බරපතල අපරාධයක් වන නවක වධයට තිත

Jul 5, 2012
1,773
265
0
බරපතල අපරාධයක් වන නවක වධයට තිත

බරපතල අපරාධයක් වන නවක වධයට තිත තැබීමට නම්.., -නීතිඥ විග්‍රහයක්


නවක වධය දේශපාලන අරමුණු සඳහා යොදාගන්නා එකම රට ශ්‍රී ලංකාව බව මගේ විශ්වාසයයි. පෙර මෙන්ම අදත් බංකොලොත් දේශපාලන පක්ෂයක් තම ජීවය රැකගැනීමට යොදාගන්නා ‘තුච්ඡ’ අවිය නවක වධය වේ. දශක ගණනාවක් පුරා ඔඬු දුවා ඇති මෙම පිළිකාව ගොඩ වෙදකමකින් සුවකළ නොහැක. රටේ අපරාධ නීතිය කඩ කරන, සිරගත විය යුතු අපරාධකරුවන් සුරතල් කරමින් මෙම ගැටලුව විසඳිය නොහැක. පරිපාලනයත්, නීතියේ පිලිසරනත් අහිමි වන නවකයාට වෙන කළ හැකි දෙයක් ඇත්තේද නැත. වධකයන්ගේ අනේක විධ ගැහැට විඳීමටද, ඔවුන්ගේ විකෘති ආශා සන්සිඳවීමේ ගොදුරු වීමට නවකයාට සිදුවේ. ඊට අමතරව බංකොලොත් දේශපාලන පක්ෂ වල රැලි වලට සහභාගී වීමට ද, ඔවුන් වෙනුවෙන් කැට සෙලවීමටද සිදුවේ. අවසානයේ බිහිවන්නේ කිසිවක් තනිවම කළ නොහැකි, මොට, හීන මානයෙන් යුතු උපාධි ධාරියෙකි.
වධකයාට නිසි දඬුවම් නොදීම තුලින් නවක වධය තවත් වර්ධනය වේ. පන්ති තහනමට ලක්වුවද, අත්අඩංගුවට පත්වුවද ‘පාරට බැස’ එම දඬුවම් අවලංගු කර ගත හැකි බව දන්නා වධකයෝ රිසි සේ නවකයන්ට වධ දෙති. නවක වධය නිසා මේ වනවිට මිනීමැරුම්, ලිංගික අපරාධ, විශ්ව විද්‍යාල හැර යාම් කොතකුත් සිදු වී ඇත. බලයට පත්වන කිසිදු ආණ්ඩුවක් මේ සඳහා කාර්යක්ෂම ඵලදායී ක්‍රියා මාර්ගයක් නොගන්නේ මන්ද ? රටේ ජනතාවගේ 5% වත් ඡන්ද නැති, බංකොලොත් දේශපාලන පක්ෂයකට මෙතරම් බිය වන්නේ මන්ද ?. එසේත් නැතිනම් ‘හිඟන්නාගේ තුවාලය’ මෙන්, අනෙකුත් ගැටළු වසා දැමීම සඳහා නවක වධයේ පැවැත්ම අවශ්‍යද ?
මෙවර නවක වධ ප්‍රශ්නය කරලියට පැමිණියේ කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවියකට කලිසම් නොඅඳින ලෙස බල කරමින් වධයට පත් කිරීමේ සිද්ධියත් සමගිනි. සාමාන්‍යයෙන් මෙබඳු සිද්ධීන් කොතරම් සිදු වුවද නවකයෝ ඒවා ගැන පැමිණිලි කිරීමට බියවෙති. පැමිණිලි කළද පසුව වධකයන් ගේ බලපෑම් හමුවේ පැමිණිලි ඉල්ලා අස්කර ගනිති. වධකයන් ජයගනිති. ’අපි තමයි කෙරුමෝ’, ‘ඕනෙ තරම් රැග් කරපල්ලා.. මොකාද හිරේ ගියේ ?’ ලෙස වධකයෝ පාරම් බාති. නවකයන් අන්ත අසරණ වෙති. සමහරු මරා දැමෙති, සමහරු සිය දිවි නසා ගනිති, සමහරු සදාකාලික කායික / මානසික ලෙඩුන් වෙති, විශ්ව විද්‍යාලය හැරයති. බංකොලොත් දේශපාලන පක්ෂයක් තවත් වසරකට තම පැවැත්ම තහවුරු කරගනිති. රැලිවලට සහභාගි වීමට, කදුළු ගෑස් කෑමට, ගුටි කෑමට, කැට සෙලවීමට අතකොලු සිසුන් පිරිසක් හදා ගනිති. මේ විනාශ වන්නේ ලංකාවේ අනාගතයයි, අනාගත පරපුරයි. නවක වධය නැවතත් කරලියට එන්නේ ඊලඟ වසරේ නවක ශිෂ්‍යයන් විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමත් සමගිනි.
මෙලෙස ‘තොඳොල්’ ප්‍රතිපත්තියක් තුලින් නවක වධය තුරන් කළ නොහැක. වෙනත් අපරාධවලට දඬුවම් ලබා දෙන්නා සේ නවක වධකයන්ට ද රටේ අපරාධ නීතිය යටතේ දඬුවම් කළ යුතුමය. 1998 අංක 20 දරන පනත (Act, No. 20 of 1998: Prohibition Of Ragging And Other Forms Of Violence In Educational Institutions) යටතේ ලිංගික හිංසනයක් (sexual harassment) ආකාරයේ නවක වධ සිද්ධියකදී මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගත නොහැකි අතර, ඇප ඉල්ලුම් කළ යුත්තේ ද මහාධිකරණයට ය. තමන් උගත්යැයි, අන් අය ‘8 පාස් නැතැයි’ පාරම්බාන වධකයන් කළ යුත්තේ මහාධිකරණයෙන් ඇප ඉල්ලීම විනා අධිකරණ නියෝග කඩ කරමින් බොරුවට උද්ඝෝෂණ රැලි පැවැත්වීම නොවේ.
විශ්ව විද්‍යාල සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ මහජන මුදලිනි. ඔබත් අපත් ගෙවනා බදු මුදලිනි. අපගේ බදු මුදලින් අපරාධ කරුවන් සුළු පිරිසකට රටේ අධ්‍යාපනය විනාශ කරන්නන්ට ඉඩ නොදිය යුතුය. පුරවැසියන් ලෙස නවක වධයට විරුද්ධ වීම, එය තුරන් කිරීමට රජයට බලපෑම් කිරීම, බදුගෙවන ජනතාව ලෙස අපගේ යුතුකමක්, අයිතිවාසිකමක් මෙන්ම බරපතල වගකීමකි.
නවක වධය සත්‍ය ලෙසම නවතා දැමීමට රජයට අවශ්‍යයතාවයක් ඇත්නම් පහත කරුණු සලකා බැලිය හැක.

