මෛත්‍රිය කියා අදහස් කරන්නේ තමාටත්, අන් අයටත් හදවතින් ම පවත්වන මිත්‍රත්වය යි.
හිතෛෂී බවයි. තමා තමාට හිතෛෂී නම් තමන්ගේ ජීවිතයට තමන් විසින් කරදරයක් කරගන්නේ නැහැ. තමා අනුන්ට මිත්‍ර නම්, හිතෛෂී නම් අනුන්ගේ ජීවිතයට හානියක් කරන්නේ නැහැ. මේ නිසා මෛත්‍රීය කියන්නේ තමාටත්, අනුන්ටත් යහපත සලසන මිත්‍රත්වයට යි.
කරණීයමෙත්ත සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ සිටගෙන සිටිද්දී, වාඩිවී සිටිද්දී, ගමන් කරද්දී, නිදාගෙන සිටිද්දී යන සතර ඉරියව්වේ දී ම මෙත් සිත පුරුදු කළ යුතු බව යි. එමෙන් ම මෙත්තා කාය කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කර්ම ලෙස සිත, කය, වචනය යන තුන් දොරින් ම මෛත්‍රීය දියුණු කරගත යුතු බවත් දේශනා කොට තිබෙනවා.
ගිහි පින්වතුන්ට නම් චෛත්‍ය, බෝධිය වැඳීම සඳහා යෑම, සංඝයාට දානයට - බණට ඇරයුම් කිරීම සඳහා යෑම, ගමට පිඬුසිඟා වැඩි භික්ෂූන් දැක පෙරගමන් කිරීම, පාත්‍රය පිළිගැනීම, තුනුරුවන් විෂයෙහි සිදුකරන මෛත්‍රී කායකර්ම බව ධර්මයේ සඳහන් වෙනවා.
භික්ෂූන් වහන්සේලාට නම් මෙත් සිතින් වත් පිළිවෙත් සිදුකරමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ආභිසමාචාරික ධර්මයන් පුරුදු කිරීම මෛත්‍රී කාය කර්ම බවට පත්වෙනවා.
භික්ෂූන්ට මෛත්‍රී වචී කර්ම වන්නේ මෙත් සිතින් ධර්ම දේශනා කිරීම, ධර්මය ඉගැන්වීම, භාවනා අරමුණු කියාදීම, මෙත් සිතින් වත් පිළිවෙත්හි හික්මවීම ආදිය යි. ගිහි පින්වතුන්ට නම් අන් අය යහපතට යොමු කරවමින්, සෑය - බෝධිය වඳීන්නට යමු, මල් පහන් පුදමු, ධර්මය අසමු, දන්පැන් පුදමු ආදී වචන මෛත්‍රී වචී කර්ම බව සඳහන් වෙනවා.
භික්ෂූන්ටත්, ගිහි පින්වතුන්ටත් මෛත්‍රී භාවනාව පුරුදු කිරීම මෛත්‍රී සහගත අදහස් පැවැත්වීම මෛත්‍රී මනෝ කර්ම ලෙස අදහස් වෙනවා. මෙම මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම අන් අය ඉදිරියේදීත්, නැතිවිටත් සෑමවිට ම පැවැත්විය යුතු බව ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළා.
මෛත්‍රී චිත්ත සමාධිය පුරුදු කරමු
මේ ආකාරයට නිරතුරුව ම මෙත් සිතින් වසන කෙනෙකුට භාවනාවක් ලෙස, සමාධි නිමිත්තක් ලෙස මනාකොට මෛත්‍රී චිත්ත සමාධිය වැඩිය හැකියි. එසේ මෛත්‍රී භාවනාව වඩන ආකාර දෙකක් මජ්ඣිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේ සඳහන් වෙනවා. එහිදී අනුරුද්ධ මහරහතන් වහන්සේ මෛත්‍රී භාවනාව වඩන ක්‍රම දෙක පිළිබඳව පැහැදිලි කරදී තිබෙනවා. ඒ තමයි, අප්පමාණ චේතෝ විමුක්තියත්, මහග්ගත චේතෝ විමුක්තියත් කියන දෙ ආකාර ය.
