බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි පිටසක්වළක් පිළිබඳ අපට පැහැදිලිව හඳුනා ගත හැකි සුවිශේෂ තැනක් වන්නේ අසුර ලෝකයයි. එය සතර අපායෙන් (තිරිසන්, ප්‍රේත, අසුර, නිරය) එකකි. අපට නොපෙනෙන, බුද්ධ ඥානයෙන් ඇතැයි කියන මේ අසුර ලෝකය යනු කුමක්ද? සුර නොවන තැන අසුරයි. ධර්මයේ විස්තර වන හැටියට අසුරයෝ දෙවියන්ට වඩා බල සම්පන්න සත්ව කොට්ඨාසයකි. ඒ කෙසේද යත් දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් පැවැතියොත් නියත වශයෙන් අසුරයෝ දිනා ගති. ඔවුහු දෙවියන්ට වඩා දඩබ්බරය, චණ්ඩය, සැඩය. අසුරයන්ට විශ්වය පුරා වේගයෙන් ගමන් කළ හැකිය. ඔවුන්ට අපායේ සිට දිව්‍ය, බ්‍රහ්ම ලෝක කරා ක්ෂණයෙන් යා හැකිය.
මේ අසුර ලෝකයේ කොටස් පහකි. එනම්,
1. දේව අසුරය
2. විනිපාතික අසුරය
3. වේමාණික අසුරය
4. ලෝකාන්තරික අසුරය
5. ප්‍රේත අසුරය
ඉහත කී අසුරයන් අතුරින් ප්‍රේත අසුරයන් පමණක් නිරෙයහි වාසස්ථාන ගනී.
දේව අසුරයෝ තමන්ගේ සශ්‍රීකත්වයෙන් හා සම්පත්තියෙන් දෙවියන්ට සමාන කොටසක් බව කියැවේ. විනිපාතික අසුරයෝ ඉතා බලවත් කොටසක් වේ. නිරයෙහි ප්‍රධානියා වන යමරජා ද විනිපාතික අසුරයෙකි. යමපල්ලෝ ද අපායේ රජුගේ සේවකයෝ ද අසුරයෝමය.
නිරා දුකට වැටෙන නිරි සතුන්ට දඬුවම් නියම කරන්නේ මේ යම රජු වන අසුරයාය. ලෝදිය පොවමින්, කටුගස්හි නංවමින්, අත් පා කපමින්, උල්වලින් අනිමින් නිරි සතුන්ට දැඩි දඬුවම් දෙන්නේ යම රජුගේ ගෝලයන් වන අසුර කොටස්ය.
නමුත් විනිපාතික අසුරයන්ගෙන් වැඩි කොටස දිව්‍ය ලෝකයට අයත් වේ. ඒ අතර ප්‍රියංකර මාතු, උත්තර මාතු වැනි අසුර නායකයෝ ද ප්‍රමුඛය.
ලෝකාන්තරික අසුරයෝ, ලෝකාන්තරික නිරයට අයත් වෙන්නාහ.
මේ අනුව අසුරයන්ගෙන් එක කොටසක් නිරයේ බලවතුන් වන අතර අනෙක් කොටස දිව්‍ය ලෝකයේ බලවතුන් වෙති.
අට්ඨ කථාවේ දක්වන පරිදි අසුර ප්‍රධානියා පාලියෙන් අසුරින්ද නම් ඔහුම සංස්කෘතයෙන් අසුරෙන්ද්ර වේ. බලවත් අසුරයන් කීප දෙනෙක් ගැන කතා කළොත් පහාරාද යන් ඉන් කෙනෙකි. ඔහු මහමුහුදේ සුමේරුගිරි පර්වතයේ වාසය කරන බව කියැවේ.
සමහර බලවත් අසුරයන්ට ඉර - හඳ - තාරකාවල ගමන පවා වෙනස් කළ හැකිය. ඇතැමුන්ට රාත්‍රියක් දහවල කළ හැකිය. සමහරකුට දහවල රාත්‍රිය කළ හැකිය. විශ්වයේ එපමණට බලයක් අසුරයන්ට පැවැත්විය හැකිය.
ගංගා මූදු ගොඩ ගැල්විය හැකිය. කඳු සමතලා කළ හැකිය. සමතලා බිම් මැටි පිඬක් සේ ගෙන කඳු කළ හැකිය. බණ පොතේ වේරෝචන අසුර නායකයා යනු රාහුට කියන නමකි. කේන්ද්‍රයේ රාහු බලවත් නම් එය වේරෝචන අසුරයා බලවත් වීමකි. එය තවත් දීර්ඝව යාහැකි මාතෘකාවකි.
දෙදෙව් ලොවට අධිපති සක්‍ර දිව්‍ය රාජයා විවාහ වී සිටින්නේ අසුර කාන්තාවක සමඟය. ඇය වේමාණික අසුර ලෝකයේ සිටි සුන්දරම අසුරාංගනාවයි. සුජම්පතිකාව නමින් අෑ හඳුන්වයි.
මේ සුජම්පතිකාවට ස්වයං වරයක් විය. ඒ තමන්ගේ විවාහයට තමාට කැමැති අසුරයකු තෝරා ගැනීමයි. මේ සඳහා බලවත් අසුර නායකයෝ ඉතා ලස්සනට හැඳ පැළඳ සුජම්පතිකාව හමුවට ආහ. මේ අසුරාංගනාවගේ සෝබාව දුටු තාවතිංස දෙව්ලොව වෙසෙන සක්‍ර දෙවියන්ට ද ඇයගේ අත ගැනීමේ උවමනාව ඇති විය.
සක්‍රයා ද බලවත් අසුරයකු පරිද්දෙන් හැඳ පැළඳ මෙහි ආහ. ෙත්රීම අවසාන විය. සුජම්පතිකාව තෝරා ගත්තේ අසුර වෙස් ගත් සක්‍රයාය. සක්‍ර දෙවියන් මේ අසුරාංගනාව සමග තාවතිංස දිව්‍යා ලෝකයට ගියේය.
තමන්ගේ අසුර ලියක් පැහැර ගත්තැයි අසුරයන් හා තාවතිංසේ දෙව්වරු තවමත් සටනකය.
lankadeepa.lk