බෝසත් කථා පෙළ නැවත කියවමු

බෝසත් කථා පෙළ නැවත කියවමු

උළෙල, මංගල භෝජනය, මංගල නැකත, මංගල බණ යනාදී ලෙස නිදසුන් දැකිය හැකියි. පුරාණ කාලයෙහි ද මංගල යන්න විසඳා ගත නොහැකිව දෙවියන් අතර පවා වාද විවාද හටගත් බව මංගල කෝලාහලයක් ඇතිවීමෙන් පෙනේ. මේ පිළිබඳ විවරණයක් මහා මංගල ජාතකයේ වර්තමාන කථාවෙන් කියැවෙයි.

බුදුරදුන් දෙව්රම්හි වැඩ සිටි සමයෙහි එක් සන්ථාගාරයක විසූ බොහෝ මිනිසුන් අතරින් කෙනෙක් තමන්ගේ නිවසෙහි ‘මංගල’ ඇතැයි කියා නික්ම ගියේය.

මිනිසුන් මංගල යනු කවරේදැයි වාද විවාද කරමින් තම තමන්ගේ මත ඉදිරිපත් කෙරිණ. ඇතැමෙකු පළ කළේ දරුවන්ට කිරි දෙන බැමිණිය එළදෙන, එළඟිතෙල්, වෘෂභයකු, සුදු රෙදි හෝ සර්වාභරණයෙන් සැරසුණු ස්ත්‍රියක හෝ දැකීම මංගල බවයි. තවත් කෙනෙකු කියුවේ උදෑසන පිබිදෙන විට කනට ඇසෙන යහපත් වචනය මංගල බවයි. තවත් කෙනෙකුගේ අදහස වූයේ උදෑසන පිබිද මහපොළව හෝ රත්ත්‍රන් හෝ සුවඳ විලවුන් අල්වා ද එය ම මංගල වන බවයි. මේ අනුව බොහෝ මිනිසුන් දිට්ඨ මංගල, සූත මංගල, මුත මංගල යයි තෙකොටසකට බෙදී මංගල යනු කවරේදැයි සොයන්නට ඇති කළ විවාදය මිනිසුන් අතරින් දෙවියන් බ්‍රහ්මයන් අතරට ද ගමන් කළේය. මංගල කෝලාහලය ලෙස දැක්වෙන්නේ මෙයයි.

අවසන ශක්‍ර දේවේන්ද්‍රයෝ මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට බුදුහිමියන් හමුවට පැමිණියහ. බුදුහිමියෝ ඔවුනට “අසේවනාච බාලානං” යනාදී දොළොස් ගාථාවක් දෙසා දෙතිසක් වූ මඟුල් කරුණු වදාළහ. දෙවි මිනිසුන්ගේ සැක දුරු කෙරිණි. දුටු දේ, ඇසූ දේ හෝ ස්පර්ශ කළ දේ මංගල නොවන බවත්, මිනිසුන්ගේ චර්යාව සකසන වටිනා ගුණධර්ම සමූහයක් ම මංගල වන අයුරු පෙන්වා වදාළහ.

මහා මංගල සූත්‍රය ලෙසින් වඩාත් ජනවිඥානයට කා වැදුණේ මෙම සූත්‍රයයි. මනු ලොව දෙව් ලොව සසල කළ මෙම ගැටලුව අපූර්ව ලෙසින් විසඳා ලූ අයුරු කතිකා කළ දම්සබෙහි භික්ෂූන් වෙත වැඩමකළ බුදුහිමියෝ බෝසත් අවධියෙහි ද මෙවන් සැක දුරු කළ බව පළ කරන්නට මෙම කථා පුවත ගෙන හැර දැක්වූහ.

බෝසත් අවධියෙහි බමුණු කුලයෙක රක්ඛිත නමින් බෝසතාණෝ ඉපදුණහ. යෞවන අවධියෙහි ම පංචකාමයෙහි ආදීනව දැක හිමාල පෙදෙසට ගොස් තාපස පිරිසකට එක්ව පැවිදිව වාසය කරන්නට විය. මෙම තාපස පිරිස එක්තරා කාලයෙක ලුණු ඇඹුල් අහර සෙවුනා පිණිස මනුෂ්‍ය ගම්මානයට පැමිණියහ. ඔවුහු ගම් නියම්ගම් ආදියෙහි සැරිසරා රාජකීය උයනෙහි විවේකීව වාසය කළහ.