මහග්ගත චේතෝ විමුක්තිය කියා අදහස් කරන්නේ ක්‍රම ක්‍රමයෙන් මෛත්‍රීය වඩන ප්‍රදේශය පුළුල් කරමින් මෛත්‍රීය වැඩීම යි. එහිදී පළමුවෙන් ම තමන්ට මෛත්‍රිය වඩනවා. ඉන්පසු නිවසේ අයට, ගමේ අයට, පළාතේ අයට, තමන් ජීවත්වන රටේ අයට, ලෝකයට වශයෙන් ප්‍රදේශය පුළුල් කරමින් මෙත් සිත පතුරවනවා.
අප්පමාණ චේතෝ විමුක්තිය කියන්නේ ප්‍රමාණ රහිත කොට දිශා වශයෙන් මෙත් පැතිරවීමට යි. එහිදී නැඟෙනහිර, දකුණ, බටහිර, උතුර යන ප්‍රධාන දිශා හතරටත්, අනුදිශා හතරටත්, උඩ-යට යන දසදිසාවට ම මෙත් වැඩීම සිදුකරනවා.
මෛත්‍රී භාවනාවෙන් කෙනෙකුට ධ්‍යාන දක්වාම සිත දියුණු කරගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව තුළින් ධ්‍යානයක් ඇති කරගන්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරයට ම භාවනා කළ යුතුයි.ඒ අයුරින් මෛත්‍රී භාවනාව වඩන විට පංච නීවරණ යටපත් වී මෛත්‍රී අරමුණ තුළ ම සිත එකඟ වෙනවා. ඒ එකඟ වූ සිතින් යුතුව තවදුරටත් මෛත්‍රී භාවනාව වඩන විට විතර්ක විචාර, නිරාමිස ප්‍රීතිය, සැපය, ඒකාග්‍රතාවය ඇති පළමුවෙනි ධ්‍යානය ලැබෙනවා.
ඒ ශ්‍රාවකයාට තවදුරටත් මෛත්‍රී භාවනාව දියුණු කොට ඉදිරි ධ්‍යාන ලබාගන්න පුළුවන්කම තිබෙනවා. එම මෛත්‍රී ධ්‍යාන තුළ පිහිටා විදර්ශනා වැඩීම තුළින් මාර්ගඵල නිවන සාක්ෂාත් කළ හැකි බව අට්ඨකනාගර සූත්‍රය ආදී දේශනාවල පෙන්වා දෙනවා.
අංගුත්තර නිකායේ මෙත්තානිසංස සූත්‍රයේ දී මෛත්‍රී භාවනාව හොඳීන් ප්‍රගුණ කරන කෙනෙකුට ලැබෙන ආනිසංස ඉතාම පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයා,
1. සැප සේ නිදාගන්නවා. (සුඛං සුපති)
2. සැප සේ අවදිවෙනවා. (සුඛං පටිබුජ්ඣති)
3. නිදා සිටින විට පාපී-නපුරු සිහින දකින්නේ නෑ. (න පාපකං සුපිනං පස්සති)
4. මිනිසුන්ට ප්‍රියමනාප වෙනවා. (මනුස්සානං පියෝ හෝති)
5. අමනුෂ්‍යයින් ටත් ප්‍රියමනාප වෙනවා. (අමනුස්සානං පියෝ හෝති)
6. දෙවිවරු ඔහු ආරක්ෂා කරනවා. (දේවතා රක්ඛන්ති)
7. ගිනි, වස විෂ, අවි ආයුධවලින් විපත් සිදුවන්නේ නැහැ. (නාස්ස අග්ගීි වා විසං වාසත්ථං වා කමති)
8. සමාධිය ඉක්මනින් ම ඇති කරගන්න පුළුවන්. (තුවටං චිත්තං සමාධියති)
9. මුහුණේ වර්ණය පැහැපත් වෙනවා. (මුඛවණ්ණෝ විප්පසීදති)
10. සිහි මුළා නොවී මරණයට පත්වෙනවා. (අසම්මූළ්හෝ කාලං කරෝති)
11. මේ ජීවිතයේ දී ඉහළ මාර්ග-ඵල අවබෝධයකට පත්වුණේ නැතිනම් බ්‍රහ්ම ලෝකයේඋපදිනවා. (උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති)
එමෙන් ම මෙත්තා චේතෝවිමුක්ති නම් සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රියෙහි අනුසස් මෙසේ වදාළා.
“පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තිබෙනවා නම්, ඒ සියල්ල ම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවා, මේ මෛත්‍රී චිත්ත විමුක්තිය ම දිලිසෙනවා. හාත්පසින් බබළනවා.”
