බුදු පිළිමවල මැණුම්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    බුදු පිළිමවල මැණුම් ගැන ලියැවුණු සාරීපුත‍්‍රය
    ======================================

    ශී‍්‍ර ලංකාවේ නිර්මිත ඉපැරණි බුදු පිළිමවල ඉන්දීය ප‍්‍රතිමා කලාවන්හි ලක්ෂණ ඇත. අමරාවතී ප‍්‍රතිමා ලක්ෂණ, ගුප්ත ප‍්‍රතිමා ලක්ෂණ, මීට උදාහරණ වේ. එහෙත් පසුකාලීනව සිංහලයාටම ආවේනික ලක්ෂණ සහිත ප‍්‍රතිමා කලාවක් ඔහු අතින් නිමවිය. ප‍්‍රතිමාකරණයේදී ශිල්පියා ලැබූ නිපුණත්වය සමග තවත් කාරණයක් ඊට මුල්විය. නිවැරදි දින වකවානු නොදන්නා කාලයක (අනුරාධපුර යුගයේ මැද භාගය විය හැකිය) සාරී නම් මවකගේ පුත‍්‍රයෙක් ග‍්‍රන්ථයක් රචනා කර ඇත. එහි අන්තර්ගතය බුද්ධ ප‍්‍රතිමාවන්හි මිමි,මාධ්‍ය සහ ශිල්පක‍්‍රමයි. රචකයා තම නාමය සඳහන් කර නැත. ඒ වෙනුවට සාරීගේ පුත‍්‍රයා (සාරීපුත‍්‍ර) ලෙස ග‍්‍රන්ථයේ නම සඳහන් කර ඇත. සාරීපුත‍්‍රය අනුව පිළිම නිමවන්නන් නිසා අපටම අනන්‍ය වූ ප‍්‍රතිමා කලාවකට මග පෑදිණි. ඉන්දීය අනන්‍යතාවයෙන් මිදුනු අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයත් බුදු පිළිම පොළොන්නරුව යුගයේ බුදු පිළිම ගම්පොළ සහ මහනුවර යුගයේ බුදු පිළිම මීට සාක්ෂි දරයි.

    සාරීපුත‍්‍රය සංස්කෘත බසින් ශ්ලෝකයෙන් රචිතය. බුදු පිළිම නිර්මාණයේදී යොදාගත යුතු අමුද්‍රව්‍ය ශිල්පක‍්‍රම, හැඩ, මුද්‍රා, ආසන, මිම්ම, මුහුණේ ස්වභාවය, ආදිය පිළිබඳ එහි සවිස්තරව සඳහන්ය. බුදු පිළිම නිර්මාණ කාර්යය පිළිබඳ මෙතරම් තොරතුරු සමූහයක් සාරීගේ පුත‍්‍රයා කෙසේ දැනගත්තේදැයි සිතා ගැනීම අපහසුය. ග‍්‍රන්ථය අවසානයේදී ඔහු පවසා ඇත්තේ මෙම කරුණු ජනශ‍්‍රැතියෙන් දැනගත් බවයි. එහෙත් සංස්කෘත භාෂා දැනුම, ශ්ලෝක පබැඳීමේ හැකියාව, අනුව ඔහු උගතෙකි. භාවනාවෙන් සිත දියුණු කරගත් ඍෂිවරයකු වන්නටද හැක. ආයුර්වේදය, ජ්‍යෝතිෂය, සංගීතය, වැනි විෂයයන් පිළිබද ඍෂිවරුන් විශ්ව දැනුමින් ග‍්‍රන්ථ රචනා කළ බවට සාධක ඇත.

