බ්ලැක් ඩේලියා

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව සිදු වූ සුප්‍රසිද්ධ මිනිමැරුම් අතරින් එලිසබෙත් ෂෝර්ට් ඝාතන සිද්ධිය හෙවත් 'බ්ලැක් ඩේලියා' මිනිමැරුමට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. මේ සිදුවීම සිදු වී වසර 70ක් ගත වන තුරුත් එය නිසියාකාරව විසඳී නැති අතර, විටින් විට ඒ පිළිබඳව විවිධ අදහස් පල වෙනවා. ඉතිහාසය පුරා මේ අභිරහස විසඳීමට තමන් ඉතා ආසන්න වී ඇතැ යි පොලිසිය කිහිප විටෙක දීම විශ්වාස කළත්, ඒ සෑම විටෙක දීම ඔවුන්ගේ බලාපොරොත්තු සඵල වූයේ නැහැ.
    62BJynm8ihxTLrV4_2.-Elizabeth-short.png

    එලිසබෙත් ෂෝර්ට්- FBIවිකෘති කරන ලද මළසිරුරක්

    1947 වසරේ ජනවාරි මස 15 වන දා ලොස් ඇන්ජලීස් නුවරට යාබද ජනාකීර්ණ පෙදෙසක තිබී මළසිරුරක් හමුවෙනවා. මෙම මළසිරුර එලිසබෙත් ෂෝර්ට් නම් විසි දෙහැවිරිදි තරුණියකට අයත් බවට හඳුනාගැණුනු අතර එය ඉතා සැහැසි ලෙස කපා කොටා විකෘති කොට තිබුණා. ඇය චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ තැනැත්තියක වූ අතර නැගී එන නිළියක්ව සිටියා.
    එලිසබෙත් ෂෝර්ට් ගේ මළසිරුරෙහි ඉණ පෙදෙස ඉතා දැඩි ලෙස කපා කොට තිබූ අතර, ඇගේ අතුණුබහන් සම්පූර්ණයෙන්ම ඉවතට ඇද ඒවා සිරුරෙහි පහළ කොටසට යට කොට තිබුණා. එමෙන්ම ඇගේ සමෙහි කොටස් ද ඉවත් කොට තිබුණා. දෑතෙහි මැණික් කටුව හා පාදවල වළලුකර පෙදෙස්වල ඇය මරණයට පෙර රැහැන්වලින් තදින් බැඳ තබා තිබූ බව හඟවන ලකුණු තිබුණා. එමෙන්ම තවත් සුවිශේ ෂී දෙයක් වූයේ සිරුරෙහි රුධිරය සම්පූර්ණයෙන් පාහේ ඉවත් වී තිබීම යි. මෙය හමුවූ ස්ථානයට ගෙනැවිත් දැමීමට පෙර, භූමිතෙල් වැනි තෙල් වර්ගයකින් සම්පූර්ණයෙන්ම සෝදා තිබුණා.
    xHrKS5IPyoN7vSW8_3.-dahlia-dead.jpg

    එලිසබෙත් ෂෝර්ට් ගේ මළසිරුර- Getty Imagesවඩාත් දරුණු විකෘති කිරීම කොට තිබුණේ ඇගේ මුහුණට යි. ඇගේ මුව දෙපසට ඉරා තිබූ අතර එම ඉරීම් කෙතරම් දුරට කර තිබුණේ ද යත්, ඉරුම් පහර අවසන් වී තිබුණේ දෙකණ අසලිනුයි. මේ අනුව බැලූ බැල්මට ඇගේ මුහුණ චිත්‍රපට හා කාටූන්වල එන 'ජෝකර්' චරිතය සිහිගැන්වූවා.
    තැපෑලෙන් ආ තෑග්ග

