බෙහෙත් ඖෂධ පිදීමේ ආනිසංස 🙏

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,724
    11,182
    113
    Colombo
    බෙහෙත් ඖෂධ පිදීමේ ආනිසංස 🙏

    මෙත්ත ගුත්ත හිමි සුමේධ බුදු රජුන්ට ගිතෙල් පිදූ පිනින් අට වරක් සක් දෙවිඳු වුණේ ය. පනස් එක් වරක් සක්විති රජකම ලැබුවා. එසේම සෑම ජීවිතයක ම පාහේ අප්‍රමාණ භෝගසම්පත් ලැබුවා හ. අවසානයේ ඒ පින නිවනටද උපනිශ්‍රය වු බව 403 වන අපදානයේ පෙන්වා ඇත.

    🌸..පිළින්‍දිවච්ඡ හිමිට බෙහෙත් පිදීමෙන් අනුසස් දහයක් ලැබුණාහ.

    ** දීර්ඝායුෂ ලැබේ.
    ** බලවන්තයෙකු වේ.
    ** වීර්යය වන්තයෙකු වේ.
    ** වර්ණ සම්පත් ලැබේ.
    ** යශස් ඇත්තේ වේ.
    ** සැප ඇත්තේ වේ.
    ** උපද්‍රව නැත්තේ වේ.
    ** අන්තරා නැත්තේ වේ.
    ** හැම කල්හි ම ගරු කරන ලද්දේ වේ.
    ** ප්‍රිය විප්පයෝග දුක් නො ලැබේ.

    ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී භික්‌ෂුන් වහන්සේලා අතුරෙන් අග තනතුරු ලබල හිටියෙ බක්‌කුල මහ රහතන් වහන්සේ. බුදු රජාණන් වහන්සේටත් ඒ වගේ කායික නිරෝගී බවක්‌ තිබිල නෑ. අතීත කර්ම විපාක අනුව තුනටිය අමාරුව, නිතර පැවැති හිසරුදාව, ලෝහිත පක්‌ඛන්දිකා කියන ලේ අතීසාර රෝගය තථාගතයන් වහන්සේට වැළඳුණා.
    .
    බක්‌කුල තෙරුන් වහන්සේ අසූ අවුරුද්දක්‌ ගිහිගෙයි වාසය කරන කාලයෙත් අසූ අවුරුද්දක්‌ පැවිදි ජීවිතය ගත කරපු කාලයෙත් සුළු රෝගයක්‌වත් ඇති වුණේ නෑ. උන්වහන්සේ 160 අවුරුද්දක්‌ ආයු වළඳපු තෙර නමක්‌ කුල දෙකක වැඩුණු නිසා බක්‌කුල කියල නම පටබැඳුනා. ගෞතම බුද්ධ සාසනයේ මහා ශ්‍රවකයන් වහන්සේ නමක්‌ වූ උන්වහන්සේ කිසිම රෝගාබාධයක්‌ නොවැළඳී නිරෝගි වෙන්න හේතු වුණේ, අනෝමදස්‌සී බුදු රජාණන් වහන්සේගෙ කාලයේදිත්, ඉන්පසුවත් බුද්ධ ශාසනවලදී සිදුකරගත් ඖෂධ පූජාවන් හේතු කොටගෙන.

    මේ මහා භද්‍ර කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්‌ෂයකට පෙර බුදු වූ අනෝමදස්‌සී බුදු රජාණන් වහන්සේගේ කාලයේ බක්‌කුල තෙරුන් වහන්සේ වේදත්‍රයේ කෙළ පැමිණි බ්‍රාහ්මණයෙක්‌ විදිහට ඉපදිලා තාපස පැවිද්ද ලබල ශිෂ්‍ය පිරිසක්‌ සමඟ හිමාලය අසල අසපුවක වාසය කළා. අනෝමදස්‌සී තථාගතයන් වහන්සේ විවේක සුවයෙන් ඉන්න ඒ අසපුවට වැඩිය අවස්‌ථාවක, මහත් වූ වාතාබාධයක්‌ හට ගත්තා. ඒ අවස්‌ථාවේ බක්‌කුල හාමුදුරුවො තමන්ගෙ ශිෂ්‍ය පිරිස සමඟ පර්වතයකට නැගල ඖෂධ සොයාගෙන බෙහෙත් සකස්‌ කරල දීලා තථාගතයන් වහන්සේට වැළඳුණ උදරාබාධය සංසිඳවන්න කටයුතු කළා. ඒ කරගත්ත පින් බලයෙන් උපනූපන් ජාතිවල කිසිම ආබාධයක්‌ නොවේවයි ප්‍රාර්ථනාත් කළා.