    ගම්පොළ සහ මහනුවර රාජධානි යුගයන්හිදී චිත‍්‍ර සහ මූර්ති නිර්මාණශිල්පීන් තම පරම්පරාවෙන් රැගෙන ආ සාරීපුත‍්‍රය අත්පොත උපකාරයෙන් ප‍්‍රතිමාකරණයේ නියැලිණි. පහතරට නිර්මාණ ශිල්පීන්ට මෙම පොත පිළිබඳ දැනුම අල්ප වුවද උඩරට ශිල්පීන් අතර මෙම පොත බෙහෙවින් ජනප‍්‍රිය විය. ශ‍්‍රී ලාංකීය යටත් විජිතවාදයත් සමග සියලූ කලාවන් සමග ප‍්‍රතිමා නිර්මාණ කලාව ද අභාවයට ගිය අතර පාරම්පරිකව රැකගත් එක් සාරීපුත‍්‍ර ග‍්‍රන්ථයක් කොළඹ පුරාවිද්‍යා කෞතුකාගාරයට ලැබී ඇත. 1908 වර්ෂය වනවිට කොළඹ කෞතුකාගාර අධ්‍යක්ෂ වූ ආචාර්ය විලී මහතා එම පොත පරිශීලනය කිරීමට ආනන්ද කුමාරස්වාමි මහතාට අවස්ථාව ලබා දී ඇත. ඒ අවසරයෙන් ආනන්ද කුමාරස්වාමි මහතා මෙම පොතේ ශ්ලෝක ගාල්ලේ සිම්බලි ආවාසයේ තලමලගල සෝමානන්ද ස්ථවිරයන් ලවා පරිවර්තනය කරවා ගැනීමටද එහි අපැහැදිලි කොටස් සහ දෝශ හැකිතාක් නිවැරදි කර ගැනීමටද කටයුතු කර ඇත. එමෙන්ම එම අවස්ථාවේදී ගාල්ලේ ඊ.ආර්.ගුණරත්න මුදලිතුමා සාරීපුත‍්‍රයේ තවත් පිටපත් තුනක් සොයා දුන් බවද ආනන්ද කුමාරස්වාමි මහතා තම මධ්‍යකාලීන සිංහල කලා ග‍්‍රන්ථයේ සඳහන් කර ඇත. (මධ්‍යකාලීන සිංහල කලා-ආනන්ද කුමාරස්වාමි-149 පිටුව)

    පිළිමවල මිමි සඳහා යොදාගත් ”අඟල” නූතන අඟල නොවන බව පෙනේ. මුඛ, තාල, භාග, වෙද, කාල, කෝලක, මාත‍්‍ර, යව, ආදී ලෙස අනෙකුත් මිමි දක්වා ඇත. හිටි පිළිම, හිඳි පිළිම, සැතපෙන පිළිම, නිර්මාණය කිරීම පිළිබඳ මෙහි සඳහන්ය. රන්, තඹ, මැටි, ගල්, දැව, ගඩොල්, හුණු යනාදිය අමුද්‍රව්‍ය ලෙස යොදාගත හැකිය. මිමි ලබා ගැනීමට‘‘ලඹතටුව” නම් උපකරණයක් භාවිතා කිරීම පිළිබඳව එහි සඳහන්ය. ලඹතටුව නූතන පෙදරේරු ලඹය මෙන්වූ එහෙත් සංකීර්ණ එකකි. එය දැව පුවරුවකි. එහි විවිධ ස්ථානවල නූල්වලින් එල්ලා තබන ලඹ ඇත. එම ලඹතටුව ප‍්‍රතිමාව නිර්මාණය කරන ස්ථානයේ ඉහළින් එල්ලා එහි නූල් සහිත ලඹ පහළට එල්ලීමට සලස්වයි. එම ලඹවලට යෙදූ මිම්ම අනුව පිළිම නිර්මාණය කරයි. ලඹතටුව භාවිතා කිරීම නිසා එකම මිම්මක් සහිත පිළිම නිර්මාණය වේ. සැතපෙන පිළිමවල මිමි ගැනීමේදී ඉහළ සිට පහළට නොව සිරසේ සිට පාදාන්තය දක්වා මිමි ලබාගැනීම විශේෂත්වයකි. ප‍්‍රතිමාවන් පරිමාණුකූලව කුඩා හෝ විශාල කර ගැනීමට නිර්මාණ ශිල්පීන් සමත්ය. ගම්පොළ, මහනුවර යුගවල සියවස් හතරක් පමණ කාලයක් එකම ලක්ෂණ සහිතව බුදු පිිළිම නිර්මාණය වීමට මෙම කාරණය බලපාන්නට ඇත.

