බුද්ධ_ප්‍රතිමා_කලාවේ_මුද්‍රාවෙන් පැවසෙන

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    බුද්ධ_ප්‍රතිමා_කලාවේ_මුද්‍රාවෙන් පැවසෙන

    බුද්ධ ප්‍රතිමා කලාවේ මුද්‍රාවෙන් පැවසෙන අරුත්


    10958230_758364754259141_2979110993368076667_o.jpg

    බෞද්ධ කලාවේ අග්‍රගණ්‍යම නිර්මාණය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමාව පිළිබඳව අප මෙයට පෙර ලිපියකදී ඉතා කෙටියෙන් සාකච්ඡා කළෙමු. ඕනෑම කලා කෘතියක අනර්ඝත්වය තීරණය කරනු ලබන ඉතා ප්‍රබලම සාධකය එකී කලා කෘතිය මගින් පිළිබිඹු වන ප්‍රකාශන ගුණයයි. බුද්ධ ප්‍රතිමාවට ද එකී කරුණ සාධාරණය. ඉපැරණි නටබුන් , අතර නිරුපද්‍රිත අවුකන , සමාධි බුද්ධ ප්‍රතිමා විශ්ව රසිකයනට අමතනුයේ ද මෙම අද්විතීය ප්‍රකාශන ගුණය නිසාම ය.
    බුද්ධ ප්‍රතිමාව කලා කෘතියක් ලෙස ගත් කල්හි එහි ප්‍රකාශන ශක්තිය වඩවාලන අංශද්වයක් වේ. කුළුණුබර, උපශාන්ත, ගුණය තුළින් සම්මා සම්බුදු ආධ්‍යාත්මය කැටි කරන සම්බුදු වත සහ බුදු බණ නිහඬව සංකේත කරන මුද්‍රා එකී අංශ දෙකයි. සාමාන්‍යයෙන් විස්තර කළහොත් මුද්‍රාව යනු යම් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේදී ශිල්පියා එහි දෑත පිහිටුවන ආකාරය ලෙස සරලව පැවසිය හැකිය. එමගින් බුද්ධ ප්‍රතිමාවට කිසියම් ආකෘතියක හැඩරුවක් එක් වුවා සේම ගැඹුරු එමෙන්ම විචිත්‍ර ධර්ම සංකල්ප පිළිබිඹු කර දැක්වීමක් ද සිදුවේ.
    මුද්‍රා යන වචනය පිළිබඳ විමසිලිමත් වූ විවිධ අදහස් කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමු වේ. මුද්‍රා පිළිබඳ ඉතා දීර්ඝ ලෙස සමීක්‍ෂණයක් කළ පඬිවරයෙකු වූ ආචාර්ය එෆ්. හොමෙල් පවසන අන්දමට ‘මුද්‍රා’ යන සංස්කෘත වදනෙහි උපත ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා විහිදෙයි. ඇසිරියානු වචනයක් වන මුසුරු (MUSURU) යන්නෙන් මුද්‍රා යන්න බිඳී ආ බව ඔහු පවසයි.
    ඇසිරියානු බසෙහි ‘මුසුරු’ යන්න ලිවීමේදී භාවිත කළ සංකේත හා සංඥා දැක්වීම සඳහා යොදා ගත්තකි. පසුව ‘මුසුරු’ යන්න පර්සියානු භාෂාවට ‘ මුස්රා’ (MUZRA) වශයෙන් සේන්දු වී සංස්කෘත භාෂාවේදී ‘ මුද්‍රා’ රූපය ගත් බව ආචාර්ය , හොමෙල්ගේ මතය වේ. ‘ මුද්‍රා’ යන වචනය නිරතුරුවම කිසියම් සංඥාවක් සංකේතවත් කර දැක්වීම සඳහා යෙදූ බව ඉතාම පැහැදිලි ය.
    බුද්ධ ප්‍රතිමාවල නිතර දකින, අපට නිතර හුරු පුරුදු බහුලව භාවිතයට ගැනෙන මුද්‍රා ගණනාවකි. භූමි ස්පර්ශ මුද්‍රාව, අභය මුද්‍රාව, සමාධි හෙවත් ධ්‍යාන මුද්‍රාව, විතර්ක මුද්‍රාව, ධර්මචක්‍ර මුද්‍රාව , වරද මුද්‍රාව, පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව ඉන් කිහිපයකි. අපට එතරම් හුරුනොවූ විදෙස් බුද්ධ ප්‍රතිමාවල යෙදෙන මුද්‍රා කිහිපයක්ද වේ. බුද්ධ පාත්‍ර මුද්‍රාව, අංජලී මුද්‍රාව , අභිෂේක මුද්‍රාව ඉන් සමහරක් ලෙස දැක්විය හැකිය. බුද්ධ ප්‍රතිමාවල යෙදෙන මුද්‍රා පිළිබඳව අප රට සම්බන්ධව ලැබෙන මුල්ම සටහන ථූපවංශයෙන් හමුවේ. කාල වකවානුව දෙවන පෑ තිස් රජ සමය තෙක් විහිද යයි. බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ වසන රමණීය බුද්ධ ප්‍රතිමාවක් දේවානම්පියතිස්ස මහ රජතුමා කරවන ලද බවත්, ශිලාමය ප්‍රතිමාවක් වූ එය අනුරාධපුර ථූපාරාමයෙහි තැන්පත් කොට පුද පූජා කළ බවත් එහි විස්තර කෙරේ.
    අපට හුරු පුරුදු මුද්‍රා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් ඉන් ප්‍රකාශ කෙරෙන ධර්ම සංකල්ප කෙබඳුදැයි තේරුම් ගැනීමට වෑයම් කරමු.

