භාරත මාතාව රහසේම හැඬුවා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
භාරත මාතාව රහසේම හැඬුවා

maldaindiaGETTY070606_228x189.jpg


child+bride.jpg


පනස්හය හැවිරිදි චේත්‍රම්, චටිස්ගාර් ප්‍රාන්තයේ සුර්ගුරා ගමේ ගෙපැළක් ඉදිරියේ ඇණ තබා ගෙන උන්නේය. ඔහු ඉදිරියේ වූයේ ඔහුගේම වයසේම කිව හැකි අයෙකි. දෙදෙනාගේම යටි රැවුල් පැහිලාය. තට්ටය පෑදිලාය. වෙනසකට තිබෙනුයේ චේත්‍රම්ගේ දෑස්වල තිබෙනා අමුතු දිලිසීම පමණි. එය මනමාලකමක්ද නොඑසේ නම් අවලම් බැල්මක් දැයි කිව නොහේ. ඔහු ගෙපැලේ මිදුල හරහා බුලත් කෙළ පහරක් විද්දේය.

“මට උඹ ළඟට ඇවිත් දවස ගානෙ කනිපින්දම් ගාන්න කිසිම රුදාවක් නෑ. එක්කෝ මගෙ සල්ලි දියන්. එක්කෝ උඹේ කෙල්ල දියන්. යකෝ උඹ මට ගණන් උස්සන්න කලින් මගෙ ගණන් බේරපන්....

අනෙකා හිස් බැල්මෙන් යුතුව බුලත් කෙල පහරින් මිදුලේ ඇඳුණු රටාදෙස බලා සිටියේය. චේත්‍රම් කියන්නේ ඇත්තකි. කිරි දෙනුන් මිලදී ගැනීම සඳහා ඔහු චේත්‍රම්ට ණය වුණේ් මෙයට අවුරුදු දොළහකට පමණ පෙරය. ණය තුරුස රුපියල් පනහක් වුවද ගිනි පොළිය එක්වූ විට කෙල්ලගේ උසටද වඩා උස සල්ලි කන්දරාවක් ණය බේරන්නට නම් තිබිය යුතු නොවේ දැයි ඔහුට සිතිණි. කෙල්ලගේ කැමැත්තෙන් කාරියක් තිබේද ? තමා තංගම්මා කැඳවාගෙන ආ හැටි ඔහුට සිහි වෙයි. තිස් හත් හැවිරිදි වියේදී තංගම්මා ව රැගෙන එන විට ඇය දොළොස් හැවිරිදිය. වැඩි වියට පවා ඇය එළඹුණේ කැන්දාගෙන ආ පසුවය. ‘දැන් ඔය අගේට පවුල් කන්නේ’ යැයි ඔහුට සිතිණ. ඉතින් පවුල වෙනුවෙන් දැන් තීරණයක් ගත යුතුව තිබේ.

මේ සත්‍ය සිදුවීමේ ඊළගට සිදුවූ දෑ කෙටියෙන් පැවසීම පහසුය. ඒ වන විටත් සිව් වරක් විවාහ වී සිටි චේත්‍රම්ට එකොළොස් හැවිරිදි දියණිය ගීතා ගෙන යාමට ඉඩ ලැබිණි.

අසරණ දැරිය යොවුන් වියේ අද්දරම සිට ගොර හැඩි රළු පිරිමියෙකුගේ කුණු කය දරා ගන්නේ කෙසේද ? තංගම්මා කඳුළු සැලුවාය.

දුවේ ඉවසගෙන ඉඳපන්. මං වගේම ඉවසගෙන ඉදපන්. කෑ ගැහෙනවා නම් කට අත් දෙකෙන් තද කරගෙන සද්දෙ ඇහෙන් නැති වෙන්න අඬපන් යැයි තංගම්මා සිතින් කීවාය.

නමුත් පුංචි ගීතා තංගම්මා තරම් ජීවිතයට ඔරොත්තු දෙන එකියක නොවුණාය. එක් මූසල උදෑසනක චේත්‍රම්ගේ් පිලේ පැදුර මත ලේ විලක ඈ මිය ගොස් සිටියාය. මළ ගෙදරට මිනිසුන් එන විට චේත්‍රම් බුම්මාගත් මුහුණින් හා කෝපයෙන් යුතුව මුමුණන ආකාරය දැකිය හැකි විය. ඔහු තංගම්මාගේ මුහුණට කඩා පැන්නේය.

‘තොපේ එකීගේ වැරැද්ද. තනිකර තොපේ එකීගෙ වැරැද්ද ?’ සංසර්ගයෙන් ඇති වූ දරුණු තුවාල හේතුවෙන් මිය යන විට පවා ගීතා වැඩිවිය නොපැමිණි දැරියක වූවාය.

