බළල් පා ඇති සිටුවරයා🙏🌸🌿

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    බළල් පා ඇති සිටුවරයා🙏🌸🌿
    —————————

    එක් කලෙක සැවැත් නුවර වැස්සෝ, එකතුව බුද්ධප්‍රමුඛ මහාසඞ්ඝයා වහන්සේට දන් දෙති. දිනෙක, එහි එක් දිනකට වැඩියා වූ බුදුරජානන් වහන්සේ “උපාසකයෙනි! මෙලොව දන් දෙන ඇතැම් කෙනෙක්, දන් දෙන්නෝ, එහි අන්හු සමාදන් නො කරවති, එයින් ඔවුනට ලැබෙන්නේ උපනුපන් තැන් වල දී භෝගසම්පත්තිය පමණෙකි, පරිවාර සම්පත්තිය නො ලැබේ, දන් දෙන ඇතැම් කෙනෙක්, තුමූත් දන් දෙති, අන්හුත් එහි සමාදන් කරවති, ඒ හේතුවෙන් ඔවුහු උපනුපන් තැන භෝග සම්පත්තිය හා පරිවාර සම්පත්තිය ලබති” යි අනුමොදනා කළ සේක.

    ඒ වේලෙහි, එහි සිටි එක් නුවණැති මිනිසෙක්, බුදුරජුන් වදාළ මේ බණ අසා “මම මේ උභයසම්පත්තිය ම ලබනු පිණිස එයට හේතු වන පින්කමක් කරන්නෙමි” යි සිතා බුදුරජුන් නැගිට වඩින වේලේ උන්වහන්සේගේ පසු පස ගොස් “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! හෙට මාගේ දානය පිළිගණු මැනැවැ” යි ආරාධනා කොට සිටියේ ය. “කෙතෙක් භික්‍ෂූන් ඒ පිණිස ආ යුතු දැ” යි බුදුරජුන් අසා වදාළ විට “ස්වාමීනි! සියලු දෙනා වහන්සේය” යි ඔහු කී ය. උන්වහන්සේ එය ඉවසා වදාළ සේක.

    ඉක්බිති ඒ මිනිස් තෙමේ, ගමට ගොස්, ගෙයක් කඩපිළක් පැල්පතක් ගානේ යමින් අම්මේ! පියේ! අක්කේ! නංගී! අය්යේ! මල්ලී! යන ඈ ලෙසින් උනුනුන්ට සුදුසු සේ අමතමින් “මම හෙට දනට බුදුරජානන් වහන්සේ ආරාධනා කෙළෙමි. එහෙයින් ඒ පිණිස හැකි පමණින් සහලින් කැවිලියෙන් කිරියෙන් පැණියෙන් මුදලින් ආධාර කරන්න, ලැබෙන හැම දෙයක් එක් තැන උයා පිහා දන් පිළියෙල කරන්නෙමි” යි කීයේ ය.

    එක් ධනවත් මුදලාලි මහතෙක් තම සාප්පුවට සම්මාදම් ඉල්ලා ගොඩ නැගුනු ඒ මිනිසා දැක “මේ මෝඩ මිනිහා තමන්ට දන් දිය හැකි තරමට උන්නාන්සේලා පමුණුවා නො ගෙණ මුළු ගමරට පුරා සම්මාදම් කරමින් ඇවිදී ය” යි කිපී, “ඕය්! තමුසේගේ අතේ ඇති ඔය බඳුන මෙහි ගෙණව” යි ගෙන්වා ගෙණ, සහල් මුං මෑ ඇඟිලි තුඩුවලින් ගෙණ හැම එකකින් ටික ටික දුන්නේ ය. එතැන් සිට මේ මුදලාලි බළල් කකුලැති මුදලාලි, යි ප්‍රසිද්ධ විය. මේ මුදලාලි, ගිතෙල් හා පැණි දුන්නේ, කොණක ඉදිකටුතුඩක් ලන තරම් වූ ඉතා කුඩා සිදුරක් ඇති කොළ පියැල්ලෑවක් තෙල් බඳුනෙහි හා පැණි බඳුනෙහි බහා ඒ සිදුරෙන් උනා එන බින්දුවක් දෙකක් පමණෙකි.