    වාතාබාධයෙන් නිරෝගි සුවයට පත් අනෝමදස්‌සී බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයා සිදු කරපු ඖෂධ පූජාවේ අනුසස්‌ මේ විදිහට විස්‌තර කළා. මේ බෙහෙත් පූජා කළ පිනෙන් කල්ප ලක්‌ෂයක්‌ දෙව් ලොව ඉපදිලා දිව්‍ය සැප විඳල,මිනිස්‌ ලොව ඉපදිලා දහස්‌ වරක්‌ චක්‍රවර්තී රජ බවට පත් වෙනවා. පස්‌වන කල්පයේ සතර මහා දිවයින් හා සිවු මහාසාගරකෙළවර කර ඇති පෘථීවියට අධිපති,සතුරු රජවරුන් ජයගන්න සත්රුවනින් යුතුව ජම්බුද්වීපයේ මහත් බල ඇති අනෝම නම් චක්‍රවර්ති රජෙක්‌ වෙලා තව්තිසා දෙව්ලොවත් අධිපති බව කරනවා. දෙව් මිනිස්‌ දෙගතියේ කොහේ ඉපදුනත් ලෙඩ රෝගවලින් මිදිල නිරෝගි සුව ලබා මෙයින් කල්ප ලක්‌ෂයකට පසු ගෞතම නම් බුදුවරයෙක්‌ ලොව පහළ වෙනවා. ඒ කාලයේ බක්‌කුල නමින් ඉපදිලා පැවිදි වෙලා සියලු කෙළෙස්‌ නසලා අරිහත්වයට පත්වෙලා නිරෝගි භික්‌ෂූන් අතර අග තනතුරු ලබනවා.
    .
    කල්ප ලක්‌ෂයකට පෙර තමා විසින් කළ ඒ ඖෂධ පූජාවේ පුණ්‍ය බල මහිමයෙන් එතැන් පටන් දුගතියකට නොගිය බවත්, අප්‍රමාණ දෙව් මිනිස්‌ සැප ලබා ගෞතම බුදු සසුනේ සිවු පිළිසිඹියා, ෂඩ් අභිඥා ලබාගත් බවත් උන්වහන්සේ විසින්ම ප්‍රකාශ කළා.
    .
    අනෝමදස්‌සී බුදුරාජණන් වහන්සේට එදා සිදු කළ ඖෂධ පූජාවෙන් පසු සසර සැරිසරාගෙන එන කොට පහළ වූ පදුමුත්තර කියන සර්වඥයන් වහන්සේගෙ කාලයේ හංසවතී නුවර කුල ගෙයක ඉපදිලා ඒ බුදුරාජණන් වහන්සේගෙන් බණ අහමින් හිටපු අවස්‌ථාවක එක්‌තරා භික්‌ෂුවකට අල්පාබාධ ඇති භික්‌ෂුන් අතුරෙන් අග තනතුර පිරිනමනව දැකල, මමත් අනාගත බුදු කෙනෙක්‌ගෙන් මේ වගේ පදවියක්‌ ලබනව කියල අධිෂ්ඨාන කර ගත්තා. ඔහු සත් දිනක්‌ තිස්‌සේ මහා දන් පවත්වල අවසන් දිනයේ පදුමුත්තර බුදුන්වහන්සේට තමන්ගේ අදහස දැන්වුවා. උන්වහන්සේ අනාගතය බලලා ඒ කාරණය සඵල වන බව දැකල, ඔබගේ ප්‍රාර්ථනය මෙයින් කල්ප ලක්‌ෂයකට පසු බුදු වන ගෞතම බුදුන් වහන්සේගෙ ශාසනයේදී සිද්ධ වෙනව කියල විවරණ දුන්නා.