    භූමි ස්පර්ශ මුද්‍රාව :-

    අප හොඳ හැටි අසා පුරුදු මුද්‍රාවකි. මියන්මාරය , සියම , තායිලන්තය වැනි රටවල බහුල වශයෙන් යෙදෙන මුද්‍රාවකි. බුදු පියාණන් වහන්සේ යෝගාසන ඉරියව්වෙන් වැඩ සිටිමින් වමතෙහි ඇඟිලිතුඩු කෙළවරින් මහ පොළොව ස්පර්ශ කරන අයුරු මෙම මුද්‍රවෙන් නිරූපිතය.
    ආනන්ද කුමාරස්වාමි මහත්මා මේ මුද්‍රාව පිළිබඳ විස්තරයක් කරමින් මම විශ්වයේ ස්වභාවය අතැඹුලක් සේ දැනගතිමි” යන්න නිරූපණය වෙන බව ප්‍රකාශ කරයි.
    අරුලානන්ද ශාස්ත්‍රී මහත්මා පවසා සිටිනුයේ “ මා මරුත් දිනූ බවට මේ මිහිකත සාක්කි” ය යන අදහස් හැඟවෙන බවයි.
    ආචාර්ය , ජී. රාඹ් මහත්මා පවසනුයේ මෙම මුද්‍රාවන් දැක්වෙනුයේ මාරයා බුදුරජාණන් වහන්සේට අභියෝග කළ අවස්ථාවේ දුන් පිළිතුර සංකේතවත් කිරීමට භූමි ස්පර්ශ මුද්‍රාව යොදා ගැනෙන බවයි. “ තමන් පරාජයට පත් කළ බව හැකි නම් ඔප්පු කරන්නැයි මාරයා සම්බුදු පියාණන් වහන්සේට අභියෝග කළ අවස්ථාවේ “ මා තොප පරාජය කළ බවට මේ මිහිකත සාක්කි “ යැයි උන් වහන්සේ දුන් පිළිතුර මෙම මුද්‍රාවෙන් සංකේතවත් වන බව එතුමන් තව දුරටත් විග්‍රහ කරයි.
    භූමි ස්පර්ශ මුද්‍රාවෙන් ප්‍රකාශ වෙන මේ අරුත නිසාම අපේ බෞද්ධ බිතු සිතුවම් මෙන්ම සිදුහත් බෝසතුන් බුද්ධත්වය අවබෝධ කරගත් අවස්ථාව මූර්තිමත් කරන අවස්ථාවල මෙම මුද්‍රාවම යොදා ගැනීමට ශිල්පියා උත්සාහ ගත් බව පැහැදිලි වේ. දඹුල්ල මෙන්ම දෙගල්දොරුව වියන් සිතුවම් ඊට කදිම උදාහරණ වේ.