එහිදී භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රියෙහි අනුසස් තවදුරටත් මෙසේ විස්තර කොට වදාළා. “යම් කෙනෙක් හොඳීන් සිහිනුවණ තුළ පිහිටලා, අප්‍රමාණව මෛත්‍රී චිත්තය වඩනවා නම්, ඔහු කෙලෙසුන්ගේ නැසීම දකිනවා. ඒ සිතේ සසරේ බැඳ තබන බැඳීම් තුනීවෙලා යනවා. එකම එක ප්‍රාණියෙක් ගැනවත් සිත දූෂිත කරගන්නේ නැත්නම්, මෙත් සිතම පතුරුවනවා නම්, ඒ නිසා ම ඔහු ධර්මයේ හැසිරෙන්නට දක්ෂයෙක් වෙනවා. එම නිසා සියලු ප්‍රාණීන් කෙරෙහි ම මහත් හිතානුකම්පාවක් ඇති ආර්යයන් වහන්සේ බොහෝ පින් රැස් කරගන්නවා යන කරුණෙහි ඇති අරුමය කිම?
ඵමෙන් ම අපගේ හාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව අවධියේ දි මෛත්‍රී ධ්‍යාන වැඩීමෙන් ලත් ආනිසංස “මා පුඤ්ඤභායී“ සූත්‍රයෙහි මෙසේ වදාරා තිබෙනවා. “ මහණෙනි, මම වනාහී බොහෝ කලක් කරන ලද පින්වල ඉෂ්ඨ වූ, කාන්ත වූ, මනාප වූ විපාක බොහෝකල් විඳීන ලද බව හොඳීන් දනිමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කළෙමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කොට නැසෙන වැඩෙන සත් කල්පයක් මේ මිනිස් ලොවට නැවත නො පැමිණියෙමි.
ලෝකය නැසෙන කල්හී මම ආභස්සර ලොවට පැමිණියෙමි. ලෝකය හැදෙන කල්හී ශුන්‍ය වූ බ්‍රහ්ම විමානයක උපන්නෙමි. මහණෙනි, එහි ද මම බ්‍රහ්මයා වෙමි. මහා බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩලමි. අනුන් විසින් නො මැ¼ඩිය හැක්කෙමි. සියල්ල දක්නාසුලු වූයෙමි. වසඟයෙහි පැවැත්වූවෙමි.
මහණෙනි, මම වනාහී තිස්හය වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර තනතුර ලැබුවෙමි. ධාර්මික වූ, ධර්මරාජ වූ චක්‍රවර්තී රජු වූයෙමි. සිව් මහා සමුදුර හිම් කොට පෘථිවියෙහි දිනන ලද්දෙමි. ජනපදයන්හී ස්ථිරභාවයට පත්වුණෙමි.
සප්ත රත්නයන්ගෙන් යුක්ත වූයෙමි. එබඳු වූ මම සයුර හිම් කොට පොළොව දඬුමුගුරුවලින් තොරව, අවි ආයුධවලින් තොරව ධර්මයෙන් දිනා වාසය කළෙමි.”
මෙසේ සත් වසරක් වැඩූ මෛත්‍රී ධ්‍යානයේ අනුහසින් ලද මහත් වූ සැපත පෙන්වා වදාළ ශාස්තෘන් වහන්සේ එම දේශනාව අවසන් කළේ මෙසේ වදාරමිනි. “එහෙයින් යහපත කැමති වූ, මහත්බව පතන්නහු විසින් බුදුරජුන්ගේ අනුශාසනාව සිහි කොට මෛත්‍රිය නම් වූ සද්ධර්මයට ගරු කළ යුත්තේ ය”.
එම නිසා ගිහි-පැවිදි අපි කවුරුත් සිව් ඉරියව්වේ දී ම මෛත්‍රිය පුරුදු පුහුණු කරමු. භාවනා අරමුණක් ලෙස මෛත්‍රී චිත්ත සමාධිය වඩන්නට උත්සාහවත් වෙමු. අග්‍ර වූ පින් රැස් කරගෙන මෙලොව පරලොව යහපත සැපත සලසා ගනිමු. මෙත් සිත වඩමින් ධර්මාවබෝධය ලබන්නට අරි අටඟි මඟ ගමන් කරමු.
අති පූජනීය
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි.
[19/08, 9:42 am] Sachith 2: කරණීය මෙත්ත සූත්‍රය..