    ප‍්‍රතිමා ගෘහයන්හි හෝ ගල් පෘෂ්ඨයේ ඉඩකඩ උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගෙන හිටි, හිඳි, සැතපෙන, පිළිම නිර්මාණය කිරීමේ කාර්යයේදීද මෙම ලඹතටුව ඉතා ප‍්‍රයෝජනවත් වී ඇත. පොළොන්නරුව ගල් විහාරයේ (උත්තරාරාමය) ගල් පෘෂ්ඨය ඉතාම නිවැරදිව හිටි පිළිම, හිඳි පිළිම, සැතපෙන පිළිම, සඳහා සම්පිණ්ඩනය කරගත් ආකාරය නිරීක්ෂණය කරන්න. දඹුළු ලෙන් විහාර ගෘහය විවිධ ප‍්‍රතිමාවලින් සම්පිණ්ඩනය කළ ආකාරය බලන්න. ඔබ විශ්මයට පත්වනු ඇත.

    ප‍්‍රතිමා නිර්මාණ කලාව අතීතයේ පටන් එක්තරා කුල පරම්පරාවක් ඔස්සේ පැවත විත් ඇත. කලාවේ දක්ෂ වුවද මෙම ශිල්පීන් සංස්කෘත භාෂාවේ ප‍්‍රවීණයන් නොවේ. එබැවින් සාරීපුත‍්‍රයේ ශ්ලෝක තේරුම් ගැනීමේදී මෙන්ම මිමි ගැනීමේදීද වැරදි සිදු කර ඇත. ඒ නිසා ප‍්‍රතිමාවලට සිදුවූ බලපෑම ඉපැරණි බුදු පිළිම නිරීක්ෂණයේදී අපට පෙනීයයි.

    ආනන්ද කුමාරස්වාමි මහතාට අනුව සාරීපුත‍්‍රයේ බුදු පිළිමවල මුහුණ වර්ණ කළ යුත්තේ ”ලා රතු දෙතොල් රන්වන් කොපුල් සිත්කළු නෙත් දුන්නක් මෙන් මනහර සඳ මෙන් බබලන බැම..” ආදී ලෙසයි. රන්වන් කොපුල් යෙදීම අරමුණු කරගත් ශිල්පියා මහනුවර යුගය පුරාවට බුදු පිිළිමවල මුහුණට සහ ශරීරයට රන්වන් කහ පැහැය යෙදීය.

    වර්තමානයේ ප‍්‍රතිමා නිර්මාණ ශිල්පීන් සාරීපුත‍්‍රය නොසලකයි. එහෙත් තමන්ට ආවේනික මිමි, හැඩ, ශෛලීන්, ඊට එක්කරයි. ඉන් ඉතාම මනරම් එමෙන්ම කලාත්මක බුදු පිළිම නිර්මාණය කරයි. එහෙත් සාරීපුත‍්‍රයේ සඳහන්වන ප‍්‍රතිමා නිර්මාණයේදී නොකළ යුතු කරුණු ද නූතන නිර්මාණ ශිල්පීන් අතින් සිදුවනු දැකිය හැක. රන් රිදී ලෝකඩ වැනි මාධ්‍ය වලින් ඇතුල සිදුරු සහිතව පිළිම නිම නොකළ යුතුය. එහි ආදීනව ලෙස දක්වා ඇත්තේ ඉන් ශිල්පියාගේ භාර්යාව හා ධනය විනාශ වන බවත් කල කෝලහල හා දුර්භික්ෂයට මං පෑදෙන බවත්ය.

    ජානක විජේවීර බණ්ඩාරනායක ජාතික පාසල - කුණ්ඩසාලේ.
    උපුටා ගැනීම - History ඉතිහාසය පිටුවෙන්