මම ඔබ එනතෙක් බලා සිටිමි

Apr 8, 2010
8
2
0
මම ඔබ එනතෙක් බලා සිටිමි

මම ඔබ එනතෙක් බලා සිටිමි

ab1004043.jpg
ඔබ එනතෙක් මා බලා සිටින බව ඔබ නොදන්නවා නොවේ. සැබැවින්ම මම ඔබ එනතෙක් දෑස් දල්වාගෙන බලා සිටිමි.
”වැඩ කරන්ඩ පුළුවන් පාර්ලිමේන්තුවක් මට දෙන්න”
ජනාධිපතිතුමා කිහිපවරක්ම ප්‍රකාශ කරනු මම අසාගෙන සිටියෙමි. මෑත කාලයේදී මා දුටු විශිෂ්ට නායකත්වය මම එතුමා තුළින් දුටුවෙමි.
ඉතින් මම දියවන්නා ඔය අසබඩට වී ඔබ එනතෙක් බලාසිටිමි. මේ දවස්වල පරිසරය ම පාළු ස්වභාවයක් ගනී. ඔබ නැති පරිසරය ඇත්තටම පාළු ය. පාළුව, තනිකම, සාංකාව යනු කුමන ආකාරයේ හැඟීම් දැයි මේ දිනවල අත්විඳිමින් සිටින්නෙමි.
පාළුවේ තනිපංගලමේ සිටින විට මට බොහෝ දේවල් සිහිපත් වෙයි. ඇන්.ඇම්. සහෝදරයා සිහිපත් වන විට මා තුළ කිසියම් අභිමානයක් ඇතිවෙයි. ඔහුගේ වාග් විලාශයට මෙන්ම දැනුම් සම්භාරයට මම ඇළුම් කරමි.
ඔහු මගේ ගර්භයේ සිට නැඟිටින විට මට මහත් අභිමානයක් දැණුනි. ඔහු කොල්වින් සහෝදරයා තරම් වේගයෙන් කතා නොකරයි. එහෙත් විචක්ෂණ බව අතින් කිසිවකුට හෝ සමීප විය නොහැකි තරමට ඒ කතා සරුසාරය.
බණ්ඩාරනායක මහත්තයාගේ පෞරුෂය මට අදටත් සිහිපත් වෙයි. ඉංග්‍රීසිය සහ සිංහලය එකසේ භාවිතා කළ හැකි චතුර බවට මම අදත් පෙම් බඳිමි.
එහෙත් එකල මා බලාසිටියේ මුහුද දෙසය. දැන් මම දියවන්නාව දෙස බලා සිටිමි.
ඉතින් දියවන්නාවේ සිහිල් සුළං රැළි බඳ වටා ඔතාගනිමින් මම ඔබ එනතෙක් බලා සිටිමි.
”මට ඕනෑ කයිවාරු කාරයො නෙමෙයි. වැඩකරන්ඩ පුළුවන් මිනිස්සු”
ජනාධිපතිතුමාගේ වචන දියවන්නාව පරිසරය පුරා නින්නාද වනු මට ඇසේ.
ඔබ කයිවාරුකාරයකු නොව ඇත්තටම වැඩකාරයකු බව මම දනිමි. ඔබ මහා පෞරුෂයක් ඇති එහෙත් නිරහංකාර කෙනෙකු බව මා දැනගෙන බොහෝ කල්ය.
මට සරත් මුත්තෙට්ටුවේගම සහෝදරයා සිහිපත් වෙයි. ඔහුට මහා පෞරුෂයක් තිබිණි. එහෙත් ඔහු නිරහංකාර මිනිසෙකි. සඳළුතලාවේ සිට මහමඟට පැමිණි අප්පො කෙනෙකි. ඇත්තටම ඔහු අප්පො කෙනකු නොවේ. සහෝදරයෙකි.