    අභය මුද්‍රාව :-

    බුද්ධ ප්‍රතිමා සඳහා ඉතා බහුලවම යොදා ගැණුනු මුද්‍රාවකි. හිටි බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී ශිල්පීන් අතර ඉතාම ජනපි‍්‍රය වූ බව පෙනේ. සුප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාව , රැස්වෙහෙර බුද්ධ ප්‍රතිමාව ,මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව , අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ බුද්ධ ප්‍රතිමා ඇතුළු ඉපැරැණි හිටි බුදු පිළිම සියල්ලටම පාහේ යොදා ඇත්තේ අභය මුද්‍රාවයි. ආශිර්වාද මුද්‍රාව කියා ද හඳුන්වනු ලබන මෙම මුද්‍රාව පිළිබඳ අරුත් කිහිපයක් ම විද්වතුන් විසින් සැපයිණ. අභය , භය නොවීම නිර්භය බව මෙම මුද්‍රාවෙන් නිරූපිත බව මූලික අරුතයි.
    “ ඈත ධූලින් වැසි ගිය ඇත් රජය. මෑත සවණක් ගන බුදු රැසින් සැඳී ගිය බුදුරජාණෝය. ඈත රත් වූ යවට වැනි ඇස් ඇති රජය . මෑත නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝය. ...” ආදි වශයෙන් රස භාවයන් ගෙන් අනූනව සාහිත්‍ය ලෝකයේ විචිත්‍ර වර්ණනයට ලක් වු නාලාගිරි දමනය චිත්‍ර / මූර්ති ශිල්පීන් උපුටාගෙන ඉන් නිර්මාණය කර ගත් මුද්‍රාවක් ලෙස අනුමාන කෙරේ. සුරාපානය කොට මත් ව නාලාගිරි ඇත් රජු බිහිසුණු වෙසින් ඉදිරියට දිව එත්ම බුදුරජාණන් වහන්සේ අභය මුද්‍රාවෙන් යුක්තව පෙරමගට වැඩි බවත්, නාලාගිරි ඇත් රජු බුදු හිමි සිරිපතුල් අබියස දණ ගැසූ බවත් සඳහන්ය. බුදුපියාණන් වහන්සේ ඇතුට ආශිර්වාද කළ හෙයින් ඉන් උපුටා ගත් මෙම මුද්‍රාව ද ආශිර්වාද මුද්‍රාව ලෙස හඳුන්වනු ලැබේ.
    අභය මුද්‍රාවෙන් සිංහ ශක්තිය , හෙවත් යටි සිතෙහි වීර්යය සංකේතවත් කරන බව තවත් අදහසකි.