    උපාසක තෙමේ, අන්හු විසින් දුන් සියලු දානෝපකරණ එක් පැසකටත්, මුදලාලි දුන් සහල් මුං මෑ ගිතෙල් පැණි අන් පැසකටත් ගත්තේ ය. මුදලාලි, ඒ දැක “කුමක් නිසා මේ මිනිහා මා දුන් උපකරණ අන් පැසකට ගණී දැ” යි සිතා යන්නා වූ ඒ උපාසකයා පසු පස, “මොහු කරන්නේ කුමක් දැ යි සොයා බලා මට කියව” යි මෙහෙකරුවකු පිටත් කෙළේ ය. උපාසකයා ඒ ගෙණ ගොස් දානය පිණිස කැඳ බත් මාලු පිණි, උයන බඳුන්වල මුදලාලි දුන් සහල් මුං මෑ ඇට එක දෙක බැගින් හා ගිතෙල් පැණි බින්දු එක දෙක බැගින් හා බහා “මුදලාලිට වැඩෙක් වේවා” යි කීයේ ය.

    මුදලාලි යැවූ මෙහෙකරුවා පෙරළා ගොස් එබව මුදලාලිට දැන් වී ය. මුදලාලි ඒ අසා “ඔතැනට රැස්වන මහපිරිස් මැද මට නිගාවන ලෙසක් කළොත්, මාගේ නම ඇද කීවොත් ඕකා එතැන ම ඇණ මරන්නෙමි” යි සිතා කිරිච්චියක් ඉණ ගන්වා ගොස් දාන ශාලාවෙහි පසෙකට වී හුන්නේ ය.

    උපාසක තෙමේ එහි වැඩි බුද්ධප්‍රමුඛ මහාභික්‍ෂුසඞ්ඝයා වහන්සේ වළඳවා අවසන් කොට බුදුරජුන් අමතා “ස්වාමීනි! මම හැම දෙනකුගෙන් ම දානෝපකරණ ලබාගෙණ හැම දෙනකුගේ ම උපකාරයෙන් මේ දානය පිළියෙළ කෙළෙමි, හැම දෙන ම තම තමන්ගේ වත් පොහොසත් කම් ලෙසින් සහල් ආදී වූ දානෝපකරණ බොහෝ කොටත් ස්වල්ප කොටත් දුන්හ, ඒ හැම දෙනාට ම එයින් මහත් වැඩෙක් වේවා, මෙහි අනුසස් හැම දෙනාට ම ලැබේවා” යි කියා සිටියේ ය.

    උපාසකයා කළ මේ පුණ්‍යානුමෝදනාව ඇසූ මුදලාලි “අසුවලා ඇඟිලිතුඩු තුනට අල්ලා සහල් මුං මෑ දුන්නේ ය, යි. මා වෙන් කොට ගෙණ මාගේ නම ඇද කීවොත් මා මරන්නෙමි, යි සිතා මම මෙහි ආමි, එහෙත් මොහු එසේ වෙනසක් නො කොට නැළි ගණනින් දුන්නටත් ඇඟිලිතුඩු වලින් ගෙන දුන්නන්ටත් සම සේ විපාක ලැබෙන ලෙසට පින් දුන්නේ ය, නැළිගණනින් දුන්නැ, යි කියාත් ඇඟිලි තුඩුවලින් ගෙණ දුන්නැ, යි කියාත් කිසිත් වෙනසක් නැත, ඒ නිසා මෙබඳු හොඳ අදහස් ඇති කෙරෙහි මා සිතූ සැටි ඉතා අයුතු ය, යම් ලෙසකින් මු කමා කරවා නො ගත්තෙම් නම්, මාගේ හිස පිට හෙණ වැටෙනු ඒකාන්තය” යි සිතා උපාසකයා වෙත ගොස් “උපාසක ඔබ මට කමන්නැ” යි කීයේ ය.

    මේ කිසිත් නො දත් උපාසකයා උඩ බිම බලා “මේ කිමැ” යි ඇසූ විට ඔහු සියලු තොරතුරු කියා සිටියේ ය. ඒ අසල වැඩ හුන් බුදුරජානන් වහන්සේ එය දැක, “මේ කිමැ” යි දන් හල වතාවත් කළ අයගෙන් ඇසූහ. ඔවුහු එපුවත් බුදුරජානන් වහන්සේට සැළකළහ. උන්වහන්සේ “එසේ ද සිටැ” යි අසා වදාළ කල්හි ඔහු එසේ යි දැන් වී ය. බුදුරජානන් වහන්සේ “උපාසකයෙනි! පිණ ටිකැ, යි නො සිතිය යුතු ය, අවමන් නො කළ යුතු ය, මා වැනි බුදුරජුන්ට, නැත, බුද්ධප්‍රමුඛසඞ්ඝයාට දන් දී එය ටිකැ, යි කිසිලෙසකිනුත් සැලකිය යුතු නො වේ, නුවණැති මිනිස්සු පින් කරන්නෝ, වසුන් හැරි බඳුනක් ටික ටික දියෙන් පිරී යන්නා සේ, පිළිවෙළින් පින් කරන්නෝ ය, පිළිවෙළින් පිනෙන් පිරි යන්නෝ ය” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-

