මං ළඟ සල්ලි තියෙන දවසටත් වැඩිය සල්ලි නැති &#35

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    මං ළඟ සල්ලි තියෙන දවසටත් වැඩිය සල්ලි නැති &#35

    IMG_8253.jpg


    කොළඹ කොටුව කියන්නේ විවිධාකාරයේ මිනිස්සු ජීවත් වෙන වෙනස්ම පරිසරයක්. එදිනෙදා වැඩකටයුතු වලට කොළඹ එහා මෙහා කරක් ගහන අපිට ඒ වගේ විශේෂ චරිත මුණ ගැහෙනවා. එහෙම චරිතයක් තමා කොළඹ කොටුවේ එම්.ජී.ආර් කියන්නෙත්. ඔහු නාට්ටාමි කෙනෙක්. හැබැයි අපි හැමදාම දකින විදිහේ නාට්ටාමි කෙනෙක් නම් නෙමෙයි. අපේ වචනෙන් කියනවානම් ලෝස් නැතුව ඇඳුම් වලට වියදම් කරන, විලාසිතා කරන නාට්ටාමි කෙනෙක්. මේ නිසාම අද අපි ඔහුව සොයාගෙන ගියා.

    මම නාට්ටාමි කෙනෙක්. මට අවුරුදු 48ක් වෙනවා. මගේ නම මාණික්කම්. ඒත් මාව කවුරුත් දන්නෙ එම්.ජී.ආර් කිව්වොත් තමයි. මම හය වසර වෙනකන් ඉස්කෝලෙ ගියා. අම්මයි, තාත්තයි නැති වුණාට පස්සෙ ඉස්කෝලෙ යන එක නැවතුණා. මගේ ගෙවල් තියෙන්නේ කොටුවෙ සාරදාස් බිල්ඩින් එක ගාව. එතන තමා මම ඉපදුනේ. අම්මයි, තාත්තයි මිය ගියාට පස්සෙ ඒ දේවල් විකුණුවා. දැන් ඉන්නෙ තොටලඟ. මම මේ රස්සාවට ආවේ අවුරුදු දාහතර පහළොව කාලෙදි. මගේ ජීවිතේ ගත්තම මම හොඳට හම්බ කරනවා. මම හම්බ කරන වැඩි හරියකින් කරන්නේ ඇඳුම් ගන්න එක තමයි. හොඳට අඳින්න ඕන කියන එක තමයි මගේ ප්‍රාර්ථනය. මම දෙයියන්ගෙන් ඉල්ලන්නෙත් ඒක.

    මම වැඩ කරන්නේ කොටුවෙ මේන් ස්ට්‍රීට් එකේ. ඔක්කොම වාහන ඇතුළු වෙන්නෙ, පිටවෙන්නෙ මෙතනින්. මම මේ හරියෙ තමා කරත්ත වලින් බඩු ගෙනියන්නේ. ලක්ෂ ගණන් බඩු දවසකට එහාට මෙහාට ගෙනියනවා. ඒවට කාවවත් අරින්නෙ නැහැ. මොකද විශ්වාසෙ නැති නිසා. මට හැමෝම ආදරේ නිසා මට හැමදාම වැඩ තියනවා. ඒ වුණාට මම කියන්නේ අනිත් අයටත් වැඩ දෙන්න කියලා. එතකොට බොස්ලා කියන්නේ විශ්වාස නැහැ කියලා. මම කියන්නෙ ඒ වුණාට දීලා බලන්න කියලයි. ඒ කරන දේවල් අපි මැරුණම ගෙනියනවා. විශ්වාසෙ තමා ලෝකෙ තිබෙන ලොකුම දේ. දෙවි කෙනෙක් නෑ කියලා හිතුවට අපි කරන හැමදේම දෙවි කෙනෙක් ලියා ගන්නවා. මම කරන වැඩේ පිළිවෙළට කරනවා. මම අඳින පලඳින එක වුණත් එහෙමයි. වැස්ස වුණත් අව්ව වගේ හිතන් වැඩ කරනවා. ඒ නිසා මිනිස්සු මට හරි ආදරෙයි.