    ධ්‍යාන මුද්‍රාව හෙවත් සමාධි මුද්‍රාව :-

    මෙම මුද්‍රාවෙන් නෙළන ලද බුද්ධ ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් සිරිලක නටබුන් අතර වේ. අනුරාධපුර අභයගිරි විහාර සංකීර්ණයට අයත් ලෝ ප්‍රකට සමාධි බුද්ධ ප්‍රතිමාව, තොලුවිල බුද්ධ ප්‍රතිමාව, පොළොන්නරුව ගල් විහාරයේ වැඩහුන් බුද්ධ ප්‍රතිමා වටදාගේ බුද්ධ ප්‍රතිමා මෙන්ම දඹුල්ල දෙගල්දොරුව, ගඩලාදෙණිය , ලංකාතිලක විහාරවල නිර්මිත බුද්ධ ප්‍රතිමා බොහොමයක් මේ මුද්‍රාව නිරූපිතය .
    බණ පොතේ සඳහන් ආකාරයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් කල් ගෙවා අවසන සිදුහත් බෝධි සත්වයන් ලෙස ඉපිද උතුම් බුද්ධත්වයට පත් අවස්ථාව මෙම මුද්‍රාවෙන් කියැවේ. ඇසතු වෘක්‍ෂ මූලයෙහි දී ධ්‍යාන වඩා සම්මා සම්බුද්ධ ඤාණය අවබෝධ කරගත් අවස්ථාව මින් නිරූපිතය. එනිසාම ධ්‍යාන මුද්‍රාව නම් වේ. සමාධි මුද්‍රාව නමින් හැඳින්වෙනුයේ සමාධිගත ආධ්‍යාත්මික ඒකාග්‍රතාව මෙමගින් මූර්තිමත් කරන බැවිනි.

    විතර්ක මුද්‍රාව :-

    අයහපත් දේ වෙන් කර යහපත් දේ පමණක් නෙළා ගන්න යන අරුත විතර්ක මුද්‍රාවෙන් නිරූපණය වේ. මහපටඟිල්ලේ කෙළවර දබරැඟිල්ලේ කෙළවර හා එක්ව ඇති අයුරින් මේ මුද්‍රාව සැකසේ. යමක් නෙළන විලාසයක් හෝ නෙළා ගත් යමක් ඇඟිලි තුඩු වලින් රඳවා ගෙන සිටින විලාසයක් මෙයින් හැඟවේ. ‘හොඳ දේම නෙළාගන්න යන්න ඉන් නිරූපණය වුවද මුද්‍රා පිළිබඳ ගවේශකයෙකු වන ඩේල් සෝන්ඩර්ස් ඊට වඩා වෙනස් අදහසක් ගෙන හැර දක්වයි. විතර්ක මුද්‍රාවේදී ඇඟිලි තුඩු සම්බන්ධ වී ඇති ආකාරයෙන් චක්‍රයක් නිරූපණය වන බවත්, ඉන් ධර්ම නීතිය පිළිබිඹු වන බවත් එතුමා පෙන්වා දෙති.

    ධර්ම චක්‍ර මුද්‍රාව :-

    බුදුරජාණන් වහන්සේ එදා බරණැස , ඉසිපතනයේ මිගදායේ දී පස්වග මහණුන් අරභයා මංගල ධර්ම දේශනය වන ධම්ම චක්කප්පවත්තන සූත්‍රය, දේශනා කිරීම සංකේතවත් කිරීම පිණිස යොදාගත් බොහෝ ප්‍රචලිත මුද්‍රාවකි. නමුදු ආචාර්ය , ආනන්ද කුමාරස්වාමි මහතා වෙනස් මතයක් ඉදිරිපත් කරයි. කෙළවරක් නැති සංසාර චක්‍රයේ ස්වභාවයද, අෂ්ඨ ලෝක ධර්මයේ හා විශ්වයේ පැවැත්ම පිළිබඳ විද්‍යාත්මක න්‍යාය ඉන් නිරූපණය වන බව එතුමා පැහැදිලි කරයි.

    වරද මුද්‍රාව :-

    වරද මුද්‍රවෙන් දැක්වෙනුයේ සත් වග වෙත කිසියම් වරයක් පිරිනැමීමයි. උත්තරීතර දයාව ද කරුණාව ද සියලු සත්ත්වයනට එක හා සමානව පිරිනැමීම මෙයින් නිරූපණය වන බව සඳහන් වේ.

    පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව :-

    වැළමිටෙන් ඉදිරියට නැමූ දෑත ළය මත බැඳගෙන සිටින ආකාරය දැක්වෙන මුද්‍රාව පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව ලෙස හැඳින්වේ.
    පොළොන්නරුව ගල් විහාර බුද්ධ ප්‍රතිමා අතර දක්නට ලැබෙන හිටි බුද්ධ ප්‍රතිමාවේද, මහනුවර සම්ප්‍රදායේ බිතු සිතුවම් අතර ඇඳි අනිමිසලෝචනය දක්වන බිතු සිතුවම් වලද මේ මුද්‍රාව යොදා ඇත.
    මෙරට දේශීය බුද්ධ ප්‍රතිමාවල යෙදෙන මුද්‍රා කිහිපයක් මෙලෙස විස්තර කොට දැක්විය හැකි වුව ද විශේෂ බුද්ධ ප්‍රතිමා වල යෙදෙන මුද්‍රා කිහිපයක් ද විමසා බලමු.

    බුද්ධ පාත්‍ර මුද්‍රා :-

    බුද්ධ පාත්‍රයෙන් සංකේතවත් වන්නේ දානයයි. දානය මැනැවින් හඳුනාගත් තැනැත්තා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ හඳුනා ගත්තේ වෙයි. ලෝභයෙන් මිඳීම මෙයින් සංකේතවත් වේ.
    බුද්ධ පාත්‍ර මුද්‍රාවෙහි දෑත් යොදා ඇත්තේ පාත්‍රයක් අතින් රඳවා ගත් විලාසයෙනි. එසේම තථාගතයන් වහන්සේ තම පාත්‍රය කෙනෙකුට පිරිනමන්නට සූදානම්ව සිටින අවස්ථාවක් ද නිරූපණය වේ.

    අභිෂේක මුද්‍රා :-

    පිදිය යුත්තා පිදීම යන උතුම් ගුණාංගය මෙයින් සංකේතවත් කෙරේ. බෝධි සත්ත්වයන් වහන්සේ පස්මරුන් බිඳ සම්‍යක් සම්බෝධිය ලැබීමෙන් පසු සර්වඥතා ඤාණය අවබෝධ කර ගැනිමේදී පිහිට වූ බෝධීන් වහන්සේට ආචාර කිරීම අභිෂේක මුද්‍රාවෙන් නිරූපණය වේ. මෙයට තව අරුතක් ගෙන එන මහාචාර්ය ජී.රාඕ “ මම සත්‍යයට ආචාර කරමි. මංගල කරුණු පිළිපදින්නාට ආචාර කරමි “ යන සංකල්පය මින් සංකේතවත් කරන බව පවසයි.

    අංජලී මුද්‍රාව :-

    අභිෂේක මුද්‍රාවට වඩා වෙනස්ය. මෙහි දි ඇඟිලි එකිනෙක අතර පටලැවී ඇති බැව් පෙනේ. මින් නිරූපිත සංකේත කීපයකි.
    ධර්මයෙහි හිස් තැනක් නොමැති බව ප්‍රධානය. ධර්මය සත්‍යය හා අන්‍යොන්‍ය වශයෙන් බැඳී ඇති බව නව අදහසකි. ධර්මය ජීවිතයට සම්බන්ධය. ධර්මයෙන් තොර සැපතක් නැත. විමුක්තිය දිනීමට ධර්මය සමග ඒකීය ලෙස හැසිරිය යුතුය යන අදහස් ද මින් කියැවෙන බව පිළිගැනේ.
    මෙකී කරුණු වලින් හෙළිවන්නේ කලා ශිල්පියෙක් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණයේදි එහි දෑත් හසුරුවන ලද්දේ කිසියම් ඉරියව්වකින් දැක්වීමට වඩා සම්බුද්ධ ධර්මයෙහි උතුම් ගුණාංග පිළිබඳ ගැඹුරු අරුත් කවන්නට බව සඳහන් කළ හැකිය.