ඔබ ඔහු වැන්නකු බව මම දනිමි. එහෙත් ඔබ පිලිප් ගුණවර්ධන වැනි යැයි මම සිතමි. මන්ද යත් ඔබට සාමාන්‍ය ජනතාව ගැන හැඟීමක් ඇති බව මා හොඳින්ම දන්නා නිසාය. කුඹුරු පනත සකස් කොට අඳ ගොවියා බේරාගත් පිලිප් ගුණවර්ධන මගේ ඇකයෙහි සිටි බව සිහිපත් වන විට ද මට ආඩම්බරයක් නොව සාඩම්බරයක් ඇතිවෙයි.
ඔබ ස්ත්‍රී දූෂකයකු නොවන බවත් කුඩුකාරයන් හෝ පාතාල මැරයන් ඇසුරු කරන්නකු නොවන බවත් මම දියවන්නාව ඉස්මත්තේ අතුපතර අතර වසා සිටින කුරුල්ලන්ට කීවෙමි. ඔවුහු ගී ගයා මගේ ආරංචියට සුබ පැතූ®හ. ඔබ එනතුරු මා පමණක් නොව සතා සීපාවා පමණක් නොව ගහකොළ ද බලා සිටින බව මම දනිමි.
එහෙත් මා ඔබට වඩාත් ආදරය කරන්නේ මේ කිසිවක් නිසා නොවේ. ඔබ පණ මෙන් රටට ආදරය කරන්නකු බව මා හොඳින්ම දන්නා නිසාය. රටට ආදරය කරන්නන්ට මුළු රටම ආදරය කරන බව මම අත්දැකීමෙන් දනිමි.
ඔබ පැමිණෙන්නේ මා ගණිකා වෘත්තියේ යොදවා හත්මුතු පරම්පරාවකට සල්ලි හම්බකරන්නට නොවන බව බට්ටිච්චෙකුට කීවෙමි. ඌ ගීයක් ගැයුවේය. ඒ ගී හඬ දියවන්නාවේ දිය රැළි උඩින් බොරැල්ල දෙසට පාවී යන්නට ඇතැයි මට සිතිණි.
එහෙත් මා තුරුළට වී මගේ රට විකුණන්නට උත්සාහ කළ අධමයින් ගැන මම දනිමි. ඔවුහු සැබැවින්ම සල්ලාලයෝය. ඔවුන්ගේ පිළිකුල් පහස දැනෙන විට මට දැනුදු ඔක්කාරයට එයි.
මා රවටා ගෙන ගොස් සුද්දන් රැළකට පාවාදෙන්නට උත්සාහ කළ මිනීකාක්කන් මට හොඳින් මතකය. ඔවුන්ගේ් හැඩරුව පමණක් නොව දුර්ගන්ධය ද මම දනිමි. ඔවුන් වැන්නන් දියවන්නාවේ පැත්ත පළාතේවත් නොපැමිණේවායි මම හැම තත්පරයකටම වරක් ප්‍රාර්ථනා කරමි. ඔවුන් කතාකරන විට වීසිවෙන කෙළ බින්දු කට දෙකොණෙහි පෙණ කැදලි සේ එකතුවෙනු මම දැක ඇත්තෙමි. පිළිකුල හත් අට ගුණයකින් වැඩිවී ඔක්කාරයට එනු වළක්වාගත නොහැකිව මම දියවන්නාවෙන් පිටවී බොරැල්ල හරහා උස්වැටකෙයියාවේ මුහුදු තීරය දක්වා ඇවිදගොස් ඇත්තෙමි.
ඔබ එවැනි පිළිකුල්සහගත කෙළතොල්ලකු නොවන බව මම දනිමි. මා දියවන්නාව අසබඩට වී ඔබ එනතුරු බලා සිටින්නේ ඒ නිසාමය.
