බුද්ධඝෝෂ භික්ෂුව

hpalpola

Well-known member
  • බුද්ධඝෝෂ භික්ෂුව ......​

    බුද්ධඝෝෂ භික්ෂුව සම්බන්ධයෙන් සිංහල බසින් ප්‍රකට විචාරයක් හෝ කරුණු සම්පාදනයක් සිදුව ඇති බවක් නොපෙනේ. ඒ කෙසේවෙතත් බුද්ධඝෝසුප්පත්ති පොත ලියනු ලැබූ මහාමංගල හිමි ශ්‍රී ලාංකික ස්වාමීන්වහන්සේ නමක් බවට පිළිගැනීමක් ඇත. මේ පොතේ සඳහන් එක් කරුණක් මෙහිදී සඳහන් කරමි.​

    ලංකාවට වැඩම වූ පසුව බුද්ධඝෝෂ හිමි එක්වරම මහාවිහාරයට වැඩම කළේ නැත. උන්වහන්සේ ද්විජතන ස්ථානයේ වැඩ සිටි බව එහි දැක් වේ. මේ ස්ථානය නිශ්චිත නැත. කෙසේවෙතත් මෙහි වැඩ සිටිද්දී උන්වහන්සේ කාන්තාවන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක සාක්ෂිකරුවකු බවට පත් වේ. ඒ මෙසේයි.​

    ඒ ස්ථානයට ආසන්න ගං තොටකින් වතුර රැගෙන යාමට බ්‍රාහ්මණයකුට අයිති වහල් කාන්තාවක් කළයක් ද රැගෙන පැමිණියා ය. ඇය වතුර රැගෙන ආපසු ගමන් කරන විට ඇගේ කළයට වඩා ප්‍රමාණයෙන් කුඩා කළයක් රැගෙන තවත් එවැනිම කාන්තාවක් වතුර රැගෙන යාමට පැමිණෙමින් සිටියා ය. මේ දෙදෙනාගේ කළ දෙක එකට ගැටී එක් කළයක් බිඳිනි. ඉන් පසුව සිදු වූ දෙය මා පොතෙන් නොකීවාට ඔබට හිතා ගැනීමට හැකියාවක් ඇතැයි සිතමි. දෙදෙනා සාමාන්‍ය වචනවලින් පටන් ගත් ආරවුල ටිකෙන් ටික අසභ්‍ය වචන දක්වා පෙරළිනි. පොතේ නම් එය ‘බණවරක්‘ පමණ දිගට සිදු වූ බව කියා තිබේ.​

    බුද්ධඝෝෂ හිමියන් ට මෙය ඇසිනි. උන්වහන්සේට ඒ ඇසීමෙන් පහළ වුයේ මෙවැනි සිතුවිල්ලකි. ‘මේ කාන්තාවන් දෙදෙනා මෙසේ පරුෂ වචන කියා ගනිමින් එකිනෙකාට බැණ වැදී, මා ද සාක්ෂිකරුවකු කොට ඔවුන්ගේ ස්වාමියන්ට ඒ ගැන පැමිණිලිකළ විට ඔවුන් මාගෙන් සිදුවූයේ කුමක් දැ යි අසනු ඇත. මෙහි මා හැර වෙනත් අයකු ද නැත. එනිසා එසේ අසනු ලැබූ විට පෙන්වීමට මේ බැන ගැනීම ලියා තැබුවහොත් යෙහෙකි.‘ ඒ අනුව උන්වහන්සේ දෙදෙනා ගේ බැණ වැදීම් පොතක ලියනු ලැබුවේ ය. ඒ සිතූ පරිදි ම කාන්තාවන් දෙදෙනා ආරවුලෙන් පසුව නිවෙස්වලට ගොස් තම තමුන්ගේ ස්වාමියන්ට මේ පිළිබඳව පැමිණිලි කළෙන් අවසානයේ ඔවුන් ද ආරවුල් කර ගෙන දෙපිරිසේ ආරවුල රජු දක්වා ම වැඩි දියුණු වී ගියේ ය. රජුට ආරවුල විසඳීමට සාක්ෂි අවැසි විය.​

