බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දිනචරියාව
ගෞතම බුදුරජාණන් වහන්සේගේ
අසිරිමත් දිනචරියාව
අප සරණ ගිය, අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දිනචර්යාව දැනගැනීමට ඔබත් කැමතිද?
සාමාන්‍ය මනුෂ්‍යයෙකුට හිතාගන්නවත් බැරි තරම් සුන්දර වූ මේ වැඩපිළිවෙල තුළ බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක්ම ගත කළ ආකාරය සැබැවින්ම විස්මය ජනකයි.
බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව ප‍්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පෙරබත්කිස. අනිත් එක තමයි පසු බත්කිස.
පෙර බත්කිස කියන්නේ මේකටයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ උදෑසන පිබිදි මොහොතේ පටන් දානය වළඳින වේලාව දක්වා කාලය. උන්වහන්සේ දවස ආරම්භ කරන්නේ උදෑසනින්ම අවදිවෙලා. ඒකට හේතු කීපයක් තියෙනවා. උපස්ථාන කරන අයගේ පහසුව පිණිසත්, ශරීරය සෞඛ්‍යය මනාව පවත්වා ගැනීම පිණිසත්.
උදෑසනම අවදි වී මුව සෝදා ගෙන පිණ්ඩපාතයට වඩින්නට කාලය පැමිණෙන තෙක් භාවනානුයෝගීව කල්ගත කරනවා. පිණ්ඩපාතය පිණිස කල් පැමිණි විට පාත‍්‍ර සිවුරු රැගෙන ඇතැම් විට තනියම පිණ්ඩපාතයේ වඩිනවා. සමහර විට පිණ්ඩපාතයේ වඩින්නේ භික්ෂූන් වහන්සේලා සමඟයි. ගොඩක් දවස්වලට උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ සාමාන්‍ය භික්ෂුවක් පිණ්ඩපාතේ වඩිනවා වගේ සාමාන්‍ය ආකාරයටයි.
ඒත් සමහර දවස්වලට පිණ්ඩපාතේ වඩින විට මෙන්න මේ වගේ මහා ආශ්චර්යවත් දේ සිදුවෙනවා.
ඒ වගේ දවස්වලට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස ගමකට හරි නියම් ගමකට පිවිසෙද්දී මේ වගේ හරිම අපූරු සිදුවීම් සිදුවෙනවා. සිහිල් සුළං රැළි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින පෙරමඟට හමනවා. එ් සිහිල් සුළං රැුළි වලින් මග දෙපස ඇති දූවිලි ඉවත් කරලා මාර්ගය පිරිසිදු කරලා දෙනවා. අහසේ වළාකුලූ වලින් වැසි බිඳු එක දෙක ඇදහැලෙමින් පොළොව තෙත් කරනවා. එතකොට මාර්ගයේ දූවිලි ආදිය ඇවිස්සෙන්නේ නෑ. ශාන්තව, පැහැදිලිව තියෙනවා. වළාකුළු වියනක් වගේ උන්වහන්සේ සිරසට ඉහළින් ගමන් කරනවා.
ඒ වගේ සිහිල් සුළං රැල්ලේ පාවී ගෙන එන ලස්සන ම ලස්සන මල් උන්වහන්සේ වඩින මාර්ගයේ විසිරෙනවා. අමුතුම සුවඳක් ඒ මුළු පළාත පුරාම පැතිරිලා යනවා. පොළොවේ තියෙන විෂම තැන්, ඒ කියන්නේ වළ ගොඩැලි ආදිය නැතිවෙලා පොළොව සම වෙනවා. උස් තැන් පහත් වෙනවා. පහත් තැන් උස් වෙනවා. මාර්ගය හරියටම සමතලා වෙනවා. එතකොට උන්වහන්සේ පා තබා වඩිද්දී මුළු පාදයම ඒ සමතල පොළොවේ මනාව ස්පර්ශ වෙනවා. සමහර වෙලාවට උන්වහන්සේ වඩිද්දී ඒ ශ‍්‍රී පාදයන් පිළිගන්නට පොළොවෙන් අලංකාර මල් පවා මතුවෙනවා.
සමහර දවස්වලට උන්වහන්සේ පිණ්ඩපාතය පිණිස ගමට පිවිසෙද්දී, ඒ ශ‍්‍රී ශරීරයෙන් සවණක් ඝන බුදුරැස් විහිදෙනවා. ඒ බුදුරැස් වලින් මාර්ගය දෙපස මැදුරු, මාළිඟා ආදිය රන්වන් පැහැයෙන් දීප්තියෙන් බබලනවා. ඇතුන්, අශ්වයන්, කුරුල්ලන් ඒ ඒ තැන්වලම සිටිමින් මිහිරි නාදයන් පවත්වනවා. ඒ වගේම බෙර, වීණා ආදී පඤ්ච තූර්ය භාණ්ඩයන්ගෙන් මිහිරි නාදයන් නිකුත් වෙනවා. මිනිසුන් පැළඳගෙන ඉන්නා ආභරණ පවා මිහිරි හඬින් නද දෙනවා.
ඔය ලකුණු මඟ දෙපස ඇතිවෙද්දී ඒ ප‍්‍රදේශයේ මිනිස්සු ‘අද නම් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස මේ ප‍්‍රදේශයට වඩින සේක’ කියලා දැනගන්නවා. ඒ අය පිරිසිදු ඇඳුමින් සැරසිලා, සුවඳ මල් ආදිය අරගෙන සැදැහැ සිත පෙරට අරගෙන තම තමන්ගේ ගෙවල් වලින් නික්මිලා පෙරමඟට එනවා. තමන් රැගෙන ආ මල් සුවඳ විලවුන් ආදිය බුදුරජාණන් වහන්සේට පූජා කරලා වන්දනා කරලා අප‍්‍රමාණ විදිහට පින් රැස් කරගන්නවා.
බුදුරජාණන් වහන්සේ දැකීමෙන්ම සිත් පහන් වෙන ඒ උපාසක, උපාසිකාවෝ ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අද අපේ ගෙදරට දානයට ස්වාමීන් වහන්සේලා දස නමක් වඩම්මවා දෙන්න. ස්වාමීන් වහන්සේලා විසි නමක් වඩම්මවා දෙන්න. ස්වාමීන් වහන්සේලා සියක් නමක් වඩම්මලා දෙන්න’ කියලා ඉල්ලා සිටිනවා.