    මම කරත්ත රස්සාව පටන් ගනිද්දි අවුරුදු 14ක් 15 ක් විතර ඇති. මට ඒ කාලෙ පඩිය සත 35යි, 50යි, 75 යි වගේ. ඒ කාලෙ මම හිතාගත්තා මේක හොඳ රස්සාවක් කියලා. මට ඒ ගාන හම්බුණා කියන්නේ මම පොඩි එකානෙ. මට හරි සන්තෝසයි. මම කරන්නෙ ඒවගෙන් හොඳට කනවා. හොඳට අඳිනවා. ඒත් එම්.ජී.ආර් වගේ අඳින්න ඕනෙ කියල හිතුණෙ අපෙ අම්මා දෙවියන්ගෙ පින්තූර වලට මාල දානවා. ඊට පහළින් එම්.ජී. ආර්ගෙ පින්තූරෙකුත් තියෙනවා. එයා අඳින්නෙ මන්ත්‍රීලා අදිනවා වගේ සුදු සූට් එකක් ඇඳලා කළු සන්ග්ලාස් දානවා. දකුණු අතට ඔරලෝසූව දානවා කමිසෙ අතට උඩින්. අම්මා ඒ පිංතූරෙට පොට්ටු තියලා වඳිනවා.

    එතකොට මම අම්මගෙන් අහනවා කවුද අම්මා ඒ කියලා. අම්මා කියනවා එතකොට වැඳපන් වැඳපන් කියලා. මම එතකොට වඳිනවා. අම්මා කිව්වා මෙයා තමා එම්.ජී.ආර් මාමා කියන්නෙ කියලා. මම අම්මගෙන් ඇහුවා මෙයා අපේ මාමා කෙනෙක්ද කියලා. එතකොට අම්මා කිව්වා මෙයා උඹට විතරක් නෙමේ ලෝකෙටම තාත්තා කෙනෙක් වගේ මනුස්සයෙක් කියලා. එතකොට මම ඇඬුවා මට එයාව බලන්න යන්න ඕනෙ කියලා. අපේ තාත්තා ඊට පස්සෙ පිචර් හෝල් එකට එකන් ගිහින් එම්.ජී.ආර් ගේ පිචර් එකක් පෙන්නුවා. එදා තමා එයාව ඉස්සෙල්ලා දැක්කෙ. එදා ඉඳන් මම එයාව ෆලෝ කරන්න ගත්තා. මම එම්.ජී.ආර් ගෙ මාර්ගෙ ජීවත්වෙන කෙනෙක්. මම ඒ විදියට අඳිනවා. එයාගෙ සින්දු අහනවා. පිචර් බලනවා. මමත් එයා වගේ දුප්පතාගෙ හිතවතා. මට ගොඩක් අය කියනවා අයියා ටිකක් සුදු වුණා නම් එම්.ජී.ආර් මයි කියලා.

    මම ගිය දීපවාලියට එතුමා අඳින විදිහට ඇඳුම් හතරක් මැහුවා. ඒ ටිකට මට රුපියල් 38,000ක් වියදම් වුණා. මම එතුමාගෙ චිත්‍රපටි බලනවා මොන වගේ ඇඳුම්ද එතුමා ඇන්දෙ කියලා. ඊට පස්සෙ ඒ විදියට මම ඇඳුම් මහ ගන්නවා. එම්.ජී.ආර් කියන්නෙ දුප්පතාගෙ හිතවතා. එයා මැරුණු දවසේ මිනිස්සු ගිනි තියාගෙන මැරුණා. ඒ තරමටම මිනිස්සු එයාට ආදරෙයි. මම යන්නෙත් එම්.ජී.ආර් ගිය පාරේ.

    IMG_8323.jpg


    මම ලස්සනට අඳින්න අවුරුද්දක් එනකන් බලන් ඉන්නෙ නැහැ. හැමදාම ගත කරන්නේ මෙහෙමයි.

    මේ විදියට ඇඳගෙන තමයි මම වැඩ කරන්නේ. මම ඇඳුමට ගැළපෙන විදියට තමා සපත්තු, සන්ග්ලාස් දාන්නෙ. ගැළපෙන සන්ග්ලාස් තිබුණෙ නැත්නම් මම ඒ කිට් එක අඳින්නෙ නැහැ. මම හැමදාම රෑට නිදා ගනිද්දි හිතනවා හෙට අඳින්නෙ මොකද්ද කියලා. මේ කලිසමට මේ ටී ෂර්ට් එක, මේ බෙල්ට් එක, මේ කැප් එක, මේ සන්ග්ලාස් දෙක කියලා මම මැච් කරනවා. මට ඒක මැච් වෙන්නෙ නැත්නම් වෙන එකක් ඇඳගෙන එනවා. ඇඳුම් ඔක්කොම මහලයි මම අඳින්නේ. අපි ගෙනාපු දේකුත් නෑ. ගෙනියන දේකුත් නෑ. ඒ නිසා මම ජීවත් වෙලා ඉන්න මේ ටික කාලෙ ලස්සනට ඇඳලා කරලා ඉන්නවා.