1 - අනෙකුත් අපරාධ වලදී මෙන් නවක වධ අපරාධවලදීද කාර්යක්ෂම නඩු විභාගයකින් පසු නිසි දඬුවම ලබා දීම: උසාවියේදී හෝ ඉන් පරිබාහිරව නවක වධ සිද්ධීන් සමථයකට පත් නොකළ යුතුය. එසේ කළහොත් අනිවාර්යයෙන්ම වධකයන් විශ්ව විද්‍යාලය තුල තමන් සතුව ඇති බලය මගින් තම අපරාධ වැරදි යට ගසා ගැනීමට හැකියාව ලබති. නවක වධය සම්බන්ධ සියලු පැමිණිලි විභාග කළ යුතු අතර, සාක්ෂි ඇති නම් නඩු පවරා දඬුවම් දිය යුතුමය. පැමිණිලි පාර්ශවයේ ආරක්ෂාව තහවුරු කළ යුතුය.
2 - ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ ගරු අධිකරණයේ පවත්නා නඩු කටයුතු වලට බලපෑම් කිරීමට කිසිවෙකුටත් නොහැක. එය ගරු අධිකරණයට අපහාස කිරීමකි. සිර දඬුවම් ලැබිය හැකි වරදකි. පසුගිය කාලය පුරාම කැලණිය විශ්ව විද්‍යාලයේ සිද්ධිය සම්බන්ධයේදී මෙන්ම අත්අඩංගුවට පත් වූවන් නිදහස් කරන ලෙස ශිෂ්‍ය කණ්ඩායමක් බලපෑම් කරති. එසේ නොකරන්නේ නම් ඔවුන් දැඩි ක්‍රියා මාර්ග ගන්නවා යැයි තර්ජනය කරති ( මේ සම්බන්ධයෙන් ලිපියක් මීට පෙර ලංකා ඒ නිවුස්හි පල විය). මෙය අධිකරණයට අපහාස කිරීමක් / අධිකරණ නියෝග කඩකිරීමක් සේ සලකා ඔවුනට දඬුවම් කළ යුතුය. අධිකරණය හෑල්ලු කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුය.
3- සිර දඬුවම් / වෙනත් දඬුවම් වලට අමතරව නවක වධයට සම්බන්ධ වූවනට/ වරදකරුවන් වූ අයට කිසිදු හේතුවක් මත රජයේ රැකියා ලබා නොදිය යුතුය.