    කව්ද උඹලා කියන කථාවට සාක්ෂි කියන්නේ?​

    එවිට එක් කාන්තාවක් අප සිටි ස්ථානයේ වැඩ සිටි විදෙස් භික්ෂුව මීට සාක්ෂි දරනු ඇතැයි පැවසුවා ය. අනෙක් කාන්තාවත් ඒ භික්ෂුවම සඳහන් කළා ය. ඉන්පසුව රජු, තමන්ගේ දූතයකු තොටුපළට පිටත් කරනු ලැබූවේ මේ භික්ෂුව හමුවීම සඳහා යි. තමන් කරා පැමිණි රාජ දූතයාට බුද්ධඝෝෂ හිමි පෙර කී පොත ලබා දී ‘යහළුව, මෙය රජුට පෙන්වන්නැ‘යි උපදෙස් දුන්නේ ය. රජු එකී පොත කියැවීමට සලස්වා අසාගෙන සිටියේ ය. බුද්ධඝෝසුප්පත්තියේ සඳහන් වන ආකාරයට එය අසා සිටි රජුගෙන් කාන්තාවන් දෙදෙනාට යොමු වූ ප්‍රශ්නය වූයේ,​

    ස්ත්‍රියාවනි, මෙවැනි පරුෂ වචන සත්‍ය ලෙසින් ම උඹලා කීවේ ද? යන්නයි. දෙදෙනාම එය පිළිගත්හ. ඉන්පසුව රජු විසින් අඩු බර රැගෙන යන්නා විසින් වැඩි බර රැගෙන යන්නාට වඩා දුරකින් ගමන් කළ යුතු යි නීතියක් ද පනවා කළය බිඳී නොමැති කාන්තාවට දඬුවම් කර ආරවුල සමථ කරවීය. කෙසේවෙතත් රජුට මේ භික්ෂුව දැක ගැනීමට ආශාවක් ඇති විනි. එය වැළැක්වීමට බ්‍රාහ්මණයින් නොයෙක් උපා යෙදවි ය. නමුත් රජු ඒ උපායන් සමඟ ම භික්ෂුව පිළිබඳව ප්‍රසාදය ඇති කරගෙන නිහඬ විනි.​

    චූළවංශයට අනුව බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට වැඩම කරන්නේ මහානාම රජුගේ කාලයේ ය. ඒ ක්‍රි.ව. 5 වන සියවසේ දි ය. චූළවංශයේ බුද්ධඝෝෂ භික්ෂුව වෙනුවෙන් පිටු කීපයක් ම වෙන්ව තිබේ. මේ හා සමාන කාලයේ ම ලංකාවට වැඩම කළ ෆා හියන් භික්ෂුව ගැන සඳහනක් එහි නැත. එයට ප්‍රධානම හේතුව වන්නේ ෆා හියන් භික්ෂුව අභයගිරියට මුල් තැන දීමත් බුද්ධඝෝෂ භික්ෂුව මහාවිහාරයට මුල් තැන දීමත් ය. ෆා හියන් භික්ෂුව මාර්ගයෙන් ක්‍රි.ව. 1 වන සියවසේ පමණ රචිත උපතිස්ස හිමිගේ විමුක්තිමාර්ගය චීනයට ගමන් කළ බව සිතිය හැක. බුද්ධඝෝෂ භික්ෂුව විසින් ද විමුක්තිමාර්ගය හා සමාන විශුද්ධිමාර්ගය රචනා කරනු ලැබීය. විමුක්තිමාර්ගය ලංකාවේ ජනප්‍රිය නොවිනි. ඒ එය අභයගිරිය මුල්කරගත් නිසාවෙනි. නමුත් විශුද්ධිමාර්ගය ජනප්‍රිය විනි. ඒ මහාවිහාරය මුල් කර ගත් නිසාවෙනි. බුද්ධඝෝෂ භික්ෂුව සම්බන්ධයෙන් වන විට මේ අභයගිරි හා මහාවිහාර ගැටුම ද සැලකිල්ලට ගත යුතු වේ.​

     
    • Like
    Reactions: U-tag and hodakolla