ඉන්දියාවේ සෑම ළමා විවාහයක්ම ලේ විලකින් අවසන් නොවන බව සැබෑ නමුත් නීතියෙන් තහනම් කර තිබියදීද එය චාරිත්‍රයක් තරමට සමාජයේ මුල් බැස ගෙන තිබේ. ගීතා මෙන් අකාලයේ පරව යන මල් මෙන්ම අඩු වයසින් මව්වරු වන දැරියන්ද වියපත් පිරිමින්ගේ බිරියන් වීමෙන් පසුව අඩු වයසින් කණවැන්දුම් වන දැරියන්ද ඉන්දීය සමාජයේ අති බහුලය.

අද වන විට ඉන්දීය ජනගහනයෙන් සියයට හතළිහක්ම ජීවත් වනුයේ රාජස්තාන්, මධ්‍ය ප්‍රදේශ්, උත්තර් ප්‍රදේශ්, බිහාර් සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්තවලය. එම ජනගහනය මිලියන 420 කි. මේ අතරින් රාජස්තානයේ පමණක් සියයට පනස් හයක් කාන්තාවන් වයස අවුරුදු 15 ලැබීමට පෙර විවාහ කර දුන් අයය.

ඉන්දියාවේ ළමා විවාහවල ඉතිහාසය වසර දහසක් තරම් පැරැණිය. මුස්ලිම් ආක්‍රමණිකයන් අවිවාහක නව යොවුන් දැරියන් දූෂණය කළ බවද ඇතැමුන්ව මනාලියන් ලෙස රැගෙන ගිය බවද කියැවේ. අද වන විට මෙම මුස්ලිම් ආක්‍රමණිකයන්ගේ භූමිකාව රඟපානුයේ දේශීය හින්දු විශ්වාසයන් විසිනි. සමහර ප්‍රාන්තයක තිබෙන ශාපලත් විශ්වාසයකට අනුව විවාහ කර දීමෙන් තොරව දැරියක වැඩිවිය පැමිණියහොත් එහි අරුත ඇය ජීවත් වන නිවස ඕනෑම මොහොතක කාමාතුරයන්ගේ හා අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක් විය හැකි බවයි.

මේ අතර වැඩිහිටි පිරිමි සිතන්නේ නැවුම් දැරියක් සමග ලිංගිකව එක්වීම සිෆිලිස්, ගොනෝරියා, වැනි සමාජ රෝග පමණක් නොව ඒඩ්ස් පවා සුව කර ගැනීමට හේතුවක් බවය.

අන්ධ විශ්වාසය හා සිරිත දැන් අවශ්‍යතාවය විසින් ද වැඩි දියුණු කර තිබේ. දුගී හින්දු පවුලකට ළමා විවාහයක් අඩු වියදමකින් කර ගැනීමට පුළුවන.

චෝටා චෝටා දහෙජ් කාම් මත්තා’ යයි ඔවුහු කියති. එහි තේරුම මනාලිය ළාබාල නම් දිය යුත්තේ කුඩා දෑවැද්දක් බවය.

ආකයි තීජ්. උත්සවය දකුණු ඉන්දියාවේ ළාබාල දැරියන් විවාහ කරදීම සඳහා ම වෙන්වූ දිනයයි. රටේ නීතිය අනුව නම් ළමා විවාහ තහනම්ය. දැනට පවතින නීතිය අනුව දැරියක් අවුරුදු 18 ට අඩු නම් හා පිරිමි දරුවා අවුරුදු 21 ට අඩු නම් විවාහයකට ඇතුළත් විය නොහැක.

නමුත් ආකයි තීජ් උත්සවයට බහුල ලෙසම ආරාධිතයන් ලෙස සහභාගි වන්මෝ ඉන්දීය රජයේ හා ප්‍රාදේශීය රජයන්හි මැති ඇමැතිවරුන්ය. ඔවුහු ළමා විවාහ පසසමින් කතා කරති. රටේ අනාගතය ළමයි බවද කියති. ළමයි මල් කැකුළු බවද කියති.

නමුත් පූදින්නට පෙර මල් කැකුළු මිටියෙන් තලා දැමීම ගැන ඔවුන් කිසිවක්ම කියන්නේ නැත. භාරත මාතාව කඳුළු සලන බව ඔවුන් දන්නේ නැත. ඒ බව දන්නේ හැම අවුරුද්දකම ඇගේ කඳුළින් දෙගොඩ තලා යන ගංගා නදිය පමණි.