    එළිසබෙත් ෂෝර්ට්ගේ මළසිරුර හමු වී සතියක් ගතවන විට ලොස් ඇන්ජලීස්හි පුවත්පත් සංස්කාරකවරයෙකු වන ජේම්ස් රිචඩ්සන්ට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබෙනවා. අනෙක් අන්තයෙන් කථා කළ තැනැත්තා තමන් එලිසබෙත් ෂෝර්ට්ගේ ඝාතකයා බවත්, ඉක්මණින්ම ඇගේ 'මතක සැමරුම්' රිචඩ්සන් වෙත තැපෑලෙන් එවන බවත් පවසනවා. ඉන් දින 4කට පසු ඔහුට තැපෑලෙන් පාර්සලයක් ලැබෙන අතර එහි එලිසබෙත් ෂෝර්ට්ගේ උප්පැන්න සහතිකය, ආගන්තුක කාඩ්පත්, ඡායාරූප කිහිපයක්, නම් ලැයිස්තුවක් හා විවිධ අයගේ ලිපිනයන් ලියා තිබූ පොතක් අන්තර්ගත වුණා.


    ජේම්ස් රිචඩ්සන් වහාම පොලිසිය ද දැනුවත් කර එලිසබෙත් ෂෝර්ට් පිළිබඳ වැඩිදුර තොරතුරු සොයන්නට පටන්ගන්නවා. එහිදී අනාවරණය වන්නේ ඇය පුරුෂයින් රාශියකට ලිංගික පහස ලබා දෙන බවට පොරොන්දු වී මුදල්, තෑගිභෝග වැනි දේ ලබාගෙන තිබූ අතර අනතුරුව පොරොන්දු ප්‍රකාර චර්යාවල නොයෙදී ඔවුන් මඟහැර තිබූ බව යි.
    අසාර්ථක වූ පරීක්ෂණ

    P41Nh839tuQSPWZc_4.-Funeral.jpg

    එලිසබෙත් ෂෝර්ට් ගේ අවමඟුල- APඑලිසබෙත් ෂෝර්ට්ගේ මෙම අසාමාන්‍ය මරණය පිළිබඳව ඉක්මණින්ම ඇමෙරිකාව පුරා ප්‍රසිද්ධියට පත් වුණා. විශේෂයෙන්ම ඇය චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධව සිටි සුරූපී තරුණියක් වූ නිසා මෙය හුදෙක් පළිගැනීමක් විය හැකි බවට බොහෝ දෙනා මත පල කළා. මාධ්‍යවේදීන් ඇය 'ද බ්ලැක් ඩේලියා' නම් අන්වර්ථ නාමයකින් හඳුන්වන්නට පටන්ගත් අතර, රිචඩ්ස්න් ටල් ලැබුණු පාර්සලයේ අඩංගු කරුණු ඔස්සේ ගොස් පොලිසිය ඉක්මණින්ම ඝාතකයා කොට කර ගනු ඇතැ යි බොහෝ දෙනා සිතුවා. නමුත් සිදු වූයේ අනෙකක්.
    පොලිසිය ලොස් ඇන්ජලීස් පීරා පරීක්ෂණ දියත් කළ අතර, එහිදී ගැටළුකාරී තත්ත්වයකට මුහුණපෑවේ තමන් ෂෝර්ට් ඝාතනය කළ බවට 60 දෙනෙකු පමණ 'පාපොච්ඡාරණය' කිරීම නිසා යි. මින් වඩාත් සැක කටයුතු 12 දෙනෙකු රඳවා තබාගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ අතර එහිදී අනාවරණය වූයේ ඒ සියළු දෙනාම මිනිමැරුමට සම්බන්ධ නැති බව යි. මේ අනුව කිසිවෙකුත් අත් අඩංගුවට නොගැණුනු අසාර්ථක වූ පරීක්ෂණයක් ලෙස මඳ කාලයකින් 'බ්ලැක් ඩේලියා මිනිමැරුම' නම් කෙරෙනවා.
    මේ මිනිමැරිම ගැන මත පල කළ බොහෝ දෙනා පැවසුවේ කෙටි කාලීන 'පෙම් හුටපටයක්' මෙලෙස ඝාතනයක් දක්වා දුරදිග යන්නට ඇති බව යි. එසේත් නැත්තම් ඇය මියගිය දින රාත්‍රියේ හදිසියේම අහම්බයකින් ඇය කිසිවෙකුගේ ග්‍රහණයට ලක්වන්නට ඇති බවටත් සමහරු මත පල කළා. කෙසේ නමුත් මෙම සිදුවීම සිදු වී වසර 70ක් ගත වූ 2017 වසර වන විටත් මේ පිළිබඳව කිසිදු සාර්ථක හෝඩුවාවක් සොයාගන්නට කිසිවෙකුත් සමත් වූයේ නැහැ.
    හෝඩුවාවක්

