පිටවීමට එය කරුණක් කරගෙන අපි නැවත කොටුව දෙසට ගමන් කළෙමු.
දෑසින් දුටු මෙන්ම කතා කළ කාන්තාවන් ගණිකාවන් බවට පත් වී ඇත්තේ කවර හේතුවක් නිසාදැයි කියා අපි නොදනිමු. එහෙත් උපන් දුකත් වේදනාවත් ඔවුන්ගේ සිත තුළ දලු ලා වැඩෙන බව නම් අපි සිතමු. අපිට සිතෙන හැටියට නම් ඔවුන් මේ නිරා දුකින් අත් මුදාගත හැක්‌කේ නීතිය රීතිය හරි හැටි ක්‍රියාත්මක වෙන පසුබිමකදී පමණි. එහෙත් පොලිසියේ උකුසු ඇස නොගැටීම ගණිකා මඩම් ක්‍රියාත්මක වෙද්දී ඔවුන් මේ නිරා වළෙන් මුදා ගන්නේ කෙසේද?