බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේය කියන අයට ....
මේ වන විට සිංහල රටේ පවතින එක්තරා වාදයක් වන්නේ බුදුරජාණන්වහන්සේ ලංකාවේ උපන්නේ ද නැද්ද යන වාදය යි. ඒ වාදය තුළ බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේයැයි කියන අය වෙනුවෙන් මේ කෙටි ලිපිය සැකසීමට සිතුවෙමි.
බුදුරජාණන්වහන්සේ ලංකාවේ උපන්නෙකියි යන ස්ථාවරය සඳහා ජම්බුදීපය ඉන්දියාව නොව ලංකාව ය යන මතය ද සමාජගත කිරීමට සිදු ව තිබේ. මෙය ඉතා සිහිබුද්ධියෙන් ඉදිරිපත් කරන මතයකි. ඒ සඳහා ඕනෑතරම් සාක්ෂි, සාධක මේ වන විට ඉදිරිපත් කර ඇත. කෙසේවෙතත් ජම්බුදීපය යන රට කුමක්දැයි ස්ථිරව සනාථ කර ගැනීමට නොහැකි වී තිබේ.
ඇත්තටම ජම්බුදීපය ඉන්දියාව ද ලංකාවද? මේ වාදය තුළ ඇවිලෙන එක් අඟුරු කැබැල්ලකි. බහුතරයකගේ නැත්නම් ලෝකවාසීන්ගේ විශ්වාසය අනුව (ලංකාවේ එක්තරා කොටසකගේ හැර) ජම්බුදීපය යනු ඉන්දියාවයි. නමුත් ඉන්දියාවට ජම්බුදීපය යැයි කීවේ කව්ද? මේ පිළිබඳව විමසීමේ දී ඉන්දියාව හැඳින්වූ නම් මොනවාද යන්න හඳුනා ගත යුතු ව තිබේ.
ඊට පෙර ලංකාවේ දී ඉන්දියාව හැඳින්වූ පැරණි නාමය කුමක් ද යන්න දැක්විය යුතු ය. දැනට අප සතුව ඇති පැරණි ඉතිහාස මූලාශ්‍රයක් වන (එහි දැක්වෙන සමහරක් කරුණු පුරාවිද්‍යාත්මකව සනාථ ව තිබේ) මහාවංශයේ දී අද ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුන්වා ඇති ආකාරය දක්නට ලැබේ. මහාවංශය ක්‍රි.ව. 5 වන සියවසේ දී රචනා වන විට ක්‍රි.ව.4 වන සියවසේ රචනා වී තිබූ දීපවංශය ලංකාවේ තිබිණි. අදත් එය ඇත. ඒ අනුව ද ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුනා ගත හැක. මේ වංශ කථා ලියැවෙන්නේ ඒ වන විට ලංකාවේ තිබුණු හෙළ අටුවාව ආශ්‍රයෙනි. ඒ අනුව ඒ අටුවාවේදීද අද ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හැඳින්වෙන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට අමතරව ඉන් ඉදිරියට ලියැවුණු බොහෝ ග්‍රන්ථවල ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුනා ගත හැක. පූජාවලිය ඊට හොඳම නිදසුනකි. දඹදෙණි යුගයේ රචනා වූ එහි ධර්මාශෝක රජු ගැන සඳහන් කරන විට දඹදිව පාටලීපුත්‍රය ගැන සඳහන් කර තිබේ. මීට අමතරව අවස්ථා කීපයකදී ම දඹදිව ගැන පූජාවලියේ සඳහන් වේ. සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය ආදී සාහිත්‍ය ග්‍රන්ථවලද එසේමැයි. සද්ධර්මාලංකාරයේ දී ලංකාවේ සිට දඹදිව බෝධිමණ්ඩලයට වැඩි භික්ෂූන්වහන්සේලා ගැන පවා සඳහන් වේ. මේ ලංකාවේ සාහිත්‍යයෙන් කොටසක් පමණි. මහාවංශය ඇතුළු ග්‍රන්ථවලදී ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හැඳින්වීමට හේතුවක් ඇත. එය හඳුනාගත යුතුව තිබේ. ඒ සඳහා ජම්බුදීපය යන නම භාවිතා කළ තැනැත්තා හඳුනාගැනීමට අවශ්‍යය.
ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉන්දියාව හඳුන්වන ව්‍යවස්ථානුකූලව පිළිගත් නම් දෙකකි. ඒ ඉන්දියාව සහ භාරතය යි. මීට අමතරව හින්දුස්ථාන් යන නමද ඉන්දියාවට භාවිතා කරයි. එහෙත් එය ව්‍යවහාරයේ මිස ව්‍යවස්ථාපිතව පිළිගෙන ඇති නමක් නොවේ.