    2017 වසර වන තුරු බ්ලැක් ඩේලියා මිනිමැරුම පැවතියේ නොවිසඳුණු එකක් ලෙස යි. වසර 70ක් ගත වී තිබුණ ද ඒ පිළිබඳව වූ උණුසුම සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබුණේ නැහැ. මේ අතර හදිසියේම බ්‍රිතාන්‍ය ජාතික ගත් කතුවරියක වූ පියු ඊට්වෙල් ලොවට පවසා සිටියේ ඇය බ්ලැක් ඩේලියා මිනිමැරුම විසඳූ බව යි. ඇය ඒ පිළිබඳව ග්‍රන්ථයක් නිකුත් කළ අතර එහි ඒ පිළිබඳව කරුණු ගණනාවක් අන්තර්ගතව තිබුණා.
    6M0yt3DZKtiG9Qrg_5.-Mark-Hansen.jpg

    මාක් හැන්සන්- brightlightsfilm.comඊට්වෙල් ට අනුව ෂෝර්ට් ගේ ඝාතකයා වනුයේ ලෙස්ලි ඩිලන් නැමැත්තා යි. ලෙස්ලි ඩිලන් මෙම ඝාතනය පිළිබඳ ප්‍රශ්න කොට නිදහස් කළ අයෙකු වුණා. ලෙස්ලි මේ ඝාතනය සිදුකොට තිබුණේ කුලීකරුවෙකු ලෙස වන අතර ඔහුට මෙම කොන්ත්‍රාත්තුව භාර දී තිබෙන්නේ හොලිවුඩයට සම්බන්ධ ප්‍රබලයෙකු වූ මාක් හැන්සන් විසිනුයි. හැන්සන් ද මේ සිද්ධිය පිළිබඳව සැක පිට අත්අඩංගුවට ගෙන නිදහස් කළ අයෙක් වුණා. විශේෂයෙන් සංස්කාරක රිචඩ්සන්ට ලැබුණු ලිපින සඳහන් පොතෙහි අයිතිකරුවා ලෙස හඳුනාගෙන තිබුණේ හැන්සනුයි. හැන්සන් එකල හොලිවුඩයට අලුතෙන් පැමිණෙන නිළියන් හට නවාතැන් සැපයෙන නිවස්නක් පවත්වාගෙන ගොස් තිබූ අතර ෂෝර්ට් හා ඇගේ මිතුරියක් ඇගේ මරණයට පෙර කෙටි කාලයක් එහි නවාතැන් ගෙන තිබුණා.
    ඊට්වෙල්ට අනුව හැන්සන් ෂෝර්ට් හට 'වහ වැටී' ඇය පසුපස පැමිණ තිබෙනවා. ෂෝර්ට් ඔහුගෙන් විවිධාකාරයේ වාසි ලබාගෙන ඔහු රවටා තිබෙන අතර, අවසන ලෙස්ලි ඩිලන් යොදවා ඇය ඝාතනය කොට තිබෙනවා.
    ලෙස්ලි ඩිලන් කාලයක් මල් ශාලාවක සේවයේ නියුතුව සිට ඇති අතර එහිදී ශරීර කපා කොටා දැමීම හා රුධිරය ඉවත් කිරීම පිළිබඳ ඔහු උගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඔහු විටෙක පොලිසියට පවසා ඇත්තේ එලිසබෙත් ෂෝර්ට් ඝාතන සිද්ධියට තමන් ඇළුම් කරන බව යි. මේ පිළිබඳව කිසිවෙකු අතින් 'විශිෂ්ට ගවේෂණාත්මක ලිපියක්' ලියැවෙනවාට තමන් රුචි බව ද ඔහු පවසා තිබුණා.
    Owf2q3dBiGfTTuBI_6.-Lesley-dillon.jpg

