ලද විට ඇමතුමක් මට සැත්කමක් කියා,
හනිකට දුව ගියෙමි කළ වැඩ පසෙක දමා..
සූදානම් වෙලා බැලුවම කව්ද කියා,
රත් උනි සිරුර ඒ මගෙ රන්කදම තමා.
සිනා පිරුනු නෙත්වල කදුලැලි පිරිලා,
අමාරුවට සියොලග දාඩිය දාමලා,
විලිබර මුවින් හයියෙන් කෑ ගහලා,
රන්කද අඩනවා ඉන්නට බෑ කියලා……
ආදරයෙන් මම හැමදා සිප ගත්තූ,
ගැහැණියකගෙ සියුමැලි බව විද ගත්තූ,
දස මාසයක් ඇස් දෙක මෙන් රැක ගත්තූ,
නුබෙ කුස පලන්නේ කොහොමද මම වස්තූ……
කැපුවට දෙනෝ දාහක් ගැහැණුන්ගේ බඩ,
වෙව්ලලා එහෙම නෑ කවදත් මගේ අත,
අරගෙන පිහිය තැබු විට බඩ මතට තුඩ,
හිරිවැටුනා සත්තයි සියොලගම ඇග….
වෙව්ලන අතින් තද කර පිහිතුඩ අල්ලා,
තැබුවිට බඩේ සියොලග ලේ කැටි විද්දා,
දෙපලු කරන් බැලුවිට කුස තුල ඉන්නා,
මන් මගෙ ඇස් දෙකෙන් අපෙ පැටියව දැක්කා….
විලිබර වෙලා මහ හයියෙන් මොර දීපූ,
නුඹ ගොලු උනා පැටියගෙ කටහඩ අහපූ,
යන්තන් සිනාවී කුස දෙස නෙත් හෙලපූ,
නුඹෙ තනයෙක් කිරි ගැලුවා මගෙ වස්තූ…
දෝතට අරන් අපෙ පැටියා තුරුලු කරන්,
උණුහුමෙ තියන් හිටියා ඇස් දෙකම පියන්,
රන්කද කියා ආදරයෙන් තුරුලු කරන්,
ඉඹිනා විට ආවා කිරි සුවද ගලන්…
සත්තයි මැණික මින් පෙර මම කවදාවත්,
අසරණ වෙලා නෑ මතකයි හීනෙන්වත්,
නොකර බැරි කමට මන් නුබෙ කුස පැලුවත්,
රිදුනෙ මටයි කදුලැලි නෙත් වල තාමත්..
පිය උරුමය ලැබ දෙන්නට මට සොදුරෑ,
මන් දැක්කා උහුලපු දුක නුබ රුදිරෑ,
අම්මෙක් වගේ හැමදා මම ළඟ නැහුනූ,
නුඹ රකිනවා පන මෙන් ආදර වස්තූ.