    මට සපත්තු කුට්ටම් 52ක් තියෙනවා. කලිසම් 30යි, තොප්පි දුසිමකුයි, බෙල්ට් 50යි, අත්ඔරලෝසු 9යි, සන්ග්ලාස් 50කුයි තියෙනවා. මට ලස්සනට අඳින්නයි ඕනෙ. ඇඟපත බිල්ඩර් වගේ ආර්නෝල්ඩ් වගේ එන්න ඕනෙ කියන ආසාව නැහැ. මොකද එතකොට තමා වෙඩි පාර කන්න වෙන්නේ. මොකද එතකොට මට දෙන්නෙක් තුන්දෙනෙක් අරන් නමන්න හිතෙයි, බෙල්ල කඩන්න හිතෙයි. ඇයි ආනෝල්ඩ්නෙ. ඉතිං පාලනය කරන්න බැහැ. ඒ හින්දා මම මේ වගේ ඉන්න එකයි ලස්සන.

    මට මාසෙට ඇඳුම් වලට 30,000ක් 40,000ක් වගේ යනවා. මම ආවාට ගියාට ඇඳුම් ගන්නෙ නැහැ. කඩවල් 10කට 20කට ගිහින් බලනවා. මට ආස හිතුණොත් ඒ දේ කරන්න ඕන කියලා, මම ඒක කරනවා. ඒක තමා මගේ තියෙන නරක පුරුද්ද. කෙලින්ම යනවා පිටකොටුවට හරි මල්වත්තට හරි. සපත්තු ගන්නව නම් කල්පනා කරනවා, මේ සූට් එකට මේ සපත්තු තමා ගැළපෙන්නේ කියලා. කඩවල්වල අයත් මට ආදරෙයි. එන්ඩ එම්.ජී.ආර් අයියෙ කියලා මට කතා කරනවා.

    මට හරියට සෙට් උනොත් 3000ක් වුණත් 4000ක් වුණත් ගන්නවා. මගේ අතේ සල්ලි අඩු වුණොත් මම ඩිපොසිට් එකක් තියලා එනවා. එයාලා දන්නවා මම ආපහු එනවා කියලා. හම්බ කරන එකෙන් වැඩියෙන් මට වියදම යන්නෙ ඇඳුම් වලට. කන බොන එක ඉපදුණ කාලෙ ඉඳන්ම කරනවනේ. ඒක වෙන දෙයක්. ඒක කවුරුත් කියන්න ඕන නැහැ. ඒත් අඳිනවා කියන දේ එහෙම නැහැ. මම පාරෙ යද්දි හැමෝම මගේ දහා බලනවා. මට එතකොට හරි සන්තෝෂයි.

    මේ කොළඹ කොටුවෙ නාට්ටාමිලා එක්ලක්ෂ විසිදාහක් විතර ඉන්නවා. ඒ අය අතරේ මම ස්ටාර් කෙනෙක්. මාව හැමෝම අඳුනනවා. මේ කොළඹ ටවුමෙ මාව දන්නෙ නැති මිනිහෙක් නැහැ. ඒ වගේම මට ආදරෙයි. එම්.ජී.ආර්. කියන්නේ විලාසිතා විතරක්ම කරන පුද්ගලයෙක් කිව්වොත් වැරදියි. ඇත්තටම ඔහු මනුස්සකම තියෙන හිත හොඳ මනුස්සයෙක්. ඔහුගේ වචනෙන් කියනවා නම් දුප්පතාගේ හිතවතෙක්. ඔහු සමග කතා කරද්දි දැනුණ දේ තමයි ඔහු සාමාන්‍ය නාට්ටාමි කෙනෙක් නොවන වෙනම දර්ශනයක් තියෙන වෙනස් මනුස්සයෙක් කියන එක. ඔහුට ජීවිතේ ගැන ඔහුගේ මට්ටමින් හොඳ කියවීමක් තියෙනවා. ඔහු ජීවිතේ දකින්නෙ මෙන්න මේ විදියටයි.

