බුද්ධඝෝෂ v. සිංහලයා
බුද්ධඝෝෂ කියන නම ඇහෙද්දිත් කේන්ති යන අය අපේ සමාජයේ ඉන්නවා. මොකද එක පිරිසකගේ අදහස නැත්නම් මතය තමයි අටුවාව ඇතුළු සිංහල ත්‍රිපිටකය විනාශ කිරීම බුද්ධඝෝෂ විසින් සිදු කල බව. තව පිරිසක් මේ මතය පිළිගන්නෙ නෑ. කොහොමවුනත් චූළවංශය කියවද්දී දැනෙන දේ තමයි බුද්ධඝෝෂ හිමි විසින් සිංහල ත්‍රිපිටකයට හානියක් නොකළ බව. මේ වෙනකොට චූළවංශයත් අපිට කියවන්න ලැබෙන්නෙ මහාවංශයෙන් ම තමයි. ඉතින් අදාළ පිටු කිහිපය පහතින් උපුටා දක්වනවා. මේක උපුටා ගත්තේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මුද්‍රණය කළ මහාවංශ පොතෙන්.
දැන් මේ කථාවට අනුව අපිට බුද්ධඝෝෂ හිමි විසින් සිංහල ත්‍රිපිටකයට හානියක් කලා කියලා පේන්නෙ නැහැ. උන්වහන්සේ කරන්නේ උන්වහන්සේගේ ආචාරීන්වහන්සේගේ ඉල්ලීම ප්‍රකාරව ජම්බුද්වීපයට රැගෙන යන්න අවශ්‍ය විදියට සිංහල ත්‍රිපිටකය සකස් කිරීම.
අනෙක් අතට මේ කථාවේ හැටියට බෝධිමණ්ඩලය නැත්නම් බුද්ධගයාව ආශ්‍රිතව උන්න ත්‍රිවේදයේ නිපුන බ්‍රාහ්මණ තරුණයෙක් තමයි පසුකාලීනව බුද්ධඝෝෂ වෙන්නේ. ඔහු යන්නෙ ආශ්රිත බෞද්ධ විහාරයකට. ඒ විහාරයෙදි අභිධර්මය අහලා තරුණයා මහන වෙනවා. මහනවීමෙන් පස්සෙ ඔහු විසින් ග්රන්ථ දෙකක් කරනවා. ඒ ග්රන්ථ අනුව තමයි විහාරයේ මහනායක ස්වාමීන්වහන්සේ බුද්ධඝෝෂ උන්නාන්සෙට කියන්නෙ ඒ වෙනකොට ධර්මය පවතින්නේ ලංකාවේ නිසා එහෙට ගිහිල්ලා ඒ ධර්මය අරන් එන්න කියලා. මේ කාලය ක්‍රි.ව. 5 විතර කාලය. මේ වෙද්දි ඉන්දියාවේ ඇත්තටම බුදු දහම පසුගාමී මට්ටමකයි තියෙන්නෙ. ඒ අනුව ලංකාවට පැමිණෙන බුද්ධඝෝෂ හිමි මහාවිහාරයට ගිහිල්ලා මහාවිහාරික භික්ෂූන්වහන්සේලාගේ අවසරය ඇතිව සිංහල බසින් තිබුන ත්‍රිපිටකය මාගධී භාෂාවට පරිවර්තනය කරනවා. ඒක තමයි බුද්ධඝෝෂ හිමියන්ට පැවරුන කාර්යය.
අද අපි දන්නවා ක්‍රි.පූ.1 නැත්නම් ක්‍රි.ව.5 නැත්නම් ක්‍රි.ව.1950 තිබ්බ සිංහල භාෂාව නෙමෙයි ලංකාවේ තියෙන්නෙ. දවසින් දවස සිංහල භාෂාව මැරෙනවා. ඒක අපි හැමෝම දන්න දෙයක්. හැබැයි ඒ සන්තෑසිය අර භාෂාවට වෙන්නෙ නෑ. අදටත් එදා භාෂාවම තමයි. සමහරුනම් මළ භාෂාවක් විදියටයි සලකන්නෙ. අද සිංහලයට කුමාරතුංග මුණිදාස මහත්මයාගේ පොත් කියවන්නත් අමාරුයි භාෂාව නොතේරෙන නිසා. ඉතින් එවැනි තත්ත්වයක් අද උදාවෙලා තියෙද්දි සිංහල භාෂාවෙන් ත්‍රිපිටකය තිබුනා නම් දිගටම වෙන්න පුළුවන් දේ හිතා ගතෑකිනෙ. ඒ කොහොමවුනත් බුද්ධඝෝෂ හිමිගේ අතින් සිංහල ත්‍රිපිටකය විනාශ වෙන්නෙ නෑ.
අනික තමයි බුද්ධඝෝෂ හිමිගේ කාලයෙන් පස්සෙ ලංකාවට වඩිනවා චීන ජාතික ෆා හියං භික්ෂුව. උන්වහන්සේගේ වාර්තා අනුව ඒ කාලයේදී ලංකාවේ ඉතාමත් හොඳින් බුදු දහම පවතිනවා. ඉතින් බුද්ධඝෝෂ හිමි සමහරු කියන විදියට සිංහල ත්‍රිපිටකය විනාශ කලා නම් එහෙම වෙන්න බැහැ නේ.
මතවාද කෙසේවෙතත් අද අපිට පාලි ත්‍රිපිටකය තියෙනවා. දැනට අවුරුදු ගාණකට කලින් උන්න සිංහල මිනිස්සුන්ට පාලි භාෂාව භාවිතා කරන්න පුළුවන්කම තිබුනා. හැබැයි අපිට බෑ. ඒ නිසා අපිට අද පාලි ත්‍රිපිටකය කියෝ ගන්න බැහැ. ඒ වුනාට විජාතිකයො පාලි භාෂාව ඉගෙන ගෙන පාලියෙන් තියෙන ත්‍රිපිටකය ඉංග්‍රීසියට, ජර්මානු, ප්‍රංශ ආදී නොයෙක් භාෂාවලට පරිවර්තනය කරලා ලෝකය පුරා බුදුදහම ප්‍රචාරණය කරනවා. අපේ නොහැකියාව වහගන්න අපි බුද්ධඝෝෂ හාමුදුරුවන්ට බනිනවා.
පාලි වේවා සිංහල වේවා බෞද්ධයාගේ සැනසීම තියෙන්නෙ ත්‍රිපිටකයෙ. ඒ නිසා තේරෙන භාෂාවකින් ත්‍රිපිටකය ගැන දැන ගන්න උත්සාහ කරන්න.