    ලෙස්ලි ඩිලන්- Getty Imagesඊට්වෙල් සිය ග්‍රන්ථයෙහි තව දුරටත් සටහන් කර තිබෙන්නේ පොලිසිය මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව කිසි ලෙසකින් ප්‍රසිද්ධ කොට නොතිබූ සමහර දේ ඩිලන් දැන සිටි බව යි. විශේෂයෙන් ෂෝර්ට්ගේ කලවයක රෝසමලක පච්චයක් තිබූ බව හා ඝාතකයා එය කපා ඉවත් කොට තිබූ බැව් ඔහු දැන සිටි බවට පොලිස් සටහන්වලින් තහවුරු වන බව ඇය පවසා සිටිනවා. කෙසේ නමුත් හැන්සන්ට තිබූ බලවත් සම්බන්දතාවල මහිමයෙන් ඩිලන් නිදහස් වූ බවට ඊට්වෙල් චෝදනා නගනවා.
    ඊට්වෙල් ගේ මතය තෘප්ත කරන තවත් සාක්ෂියක් වන්නේ කුඩා නවාතැන්පොළක අයිතිකරුවෙකුව සිටි හෙන්රි හොෆ්මන් නැමැත්තා පොලිසියට ලබා දී තිබූ කට උත්තරයකුයි. 1947 වසරේ ජනවාරි මස 15 වන දා උදෑසන ඔහුට සිය නවාතැනෙහි කැබින් කාමරයක තිබී ලේ වැකුණු කාන්තා ඇඳුම් කිහිපයක් හමු වී තිබෙනවා. මීට අමතරව එම පරිශ්‍රය පුරා ලේ තැවරී ඇති බැව් දැක තිබෙනවා. ඔහු එය පොලිසියට දන්වනු වෙනුවට කිසිවෙකුටත් නොපවසා පිරිසිදු කර තිබෙනවා. එයට හේතු වී තිබුණේ ඊට දින කිහිපයකට පෙර සිය බිරිඳට පහරදීම නිසා ඔහු පොලිස් භාරයට පත්ව සිට නිදහස් වීම යි. නැවත පොලිසිවල රස්තියාදු වන්නට ඔහු රුචි වූයේ නැහැ.
    ඊට්වෙල් පවසන්නේ මෙම කැබින් කාමරයේ එදින නවාතැන් ගෙන සිටියේ ඩිලන් බව යි. එහිදී ඝාතනය සිදු කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන බැව් ඇය සිය ග්‍රන්ථයෙහි සඳහන් කොට තිබෙනවා. තහවුරු කර නැතත් ජනවාරි 14 වන දා ඩිලන් හෝටලයේ සිටි බවට වාර්තා වී තිබෙනවා.


    cgXT0Lthe7lEsD8i_7.-Piu-eatwell.jpg

    පියු ඊට්වෙල් සිය ග්‍රන්ථය සමග- Carsten Wildeවිසඳුමක් නොමැති අවසානය

    ඊට්වෙල්ගේ අදහස් කිසිවක් අද වන තුරුත් තහවුරු කර නැහැ. මේ වන විට බ්ලැක් ඩේලියා ඝාතන සිද්ධියට සම්බන්ධයැ යි ඇය චෝදනා කර සිටින සියළු දෙනා ජීවතුන් අතර නැහැ. එමෙන්ම මේ පිළිබඳව වූ වැදගත් වාර්තා රැසක් යට ගොස් තිබෙනවා. මේ හේතුව නිසා 'බ්ලැක් ඩේලියා' ඝාතන සිද්ධිය බොහෝවිට තව දුරටත් මතභේදාත්මක හා නොවිසඳුණු සිද්ධියක් ලෙස පවතිනු ඇති.


    Roar