මෙකල බරණැස් නුවර ‘මඟුල්’ ප්‍රශ්නයක් උද්ගත විය. මංගල යනු කවරේදැයි විමසන්නට බොහෝ දෙනා වාද විවාදයෙහි නියැළුණහ. අවසන රජුන් හමුවට ද ගැටලුව පැමිණි අතර රජතුමා තම උයෙනෙහි වසන තාපසවරුන් වෙතට ප්‍රශ්නය යොමු කළේය. තාපසවරු තම ආචාර්ය රක්ඛිත තාපසයන් වෙතට යොමු කළහ. බෝසත් රක්ඛිත තාපසයෝ දකින දෑ හෝ අසන දෑ හෝ ස්පර්ශිත දෑ හෝ මංගල නොවන බවත් මනුෂ්‍යයාට මෙලොව පරලොව අභිවෘද්ධිය ඇති කරන කරුණුම මංගල වන බවත් පෙන්වා ඊට නිදර්ශන අටක් පෙන්වා දුන්හ.

1. තම දෙමාපියන්ට ද සතුරන්ට ද එකලෙසින් ම මෛත්‍රිය දැක්වීම

2. යමෙක් තමාට අතිශයින් ක්‍රෝධ කරයි ද ඔහුට පෙරළා ක්‍රෝධ නොකොට ඉවසීම

3. අන්‍යයන් හෙළා නොදැකීම

4. අසත්පුරෂ ආශ්‍රයෙන් මිදී සත්පුරුෂයන් සේවනය කිරීම.

5. යම් පුරුෂයකු, සම වයස් ඇති, අවංක ආචාරශීලී බිරිඳක් ලැබීම. (යම් ස්ත්‍රියක් වෙත එවන් සැමියකු ලැබීම)

6. යම් පාලකයකු වෙත අර්ථවත් දේ කියා දෙන අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යවරුන් ලැබීම. (නුවණැති අනුශාසකයකු ලැබීම)

7. යහපත් අවවාද පිළිපැදීම

8. ශීල භාවනවෙහි යෙදී මාර්ගඵල අවබෝධ කර ගැනීම.

යනාදී අෂ්ට මංගල්‍යයක් බෝසතාණෝ පැහැදිලි කළහ. තාපසවරු මේ ධර්මය බරණැස් රජුට ද රටවැසියනට ද පහදා දී දකින අසන දේ මංගල ලෙස සලකා ක්‍රියාකිරීම මෝඩ අදූරදර්ශී මිනිසුන්ගේ ක්‍රියාවක් බව ද පෙන්වා දුන්හ.

නිතර නිතර මංගල සූත්‍රය ශ්‍රවණය කරමින් ඉතා නිවැරදි මංගල්‍ය නම් මෙලොව පරලොව අර්ථ සිද්ධියට හේතු වන්නා වූ “අසේවනාච බාලානං’ ආදී වූ ගාථාවලියෙහි එන චර්යාවන්හි නිරතවීම බව දැන දැනත් නූතනයෝ කෙතරම් මිථ්‍යාදෘෂ්ටිකව වැරදි මංගල්‍යයන් සොයත්ද?

ඇතමෙක් තවමත් උදෑසන දකින දේ අනුව යහපත හෝ අයහපත පිළිබඳව තීරණය කරති. තමා ඉදිරියට එන පැවිද්දකුගේ දර්ශනය පවා අවමංගල්‍යයක් යයි සිතන මුග්ධ මිනිසුන් තවමත් අප අතර දැකිය හැකිය. එසේ නැතහොත් යදින්නෙකු, අවලක්ෂණ මනුෂ්‍යයෙකු උදාසන දැක්මට බොහෝ දෙනා අප්‍රිය කරති. ගැබිනි කත, එළදෙන, දිය පිරුණ කළය වැනි දෑ මංගල ලෙස සිතන්නෝ කෙතරම් අපට වෙත්ද? යහපත් දර්ශනය මිනිසාගේ සිතට සෞන්දර්යාස්වාදයක් ඇති කරලන්නට හැකිය.

