බුදු දහම සජීවී, ඒත් අපි?
බුදු දහමේ එක් ගුණයක් වන්නේ එහි ඇති අකාලික ගුණයයි. ඕනෑම කලක දී ධර්මයෙන් ඵල ලබා ගත හැක. නමුත් ඒ සඳහා ධර්මයට අනුව ජීවිතය හැඩ ගසා ගත යුතු වේ. එසේ නොවන්නට එහි ඇති රසය විඳිය නොහැක. බුදුරජාණන්වහන්සේ තමුන්ගේ ගුරු තනතුරේ පිහිටුවා ගත්තේ ධර්මයය. ධර්මය එතරම් උතුම් වේ.
පළමු ධර්ම දේශනාවේදී බුදුරජාණන්වහන්සේ මිනිසා විඳිනා දුක සහ ඒ දුකට හේතුව, දුක නැති කළ හැකි ආකාරය, ඊට මාර්ගය විස්තර කළ සේක. ඒ අනුව දුකට හේතුව බුදුරජාණන්වහන්සේට අනුව තණ්හාව වේ. තණ්හාව නැති කිරීම ගැන ත්‍රිපිටකයේ ඕනෑ තරම් දේශනා ඇත. සැපක් විඳීමට අවශ්‍ය නම් තණ්හාව ක්ෂය කළ යුතු බව ඒ සියල්ලේම සාරාංශය වේ. ඒ තුළදී අපට හමුවන ප්‍රසිද්ධ ගාථාවක් ඇත.
තණ්හාය ජායතී ශෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි ශෝකෝ කුතෝ බයං
තණ්හාව ශෝකය ඇති කරයි. තණ්හාව බිය ඇති කරයි. තණ්හාව නැති තැන ශෝකය ද බිය ද නැත.
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි ශෝකෝ කුතෝ බයං
තණ්හාව ශෝකය ඇති කරයි. තණ්හාව බිය ඇති කරයි. තණ්හාව නැති තැන ශෝකය ද බිය ද නැත.
ඔබම මේ ගාථාව කෙතරම් නම් අසන්නට ඇත් ද? එහෙත් මදක් හැරී බලන්න. ඔබට ශෝකය දැනුන බිය දැනුන අවසන් අවස්ථාව මතක් කර ගන්න. ඒ කුමන අවස්ථාවකදී ද? ඔබෙන් ම අසා ගන්න. හිතන්න, ඒ අවස්ථාවලදී මේ ගාථාව ඔබගේ මතකයට පැමිණුනා ද කියා. එසේ මතක් වූවා නම් අවස්ථා කීපයකට වඩා ඔබට ශෝකය, බිය මේ ජීවිතයේදී නම් ඇති වන්නේ නැත. එසේ වන්නේ නම් බුද්ධ ධර්මය අසත්‍යයකි. මේ ගාථාව සිහිපත් වන ඔබට ආර්යාෂ්ටාංගික මාර්ගය ද ඒ සමඟ සිහි වේ. එය එසේ නොවන්නේ නම් එය ධර්මයේ අඩුපාඩුවක් නොව ඔබගේ අඩුපාඩුවකි.
හිතන්න. ධර්මය ඇසීමට හෝ කියැවීමට පමණක් නොවේ. එය අසා හිත්හි දරාගෙන ඒ අනුව කටයුතු කිරීමටත් ය. එසේ නොවන්නට ධර්මයේ ඇති අකාලික ගුණය විඳීමට නොහැක. නමුත් අත නොසොලවා කෑම බලාපොරොත්තු වන බහුතරයක් දෙනා ධර්මය ඇසීම කියැවීම පමණක් කිරීමෙන් අකාලික ගුණය විඳීමට යෑම නිසාවෙන් ධර්මයට අපහාස ද සිදු කරන අයුරු දක්නට ලැබේ. බුදු දහම සජීවී, ඒත් අපි කියා සටහන ඇරඹුවේ එහෙයිනි.