    ශුචි හස්ත මුද්‍රාව :-
    කටක මුද්‍රාව :-
    කර්තරී මුද්‍රාව :-
    පටිග්ගහණ මුද්‍රාව:-
    භූත දමන මුද්‍රාව :-
    වීමංසා මුද්‍රාව :-
    ව්‍යාඛ්‍යාන මුද්‍රාව :- මෙම මුද්‍රාව බුදුරජාණන් වහන්සේ යම්කිසි ගැටලුවක් ලිහන ආකාරයෙන් දැක්වෙන්නකි. මෙය දකුණත මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල එක් කොට ගෙන පිහිටුවා ගත් ආකාරයෙන් දැක්වෙයි. මෙය බහුල වශයෙන් ම දැක්ක හැක්කේ හිටි පිළිමවලයි. විශේෂයෙන් මහනුවර යුගයේ පිළිමවල සුලබ වැ පැනෙන්නකි. මහායාන ප්‍රතිමාවල මෙන් ම හිනයාන ප්‍රතිමාවල ද බහුල වශයෙන් දක්නට ලැබෙන විතර්ක මුද්‍රාව ද මෙයයි. ඥාන මුද්‍රා නමින් ද මෙය හැඳින් වේ.

    අට මහා කුසල් වලින් එකක් වන බුද්ධ ප්‍රතිමා නිර්මාණය

    බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රතිමා නිර්මාණය කිරීමත් මුල් අවදියේ නොවීය. ඒ වෙනුවට ආසනය, පද්මය, ධර්ම චක්‍රය, නෙළුම්මල, ආදී සංකේත භාවිතා කළ බව සඳහන් වේ. සාංචි හා භාරුත් ස්ථුපවල බුද්ධ රූපය දැක්විය යුතු ස්ථානවල ඇත්තේ වෙනත් සංකේත වීම එයට නිදසුන්වේ.
    නමුත් කොසොල් මහ රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි අවදියේම සඳුන් ලීයෙන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරවූ බව කොසල බිම්ඹ වර්ණනාවේ සඳහන් වේ. මෙය පසුකාලීන නිර්මාණ වලටත් ගුරු වූ බව සඳහන් වේ. ඒ බව පාහියන් දේශාටන භික්ෂූන් වහන්සේගේ ගමන් විස්තරයෙහි දැක්වේ. රනින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළබව කුස ජාතකයේ සඳහන්වේ. මෙසේ ඒ පිළිබඳ යම් යම් තොරතුරු සඳහන් වේ.
    කෙසේවෙතත් මහින්දා ගමනයෙන් පසු දෙවනපෑතිස් රජතුමා බුදුපිළිමයක් නිර්මාණය කළබව මහා වංශයේ සඳහන් වේ. මේ කාලයේ සිට මූර්ති කලා චිත්‍ර නාට්‍ය ආදී සෑම අංශයකම පිබිදීමක් සිදුවී ඇති බව ඉතිහාස ගත තොරතුරු අනුව පැහැදිළි වේ. අනුරාධපුර යුගයේ සිට විවිධ රජවරු පිළිම නෙළීම සිදුකළබව ඉතිහාස ග්‍රන්ථයන්ගෙන් පැහැදිළිවේ.
    අනුරපුර ථූපාරාමයෙහි රනින් කළ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළ බවත් දුටුගැමුණු රජ රුවන්වැලි මහා සෑයේ බුද්ධ පර්යන්තයෙන් යුත් රන්පිළිමයක් ගර්භයේ තැන්පත් කළ බවත් සඳහන් වේ.


    > DhammaDana
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ගොඩක් වටිනවා මේ තොරතුරු
    බොහොම පිං අපිත් එක්ක බෙදාගත්තාට !!!

    රෙප් +

    බුදු සරණයි

    Good post :) +

    බුදු සරණයි !!

    තැන්ක්ස් මචෝ.....
    රෙප්....



    :)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බුදු සරණයි..!

    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:
     
    Last edited:

    Similar threads