    ඒ කුල පුත්‍රයා සසර බොහෝ පිං දහම් කරල නැවත විපස්‌සී බුදුරජාණන් වහන්සේගෙ කාලයේ හිමාලයට ගිහින් තපස්‌ රකිමින් හිටපු අවස්‌ථාවක, අට ලක්‌ෂයක්‌ පමණ භික්‌ෂුන්ට වැළඳුණ වසංගත රෝගයකට බෙහෙත් කරල නිරෝගි බව ලබා දුන්නා. නැවතත් කාශ්‍යප බුදුන් වහන්සේගෙ කාලයේ බරණැස්‌ නුවර ඉපදිලා ගෙයක්‌ හදන්න ආරම්භ කරල ඊට අවශ්‍ය උපකරණ රැස්‌ කරන මොහොතක දිරා ගිය සංඝාවාසයක්‌ දැකල, තමන්ගෙ ගේ හැදීම නතර කරල ඒ සංඝාවාසය ඇතුළු සියලුම විහාරාරාම ගොඩ නගල පූජා කළා.

    මේ විදිහට අප්‍රමාණ පිං රැස්‌ කරල දෙව් මිනිස්‌ දෙගතියේ ඉපදෙමින් ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ කොසඹෑ නුවර එක්‌තරා මහා ධනවත් සිටු කුලයක උපන්නා. උපන් දවසෙම යමුනා ගංගාවෙන් නාවපු අය දීර්ඝායුෂ ලබනවයි කියන විශ්වාසය අනුව, ඒ දෙමව්පියන් උපන් කුමරු නාවන්න යමුනා ගංගාව කරා පෙරහැරින් ගෙන ගියා. කිරි මව විසින් කුමාරයා දියේ ගිල්වල නාවන කොට, මේ නම් ගොදුරක්‌ කියල හිතපු විශාල මාළුවෙක්‌ දුවගෙන ඇවිත් කුමාරයව ගිල දැම්මා. ඒත් කුමාරයගෙ පිං බලය නිසා කිසිම අනතුරක්‌ වුණේ නෑ. පශ්චිමභවික පුද්ගලයන්ගේ ජිවිතය (මේ දිවියේදී ඒකාන්තයෙන් අරහත් වීමට හේතු ඇති) කිසිම උපක්‍රමයකින්වත් විනාශ කරන්න බෑ. දබ්බමල්ල හාමුදුරුවො, සංකිච්ච හාමුදුරුවෝ කියන දෙනමත් මව් ගැබේ ඉඳෙද්දිම මව මළත් දරුවා නොමැරී ආරක්‌ෂා වුණේ පශ්චිමභවික පුද්ගලයන් නිසා.

    එතකොට අර කුමාරයා ගිල දමපු මාළුවා මසුන් මරන්නන්ගෙ දැලකට අහුවෙලා මළා. ඒ මාළුවා කහවනු දහසකට විකුණන්න නගරයට ගෙන ගියාම, අසූ කෝටියක්‌ ධනය තිබිච්ච, දරුවන් හිටියෙත් නැති සිටුවරයෙක්‌ මේ මාළුවා ගෙනිහින් සිටු දේවියට දුන්නම, ඒ මාළුවා ගැන බලවත් ආසාවක්‌ ඇති වුණා. මසුන් මරන අය ඇයට එක කහවනුවකට මාළුව දීල ගියා. සිටු දේවිය මාළුවගේ කුස හෙමින් කපන කොට කුස තුල හිටපු බිළිදා දැකල ප්‍රීතියෙන්, රන්වන් පුතෙක්‌ ලැබුණයි කියල සිටුතුමාට පෙන්නුවා.