නමුත් ඒවා දැකීමෙහි හඹා යාම විනාශකාරීය. අවලස්සන දැක්මක පවා සුන්දරත්වයක් දකින්නට මිනිසාගේ බුද්ධිය අවදි විය යුතුය. බොහෝ දෙනා පෙරමඟ නිමිති පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතු වෙති. එහෙත් තමන්ගේ චර්යාවේ බරපතළ අර්බුද ඇති දූෂිත චරිත ඇත්තේ පෙරමඟ නිමිති ඔස්සේ අපේක්ෂා කරන සශ්‍රිකත්වය කුමක් වෙත්ද? ඔවුනගේ විනාශ වූ අධ්‍යාත්මය වසා ගන්නට භාවිත ප්‍රයෝගයක් පමණි.

මෙම අතීත කථා පුවතෙහි ඇතුළත් මංගල කරුණු සියල්ල ඉතා වැදගත්ය. ඒවායින් බොහොමයක් මංගල සූත්‍රයට ද ඇතුළත් නොවෙයි.

විශේෂයෙන් යහපත් භාර්යාවක් ලැබීම සැමියෙකුට මංගල කාරණාවක් ලෙස මෙහි දැක්වෙයි. එයට අනුව ස්වාමියාට අනුකූලව වසන, ගුණ ධර්මයෙන් පිරිපුන් යහපත් දරුවන්ගේ සේවනය ලබන, සදාචාර ධර්ම රකින, කුලසිරිත් සුරකින, පතිදම ආරක්ෂා කරන භාර්යාවක් යම් සැමියෙකු හට ලැබෙයි ද ඔහුගේ ජීවිතයේ පරම මංගලය මෙය නොවන්නේද? ඔවුන්හට ඉතා සුන්දර පවුල් දිවි ගෙවන්නට හැකිවෙයි. එහෙත් ඇතැම් සැමියන් මෙවන් කුලාචාර ස්ත්‍රියක් විවාහයට ලැබීම මංගල්‍යයක් ලෙස නොසලකා ඔවුන් නොතකා හැර රිදවා වද වේදනා දෙමින් පීඩාවට පත් කරවනු අපට පෙනේ. එය අවාසනාවම විය හැකිය.

ස්වාමියාට භාර්යාව මංගල්‍යයක් වනවා සේම භාර්යාවට ද ස්වාමියා මංගල්‍යයක් විය යුතුමය. ඉහතින් කී සියලු ගුණ සැමියා සතුව පැවතිය යුතුය. භාර්යාවට අනුකූලව වසන, ගුණ දහමින් පිරි, සදාචාරවත් සැමියකු ලැබීම භාර්යාවකගේ පරම මංගල්‍යයකි.

මෙ හැර නුවණැති අනුශාසකයන්ගේ ලැබීම ද ජීවිතයකට මංගල්‍යයක් ම වෙයි. ජාතක කථාවෙහි රජවරුනට එවන් අනුශාසනා ලබා දෙන අමාත්‍යවරයෙකු සිටීමේ වැදගත්කම කියැවිණි. රජෙකුට පමණක් නොව තමන්ගේ අර්ථ සිද්ධියට මඟ පෙන්වන වැරදි නිවැරදි කරවා දෙන, පාපකාරී ගති සිරිතින් මුදවන සත්පුරුෂ ධර්මය වෙතට යොමු කරවන කවර හෝ නුවණැති උපදේශකයෙකු සිටීම කාගේත් දිවිපෙවෙත සාරවත් කිරීමට හේතුවනු ඇත. මෙසේ මහා මංගල ජාතකයේ විවරණය වූ සැබෑ මංගල්‍යයන් විමසා අවමංගල්‍යයන් සේ ජීවිතයට එකතු කළ මිථ්‍යාදෘෂ්ටීන් ගෙන් මිදෙන්නට මේ වෙසඟේ ඔබට ධෛර්යය ලැබේවා.


උපුටාගත්තේ

http://www.silumina.lk/punkalasa/20110508/_art.asp?fn=ar1105085