එච්අයිවී යනු කුමක්ද?
ඉංග්‍රීසි භාෂාවේ මෙම අකුරු තුනෙන් කියවෙන්නේ හියුමන් ඉමියුනෝඩෙෆිශන්සි වෛරස් යන්නයි. එහි සිංහල තේරුම වන්නේ මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය යන්නයි.
මෙම වෛරසය පහර දෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් වී ඇති සුදු රුධිරාණු: ප්‍රධාන වශයෙන්ම එහි ඇති සීඩී 4 සෛල වලටයි. සීඩී 4 සෛල යනු ස්වාභාවිකව ආසාදන සමග සටන් කිරීමෙහිලා විශාල කාර්යක් ඉටු කරන සුදු රුධිරාණු වර්ගයකි. මෙම වෛරසය ආසාදනය වී ප්‍රතිකාර නොකර හැරියහොත් වෛරසය විසින් සීඩී 4 සෛල විනාශ කරමින් එච්.අයි.වී සමග ජීවත් වන පුද්ගලයාව අවස්ථාවාදී ආසාදන සදහා නැඹුරු කරවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එච්.අයි.වී සහ ඒඩ්ස් පිළිබද එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන මගින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට 2016 වර්ෂය අවසානය වන විට ලෝකයේ එච්.අයි.වී සමග ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 36.7කි.
2015 වර්ෂය අවසානය වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 4100 ක් එච්.අයි.වී සමග ජීවත් වන බව ශ්‍රී ලංකාවේ ජාතික එච්.අයි.වී වැඩසටහන මගින් ඇස්මේන්තු ගත කර ඇත. 2017 පළමු කාර්තුව අවසානයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ථ එච්.අයි.වී සිදුවීම් ගණන 2630 කි.
2016 වසර තුළ ශ්‍රී ලංකාවේන් එච්අයිවී ආසාදන 249ක් වාර්තා වී ඇත. වසරක් තුළ ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම එච්අයිවී සිදුවීම් ගණන එය වේ. එක් මාසයක් අළුතෙන් එච්අයිවී සිදුවීම 21ක් පමණ හදුනා ගන්නා බව තුළ දත්ත අනුව පෙනී යයි. කෙසේ වුවත් මෙම දත්ත වලින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ එච්අයිවී සමග ජීවත් වන පිරිසෙන් කොටසක් පමණි. බොහෝ පිරිසක් තමන්ට එච්අයිවී තිබෙනවා දැයි නොදැන ජීවත් වෙති. ඊට අමතරව එච්අයිවී පිළිබද ඇති කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම පරීක්ෂණ සදහා යොමු වීම වළක්වයි. - ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වෘපෘතිය - වාර්ෂික වාර්තාව
මෙම වෛරසය, 1984 වර්ෂයේදී ඒඩ්ස් සදහා හේතු වන වෛරසය ලෙස හදුනා ගැණනු අතර 1986 දී එයට එච්.අයි.වී යන නාමය ලබා දෙන ලදී. එතැන් පටන් මරණ දඩුවමක තත්තවයේ සිට පාලනය කළ හැකි නිදන්ගත (දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි ) තත්ත්වයක් දක්වා 2017 දී විකාශනය වී ඇත. ප්‍රතිකාර වල සහයෙන් අද වන විට එච්.අයි.වී සමග ජීවත් වන පුද්ගලයන්ට සෞඛ්‍යමත් පූර්ණ ආයු කාලයක් වැළදීමේ අවස්ථාව උදා වී තිබීම සතුටට කරුණකි.