3 - නවක වධයට සම්බන්ධ වූවනට/ වරදකරුවන් වූ අයට කිසිදු හේතුවක් මත දේශීය/විදේශීය ශිෂ්‍යත්ව (උදා: මහපොළ ) ආදිය ලබා නොදිය යුතුය. දැනටමත් ලබාදී ඇත්නම් ඒවා අවලංගු කළ යුතුය.

4- නවක වධය සඳහා වධකයන් මුල පුරන්නේ ‘නවකයන් පිළිගැනීම’ සඳහා උත්සව සංවිධානය මගිනි. මෙතුලින් තම කටයුතුවලට යම් නීත්‍යානුකූල බවක් ආරෝපනය කරගැනීමට ඔවුනට හැකිය. නවක වධය සම්පුර්ණයෙන්ම විශ්වවිද්‍යාල වලින් තුරන් කරන තෙක් නවකයන් පිළිගැනීම ආදී කටයුතුවලින් ජ්‍යෙෂ්ඨ සිසුන් ඉවත්කළ යුතුය (ඉදිරි වසර 2-3 සඳහා). නවක සිසුන්ට විශ්ව විද්‍යාලය හුරු කිරීම, අවශ්‍ය ස්ථාන පෙන්වාදීම වැනි කටයුතු ආචාර්ය මණ්ඩල මගින් සිදුකිරීම (ඇතැම් විදේශ විශ්ව විද්‍යාල වල මෙය සිදුවේ). නවක වධ මානසික තත්වයෙන් සම්පූර්ණයෙන් මිදුණු විශ්ව විද්‍යාල ඇතිවූ කල්හි යලි නවකයන් පිළිගැනීමට ජ්‍යෙෂ්ඨයන් යොමුකළ හැක.
5- විශ්ව විද්‍යාල තුල CCTV කැමරා සවිකිරීම, අවශ්‍යනම් මුල් අදියරේදී පොලිස් ආරක්ෂාව යෙදවීම.

6- නවක වධය ම්ලේච්ඡතම ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නේවාසිකාගාර තුලය. ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ සිසුන් එකම නේවාසිකාගාර තුල නවාතැන් ගැනීම නිසා පසුවෙන්ම නවකයන් වධකයන්ගේ ග්‍රහණයට ලක්වන අතර නේවාසිකාගාරවල නොසිටින, නවක වධයට විරුද්ධවන සිසු සිසුවියන්ට බලපෑම් කරන්නේ මෙම නේවාසිකාගාර තුල දී සුවච කීකරු කරගන්නා නවක සිසුන් හරහාය. විශේෂයෙන් වධකයන් පන්ති තහනමට / අත්අඩංගුවට ලක්වූ විට ප්‍රථම වසර සිසුන් යොදා පරිපාලනයට බලපෑම් කිරීමට වධකයන්ට හැකිවන්නේ මේ හරහාය. ඇතැම් අවස්ථා වලදී විශ්ව විද්‍යාලයට කොතරම් සමීපව පදිංචි වී සිටියත් නවකයන්ට නේවාසිකාගාර වලට ඇතුළු වන ලෙස වධකයන් බල කරන්නේ මේ නිසාය.

නේවාසිකාගාර තුල නවක වධය වලක්වාගත හැකිනම්, නේවාසිකාගාර තුල නවකයන් වධකයන්ගේ කීකරු අතකොලු බවට පත්වීම වලක්වාගත හැකිනම් විශ්ව විද්‍යාලය තුල නවක වධය වැලැක්වීම තරමක් පහසුවනු ඇත. මූලික වශයෙන්ම නවකයන් සහ ජ්‍යෙෂ්ඨයන් එකම නේවාසිකාගාර වලට යොමු නොකළ යුතුය. යම් කාලසීමාවක් සඳහා නවකයන්ගේ නෙවාසිකාගාරවලට ජ්‍යෙෂ්ඨයන් ඇතුළුවීම වැළක්විය යුතුය.
1998 අංක 20 දරන පනත යටතේ පවතින ප්‍රයෝගික ගැටළු කිහිපයක්;
1- මගේ මතය අනුව නවක වධය සමබන්ධ අපරාධ විභාගයේ පවතින ප්‍රධානතම දුෂ්කරතාවය නම් සාක්ෂි පිළිබඳ වන ගැටලුවයි. විශ්ව විද්‍යාල තුල ප්‍රසිද්ධියේ නවක වධය සිදු කළද සාක්ෂි ලබාදීමට කිසිවකු ඉදිරිපත් නොවේ. ඊට හේතු වන්නේ සාක්ෂි ලබාදී වධකයන් ගෙන් බේරීමට නොහැකි වීමයි. වධකයන් උද්ඝෝෂණ, බලපෑම් කිරීම් හරහා දඬුවමින් ගැලවෙන අතර, සාක්ෂි ලබාදුන් අය අසරණ වේ. මගේ මතය වන්නේ, පනත යටතේ සැකකරුවනට නඩුව අවසන් වනතුරු ඇප ලබා නොදිය යුතු බවයි. එසේත් නැතිනම් ඇප ලබා නොදීම රීතිය විය යුතු අතර ඇප ලබාදීම ව්‍යතිරේකය විය යුතුය. තවද CCTV කැමරා පද්ධතීන් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සවි කළ යුතු අතර එ්වා මගින් ලැබෙන රූප රාමු සාක්ෂි ලෙස ලබා ගත යුතුය.