    සිටුතුමා බලවත් සතුටට පත්වෙලා ඒ බිළිදා ගැන බරණැස්‌ රජතුමාට කිව්වා දැන්වුවා. රජතුමා සිටුතුමා අමතල, මොහු මහ පිං ඇති කුමරෙක්‌, හොඳින් පෝෂණය කරන්නෙයි කියල කිව්වා. බරණැස්‌ සිටුතුමාට මත්ස්‍යයකුගේ කුසින් දරුවෙක්‌ ලැබුණු බව මුළු රට පුරාම ආරංචි වුණා. බිළිඳු කුමරු වදපු මවටත් මේ පුවත අහන්න ලැබිල මහ සෙනඟ එක්‌ක ඇවිත් තමන්ගෙ දරුවා හඳුනගෙන, මේ මම වදපු පුතා කියමින් කුමාරයා ඉල්ලල දබර කළා. දෙපැත්තෙම අය බරණැස්‌ රජතුමාට මේ කාරණය කිව්වම, දෙපක්‍ෂයෙන්ම කරුණු විමසල දෙගොල්ලන්ටම කුමාරයා අයිති බව පවසල ඔහු පෝෂණය කරන්න සිටු මැදුරු දෙකටම බාර කළා. එතැන් පටන් දෙපක්‌ෂයේම සිටු මැදුරුවල සැප විඳිමින් අසූ වසරක්‌ කල් ගෙවල බුදු සසුනේ පැවිදි වෙලා බක්‌කුල නමින් අරහත්වයට පත්වුණා. කුල දෙකක වැඩුන නිසා බක්‌කුල කියන නම ලැබුණා.
    .
    බක්‌කුල මහ රහතන් වහන්සේගෙ නුවරවල් දෙකේ ඥතීන් පහළොස්‌ දවස බැගින් බෙදාගෙන උන්වහන්සේට සිවු පසයෙන් උපස්‌ථාන කළා. පැවිදි වෙලා අසූ වසරක්‌ ජීවත් වෙච්ච උන්වහන්සේට කිසිම දවසක කිසිම ආකාරයක රෝගයක්‌ ඇති වුණේ නෑ. පිරිනිවන්පාන දවසෙ විහාරයෙන් විහාරයට ගිහින් තමන් අද පිරිනිවන්පාන බව තෙරවරුන්ට දන්වල අවුරුදු 160 ක්‌ ආයු වළඳල පිරිනිවන්පෑවා. බුදුන් වහන්සේ බක්‌කුල තෙරුන් ජීවමාන අවධියේම ''ඒතග්ගං භික්‌ඛවේ මම සාවකානං භික්‌ඛුණං අප්පාබාධනං යදිදං බක්‌කුලෝ'' කියල බක්‌කුල තෙරුන් වහන්සේ නිරෝගි භික්‌ෂුන් අතරින් අග්‍රස්‌ථානයට පත් කළා.

    සම්බුදු පියාණන් වහන්සේලා මුල්කරගෙන මහා සංඝරත්නය උදෙසා ඖෂධ පූජාවන් නොයෙක්‌ ආකාරයෙන් එදා පටන් අද දක්‌වාම මහ රජ දරුවන්, සැදැහැවතුන් විසින් සිද්ධ කරනවා. ඒක මහා පුණ්‍ය ගංගා කුසල ගංගා සිද්ධ වන, දිව්‍ය මනුස්‌ස සැප ලබාදෙන මහා පිංකමක්‌. සත්ත්වයන්ට වැළඳෙන අට අනූවක්‌ රෝග නව අනූවක්‌ ව්‍යාධි දෙසිය තුනක්‌ අන්තරා දුරු කර ගෙන ලෞකික සැප විපාක ලබල ලෝකෝත්තර නිවනට තියෙන බාධා දුරු කරගෙන සසර ණය ගනුදෙනු පියවල ආර්ය මාර්ගය වඩන්න උපනිශ්‍රය සම්පත්තියත් සලස ගන්න පුළුවන් පිංකමක්‌.🙏🙏🙏

    තෙරුවන් සරණයි!
     
    • Love
    Reactions: Splash_smart