    මාවමඤ්ඤෙථ පුඤ්ඤස්ස න මන්තං ආගමිස්සති,
    උදබින්‍දුනිපාතෙන උදකුම්භො පි පූරති,
    පූරති ධීරො පුඤ්ඤස්ස ථොකථොකම්පි ආචිනන්ති.

    ඒ සුලු පින, මා කර නො එන්නේ ය, යි පිනට අවමන් නො කරන්නේ ය. නොහොත් පින ස්වල්පය, යි නො සිතන්නේ ය. දියබිඳු වැටීමෙන් කළගෙඩිය (යම්සේ) පිරේ ද, (එසේ) මඳ මඳ ව පින් රැස් කරණ ප්‍රාඥ තෙමේ පිනෙන් පිරෙන්නේ ය.

    මා අවමඤ්ඤෙථ පුඤ්ඤස්ස = පිනට අවමන් නො කරන්නේ ය. නොහොත් පින සුලුය, යි නො සිතන්නේ ය.
    න මං තං ආගමිස්සති = එ පින මා කරා නො එන්නේ ය.

    ප්‍රඥාවත් මනුෂ්‍යයෝ පිනක් කොට මා විසින් සුල පිනක් කරණ ලද්දේ ය, එය විපාක දීම් වසයෙන් මා කරා නො එන්නේ ය, මෙසේ ස්වල්පමාත්‍ර වූ කුශලකර්‍මය කො තැන්හි දී මා දන්නේ ද, මම හෝ එය කො තැන්හි දී දකින්නෙම් ද, එය කවදා විපාක දෙන්නේ දැ, යි පිනට අවමන් නො කරන්නෝ ය. නො සිතන්නෝ ය.

    උදබින්‍දුනිපාතෙන උදකුම්භො අපි පූරති = (එක් එක්) දිය බිඳ වැටීමෙන් කළය ද පිරෙයි.
    පූරති ධීරො පුඤ්ඤස්ස = ප්‍රාඥ තෙමේ පිනෙන් පිරෙන්නේ ය.
    ථොකථොකං අපි ආචිනං = මඳ මඳ ව පින් රැස් කරණ

    මෙහි වූ ආචිනං යනු, උඩ සිටි ධීරො යනු බලා සිටියේ ය.

    වැසි වස්නා වේලෙහි වසුන් හැර උඩුකුරු කොට එලිමහනෙහි තැබූ හැළි වළන් ඈ කුලල් බඳුනක් නිරතුරු ව එක් එක් දිය බිඳ වැටීමෙන් ක්‍රමයෙන් පිරෙන්නා සේ ප්‍රාඥ පුරුෂ තෙමේ ටික ටික වුවත් පින්රැස් කරන්නේ පිනෙන් පිරෙන්නේ ය. එහෙයින් ටික ටික වුවත් පින් රැස් කළ යුතු ය, යි වදාළ සේක.

    ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ මුදලාලි සෝවන් පලයට පැමිණියේය. ධර්‍මදේශනාව පැමිණ සිටි පිරිසටත් වැඩ සහිත වූය.

    https://pitaka.lk/dhammapada/ss/katha-100.html
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇහුවට තරහ වෙන්න එපා

    මේ කිසිත් නො දත් උපාසකයා උඩ බිම බලා “මේ කිමැ” යි ඇසූ විට ඔහු සියලු තොරතුරු කියා සිටියේ ය. ඒ අසල වැඩ හුන් බුදුරජානන් වහන්සේ එය දැක, “මේ කිමැ” යි දන් හල වතාවත් කළ අයගෙන් ඇසූහ. ඔවුහු එපුවත් බුදුරජානන් වහන්සේට සැළකළහ. උන්වහන්සේ “එසේ ද සිටැ” යි අසා වදාළ කල්හි ඔහු එසේ යි දැන් වී ය.
    බුදුරජාණන් වාහන්සේට දිවැස් තියෙනවා නම් ඇයි මේක කාගෙන්වත් අහන්නෙ?
     
    • Love
    Reactions: Candid-B