ඉන්දියාව යන නම ක්‍රි.පූ.5 පමණ සිට ඉන්දියාවට භාවිතා වී ඇති බවට සාධක ඇත. නමුත් ඒ ඉන්දියාව යනු අද ඉන්දියාව නොව පාකිස්ථානය ද ඇතුලු විශාල භූමි ප්‍රමාණයකි. ඉන්දියා යන නම ග්‍රීක භාෂාවෙන් බිඳී පැමිණියක් වේ. මෙගැස්තීනියස් එය ප්‍රථමයෙන් ම භාවිතා කරන්නට ඇති බව පෙනී යයි. එය ග්‍රීක භාෂාවට යොමු වන්නේ සින්දු යන සංස්කෘත පාඨයෙනි. ඒ සින්දු ගංගාව හේතුවෙනි. අද සින්ද් ප්‍රදේශය පාකිස්ථානයේ ය. මේ සින්දු යන්න පැරණි පර්සියානුවන් හඳුන්වනු ලැබූයේ හින්දු ලෙසිනි. ක්‍රි.පූ. 516 දී 1 වන ඩේරියස් රජු සින්දු ප්‍රදේශයේ කොටසක් ආක්‍රමණය කරනු ලැබුවේ ය. එතැන් පටන් හින්දු ලෙසින් ඒ කොටස හඳුන්වන ලදි. පර්සියානු අධිරාජ්‍යයා වෙනුවෙන් ඉන්දු ගඟ දිගේ පහලට පැමිණි යාත්‍රිකයෝ ඒ නම ග්‍රීකයන්ට දැනුම් දෙන්නට ඇති බව සිතීමට කිසිඳු බාධාවක් නැත. හෙරඩෝටස්ගේ ජියෝග්‍රෆි කෘතියේ දී ඉන්දුස් පාඨය භාවිතා වී තිබේ.
සිහි තබා ගන්න. මේ කාලය වන විට ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පවතින භූමියකි. එය ඉන්දියානු භූමියේ කොටසක් නොවේ.
එසේම හෙරඩෝටස් මේ කලාපයේ භූ ලක්ෂණ ගැන නිශ්චිතව නොදැන සිටියේ වුවත් ඒ කොටසේ ජීවත්වන පුද්ගලයන් හැඳින්වීම සඳහා ඉන්දියානු නම භාවිතා කර ඇත.
ඇලෙක්සැඩර්ගේ කාලයේ දී ද ඉන්දියාව හැඳින්වූයේ ඉන්දියාව ලෙසින්ම ය. ඇලෙක්සැන්ඩර්ගේ රාජ්‍ය තාන්ත්‍රික දූතයෝ ගංගා ගඟ දිගේ උතුරු ඉන්දියාවේ සංචාරයේ ද යෙදිනි.
ඇල්ප්‍රඩ් රජුගේ පවුලස් ඔරෝසියස් පරිවර්තනයේ දී ද ඉන්දියාව නම භාවිතා වූ අතර මධ්‍යතන ඉංග්‍රීසියේ දී ප්‍රංශ උරුවට යමින් ඉන්දෙ නම භාවිතා විනි. පසුව 17 වන සියවසේ පමණ සිට වත්මන් ඉංග්‍රීසි භාවිතාවේදී ඉන්දියා යන නම භාවිතා වෙයි. මේ ඉන්දියාවේ කතාවයි. දැන් අපි හින්දුස්ථානයට යොමු වෙමු.
පෙර කී ලෙස 1 වන ඩේරියස් ක්‍රි.පූ. 516 දී පමණ ඉන්දු නිම්නය ආක්‍රමණය කරනු ලැබූ අතර එතැන් පටන් සින්දු යන්නෙහි පර්සියානු භාවිතාව වන හින්දු යන්න භාවිතා විය. මේ නම ඊජිප්තුවේ ආකිමිඩියානු යටත් ප්‍රදේශයේ පවා භාවිතා ඇති බවට ක්‍රි.පූ. 500 පමණ ලියැවුණු 1 වන ඩාරියස්ගේ ව්‍යවස්ථාව සාක්ෂි දරයි. පර්සියානුවන් විසින් ම ස්ථාන් යන්න ද ක්‍රි.පූ. 1 වන සියවසේ පමණ සිට හින්දු යන්නට එකතු කර භාවිතා කරන්නට ඇතැයි සිතීමේ බාධාවක් නැත. ඒ අනුව ක්‍රි.පූ. 262 සිටි 1 වන ශපූර්ගේ Naqsh-e-Rustam පුවරු ලිපියේ දී සින්ද් යන්නට හින්දුස්ථාන් යන්න භාවිතා කර තිබේ. බාබුර් අධිරාජ්‍යයා එය විස්තර කර ඇත්තේ ‘එය නැගෙනහිරින්, දකුණින් සහ බටහිරින් මහා මුහුදෙන් වට වී ඇත‘ ලෙසිනි.
අරාබියානුවන් විසින් ද හින්දු යන්න භාවිතා කර ඇති අතර ඔවුන් පසුව ඉන්දියාව ආක්‍රමණය කරනු ලැබූ විට භාවිතා කර ඇත්තේ හින්දුස්ථාන් යන නමයි. ක්‍රි.ව.17 වන සියවසේ දී හින්දුස්ථාන් නම ද ඉංග්‍රීසියට ඇතුල් විනි.