”මට වැඩ කරන්ඩ පුළුවන් අය දෙන්ඩ”
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හඬ යළි යළිත් දෝංකාර දෙමින් ඇසේ. ඔබ ගැන ජනාධිපතිතුමාට කියන්නට මට සිතේ. එහෙත් ඊට පළමු ඔබ මා දකින්නට ආ යුතුය. රට වැස්සන් ඔබ වැන්නන්ට බොහෝ සෙනෙහස දක්වන එක ගැන මට සැකක් නැත.
ගෙවී ගිය වසර කිහිපය ගැන මම සතුටු නොවෙමි. එහෙත් හෙට දවස එසේ නොවන බව මම දනිමි.
ඔබ පෝස්ටර්වලට කටවුට්වලට එතරම් මුදල් නාස්ති නොකළ බව මම දනිමි. මිනිසුන්ගේ හදවතෙහි ඔබේ රූපය ඇඳී ඇත්නම් පෝස්ටර්වලින් ඔබේ හැඩරුව නොපෙන්වූවාට කමක් නැත. එහෙත් ඔබේ අංකය පැවසීම නම් වැදගත් බව මමද පිළිගනිමි.
මෙසේ ඔබ වෙනුවෙන් සුළු වියදමක් හෝ දරන්නට අශ්ලීල හෙවත් “ජරා පප්පලා” ඔබ ළඟට නොගත් බව මම දනිමි. ඔබ එනතුරු මා නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඒ නිසාය.
ඔබ මා වෙතට එන්නේ මිනීකාක්කකු බවට පත්වී මා එකිනෙකාට අලෙවිකරන්නට නොවන බව මම දනිමි.
මම ඔබ දෙස බලා සිටිමි.
ඔබ කෙතරම් යහපත් ගුණගරුක මිනිසෙක් ද! ඔබ ඇඟපුරා තවරාගත් වසුරු වැසෙන්නට සුදු ඇඳුමක් ඇඟලාගත් පුද්ගලයකු නොවේ.
ඇත්තටම ඔබ වතුසුදු යායක් සේ පවිත්‍ර බව මම දනිමි.
ඔබ එන්න...! අප්‍රේල් අටවැනිදාට එන්න. මම ඔබ සිප වැළඳ ගැනීමට බලා සිටිමි.
”මට වැඩකරන්ඩ පුළුවන් කණ්ඩායමක් දෙන්න”
ඔව්.. ඔබ ජනාධිපතිතුමාට උපරිම සහයෝගය දක්වන බව මම දනිමි.
”අපි සංවර සමාජයක් හදන්ඩ ඕනෑ”
එවැනි සමාජයක් හදන්ඩ නියම සුදුස්සා ඔබ බව මම දනිමි.
”අපේ රට ආසියාවේ ඓශ්චර්යය බවට පත්කළ යුතුයි. පත්කළ හැකියි. ඒක මම කරනවා.. මට දක්ෂ කණ්ඩායමක් දෙන්න”
ජනාධිපතිතුමාගේ හඬ දියවන්නාවට ද පැහැදිලිව ඇසේ.
ඔව්.. ඔබ ඒ සඳහා හොඳම සුදුස්සා බව මම දනිමි.
එන්න... එතුමාගේ අත්වැල් අල්ලාගන්න එන්න. මම ඔබ එනතෙක් දියවන්නාව අසබඩට වී බලා සිටිමි.
කඩිසර, බුද්ධිමත්, පෙරටම යන, දේශයට ප්‍රේම කරන මහජන නියෝජිතයාණනි එන්න... අප්‍රේල් අටවැනිදා මා තුරුළට...
අපි ජනාධිපතිතුමා සමඟ එක්වී අපේ රට හදමු. බාල පරපුරට උතුම් රටක් භාරකරමි. ආසියාවේ ඓශ්චර්ය ඔවුන්ට තෑගි කරමි.
එන්න... අප්‍රේල් 8 වැනිදා දැන් හොඳටම ළඟයි...
යහපත්,ගුණවත්, නැණවත් මිනිසුනේ මන්ත්‍රීවරයකු වී එන්න.