    අපි ගෙනාව කිසි දේකුත් නෑ. ගෙනියන දේකුත් නෑ. කෝටි ගණන් තිබුණත් වැඩක් නැහැ. අපි යද්දි ඒ දේවල් ගෙනියන්න බැහැ. අපි අවුරුදු තුන්සීයක් විතර ජීවත් වෙන්න ආවෙ නැහැ. අවුරුදු තුන්සීයකට ජීවත් වෙන්න ආව නම් අවුරුදු 100ක් මොනා හරි මංකොල්ලයක් කරලා, මිනිස්සු මරාගෙන ජීවත් වෙන්න පුළුවන්. මොකද තව අවුරුදු දෙසීයක්ම තියනවනේ. ඒත් එහෙම නෙමේනෙ. අපි මේ ඉන්න ටික කාලය හැමෝටම අවංකව ජීවත් වෙන්න ඕන. මොකද ටික දවසයි වැරදි කරලා ජීවත් වෙන්න පුළුවන්. මොන දේ කරලා පැනල ගියත් කවදා හරි නීතියට අහුවෙනවා. මගේ ජීවිතේ ගත කරන්නේ කාටවත් කරදරයක් නැතුවයි. කාගෙන්වත් ඉල්ලගෙන යන්නෙ නැහැ. මට ඉන්නෙ නංගි කෙනෙක් විතරයි. නංගී බැඳලා. නංගී කතා කරනවා අයියෙ ඇවිත් කාල යන්න කියලා. විශේෂ දවස් වලට මම යනවා. ඒත් හැමදාමත් යන්න හොඳ නැහැ. මොකද මම කාටවත් බරක් වෙන්න කැමති නැහැ.

    අනිත් දේ තමයි සමහර මිනිස්සු සද්දෙ දාගෙන, වෙඩි තියාගෙන, අනවශ්‍ය දේවල් කරගෙන ජීවත් වෙනවා. ඒ අය හිතන්නේ ඒ අයගෙ සද්දෙ තමයි ලොකුම සද්දෙ කියලා. ලෝකෙ ලොකුම සද්දෙ විදුලි සද්දෙ. ඒ වගේම මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ අපි තමා දිනුම් කියලා. ඇත්තටම දිනන්නේ මේ මහපොළව. අපි කවදා හරි මහපොළවට පස්වෙලා යනවා. ඒ කාල සීමාව එනකන් අපි ජීවත් වෙන්න ඕන කාටවත් කරදයක් නැතිවයි. කවුරු හරි අපෙන් ඉස්සෙල්ලා අහන්නෙ නම මොකද්ද කියලා. ඊට පස්සෙ අහන්නෙ රස්සාව මොකද්ද කියලා. රස්සාවක් නැහැ කිව්වොත් හිතන්නෙ රස්තියාදුකාරයෙක් කියලා. නැත්තන් අයි ආර් සී කාරයෙක් කියලා. මනුස්සයෙක් වුණාම කුලී රස්සාවක් හරි කරනවා කියල කියන්න පුළුවන්කම තියෙන්න ඕන.

    අපි මනුස්සයෝ ඔක්කොම එකයි. අපි දෙමළ වුණත්, සිංහල වුණත්, මුස්ලිම් වුණත් ඔක්කොම එකයි. අපි හැමෝගෙම දුවන්නේ රතුපාට ලේ. මගේ එහෙම කිසිම බෙදීමක් නැහැ. හැම දෙවි කෙනෙක්ටම මම බස් එකේ ගියත්, පයින් ගියත් ගෞරව කරලා තමයි යන්නේ. අදට වැඩිය හෙට හොඳයි කියලා තමයි මම ජීවිතේ ගත කරන්නේ. මගේ නැව මුහුදේ ගිහින් ගිලුණත් මම උඩ ඉඳන් බෑන් චූන් ගහනවා. මං ළඟ සල්ලි තියෙන දවසටත් වැඩිය සල්ලි නැති දවසට මම සතුටින් ඉන්නවා.

    ඇත්තටම ඔහු සරල මනුස්සයෙක්. ඔහු ඔහුට වගේම රස්සාවටත් අවංකයි. කොයි කවුරුත් ඔහුට ආදරේ වෙන්න හේතුවත් එයයි. ඔහුත් සමග කතාබහ කරද්දි කී දෙනෙක් නම් ඔහුට එම්.ජී.ආර් අයියෙ කියලා අත වනාගෙන ගියාද. ඒ ඔහු හිත හොඳ මනුස්සයෙක් නිසයි. ඔහුට ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. ඒත් ඔහු සතුටෙන් ඉන්නවා. ඇත්තටම ලොකු සල්ලිකාරයන් ළඟ අහලකවත් නැති සතුටක්, නිදහසක් ඔහුට තිබෙනවා. ඇත්තටම ඔහු දුප්පතාගෙ හිතවතෙක්.

    IMG_8350.jpg


    http://gossip.tharunaya.com/2017/11/15/මං-ළඟ-සල්ලි-තියෙන-දවසටත්-ව/
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    මෝඩ හුට්ටෙක් ,මොකාද බන් m.g .r කියන්නේ
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඒකත් පිස්සුවක් තමයි. සල්ලි ටිකක් එකතු කරල අන්තිම කාලෙ නිදහසේ ඉන්න සැලැස්මක් තියෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: jmzsl