2- මිනීමැරුම්, මංකොල්ල කෑම්, මෙන්ම නවක වධයද බරපතල අපරාධයක් වුවත් එම අපරාධය සිදුවන ස්වරූපය වෙනස්ය. සිදුවන්නේ නිශ්චිත ප්‍රදේශයකය. එම ප්‍රදේශය සාමාන්‍ය ජනයා නොගැවසෙන ප්‍රදේශයකි. වින්දිතයන් දිගු කාලයක් පුරා අපරාධකරුවන් සමග විසිය යුතුය. එනිසාම සාමාන්‍යය තත්ත්ව යටතේ මෙන් පුද්ගලයන් සාක්ෂි දීමට, අපරාධකරුවන්ට විරුද්ධව කතා කිරීමට පසුබට වෙති. විශේෂයෙන්ම නවක වධය හා බැඳුනු ලිංගික අපරාධ වලදී ඒ බව අනෙක් අය දැන ගැනීම ගැන වින්දිතයෝ බියවෙති. දැනට පවතින බිහිසුනු නවක වධය සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ අපරාධ විමර්ශන ආයතනයක් අවශ්‍ය වේ. ලිංගික අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි ලබාගැනීමට පුහුණු නිලධාරීන් / නිලධාරීනියන් අවශ්‍යය. සම්ප්‍රදායික ක්‍රමයෙන් පරිබාහිරව (වින්දිතයා සියලු සාක්ෂි ගෙණෙන තුරු බලා නොසිට) සාක්ෂි සොයමින් කාර්යක්ෂම, කඩිනම් ආකාරයෙන් චුදිතයන් අධිකරණය හමුවට ගෙන ආ යුතුය.
3 - කඩිනම් නඩු විභාගයන්: නවක වධ චෝදනා සම්බන්ධයෙන් කඩිනම් නඩු විභාග පවත්වා දඬුවම් දීම මගින් වඩා ඵලදායි ආදර්ශයක් සමාජයට ලබාදේ. වසර ගණනකට පසුව ලැබෙන තීන්දුවකට වඩා ඵලදායකය. නවක වධය දීමට බලාපොරොතු වන්නන්ට මනා ආදර්ශයකි.
නවක වධය පවතින්නේ දඬුවම් නොලබා ඉන් පලා යා හැකි බව වධකයන් දන්නා තුරාවට ය. දඬුවමක් නොලැබන බව අපරාධකරුවා විශ්වාස කරයි. දඬුවම් දිය නොහැකි බව වින්දිතයා විශ්වාස කරයි. ලංකාවේ දැනට නවක වධය මහ දවාලේ ප්‍රසිද්ධියේ සිදුවන අපරාධයක් බවට පත්ව ඇත්තේ මේ නිසාය. නිසියාකාරව කිහිප දෙනෙකු දඬුවම් ලැබුවහොත් නවකයින් නවක වධ සිද්ධීන් පැමිණිලි කිරීමට මැලි නොවෙති. අනෙක් අතට දඬුවම් ලැබෙන බව දන්නා වධකයෝ බියවෙති.
මේ හා සමග බැඳුනු ජනතාව සහ සිසු සිසුවියන් දැනුවත් කරන මෙන්ම නවක වධය යනු මනුෂ්‍යත්වයට නිගාදෙන්නක් බව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් මගින් සමාජ ගත කළ යුතුය.

- නීතිඥ ශානුක සෙනරත් විසිනි-
 

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,122
    3,974
    113
    lamayinta prayojanawath wadak karanna yomu karanawa nam oyita hondayi.
    ada arts lamayek giyoth parana notes tikak arenna wena mokawath na.
    ithin un pissu kelinawa.
    asawen karana dewal walta yomu karanna ona. ethakota tiken tika owa maga arenawa.
    dadi danduwam thulin lamayin thawa winasa wena eka witharayi wenne.
    anika rate salli koti ganan gahana un raja wela sapata inna rataka, maasayak kalisama andinna epa kiwwata hire daana eka harida mandaa.