නිධාන කතාව:
ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ වැඩසිටි සමයේ භික්‍ෂූන් වහන්සේ 500 නමක් භාවනානුයෝගීව වැඩ සිටීමට සුදුසු තැනක් බුදුරදුන්ගෙන් විමසා සිටියා. එවිට උන්වහන්සේ අරඤaඤ ගතෝවා, (ආරාම තූළ) රුක්‌ක මූල ගතෝවා, (රුක් සෙවනේ) සුඤ්ඤාගාර ගතෝවා (ජන ශුන්‍ය) පෙදෙස් යන ස්‌ථානවලින් එක් ස්‌ථානයකට යන මෙන් කියා සිටියා.
ඒ අනුව උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැහැබක් ඊට සුදුසු බව දන්වා සිටියහ. මේ භික්ෂූන්වහන්සේලාත් ඒ වන ලැහැබට වැඩම කර තම භාවනා කර්මය පටන් ගත්හ.
මේ වනලැහැබට අරක්ගත් රුක්ෂ දේවතාවුන් සමූහය මේ සිල්වත් භික්ෂූන්වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යැයි සිතා බිමට බැස්සහ. ඊළඟ දිනයෙත් පිඬුසිඟා වැඩීමෙන් පසු උන්වහන්සේලා පැමිණීමෙන් දේවතාවුන්ට බිමට බැසීමට සිදුවිය. මේ ආකාරයට දින කිහිපයක් ගතවීමෙන් පසු දේවතාවන්ට පෙනීගියේ මේ යෝගාවචර සඟ පිරිස දිගු කලක් නැවතී සිටිනු ඇති බවය.ඔවුහු කතිකා කර භික්ෂූන්වහන්සේලා බියගන්වා එලවාදැමීමට උපක්‍රම යෙදූහ. දේවතාවුන් විසින් අමනුෂ්‍ය රූප මළකඳවල් ආදී බියජනක දෑ මවා පෙන්වීමෙන් ඒ ස්වාමීන්වහන්සේලාගේ බවුන් වැඩීමට බාධාවූ අතර එතැන තමන්ට සුදුසු තැනක් නොවන බව තේරුම්ගත් උන්වහන්සේලා පෙරළා බුදුහිමියන් වෙත පැමිණ තම අත්දැකීම සැල කළහ.
“ස්වාමීනි, මේ විදියෙ උපද්‍රව වලට මුහුණදෙන්න වුණ එතැන බවුන් වැඩීමට සුදුසු නැති බවයි පේන්නෙ .”
“නැහැ මහණෙනි, එතැනමයි සුදුසු. මේ වතාවේ නුඹලා ආයුධයක් අරගෙනයි යා යුත්තේ.”
“ස්වාමීනි, කුමක්ද ඒ ආයුධය?”
මේ ආයුධය මෙත්තා සූත්‍රය ය.
අනතුරුව බුදුරජාණන්වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කොට වෙනත් ස්‌ථානයකට නොගොස් පෙරදී බාධා ඇතිවූ ස්‌ථානයටම ගොස් කරණීය මෙත්තසූත්‍රය දේශනා කොට නැවත භාවනාව ආරම්භ කරන ලෙස දැන්වූවා.
එහි ගිය භික්‍ෂූන් වහන්සේලා පංච ශීලය ආරක්‍ෂා කරමින් මෙත්ත සූත්‍රය සජ්ජායනා කොට භාවනාවට සැරසෙත්ම ප්‍රමෝදයට පත් රුක්‍ෂ අධිපති දෙවි දේවතාවෝ පැමිණ සැම කල්හිම මේ ස්‌ථානයේ වාසය කරමින් සිල්වත් ජීවිතයක් ගතකරන ලෙස ආරාධනා කළා. එයින් අපට වටහාගත හැකියි. කරණීය මෙත්ත සූත්‍රයේ බලසම්පන්න බව.
යක්‍ෂ, ප්‍රේත අමනුෂ්‍ය බය දුරලීම පිණිස දේශනා කරන ලද මෙම සූත්‍රය වර්තමානයේ බොහෝ දෙනා සඡ්ජායනා සූත්‍රයක් ලෙස භාවිත කළත් මෙම සූත්‍රය සඡ්ජායනයට පමණක් සීමාවිය යුතු සූත්‍රයක් නොව ක්‍රියාවට නැංවිය යුතු සූත්‍රයකි. මෙම සූත්‍රය සඡ්ජායනයෙන් දෙවියන්ගේ ආශිර්වාදය නිතැතින්ම ලැබෙන අතර ක්‍රියාවේ යෙදවීමෙන් විදුල ප්‍රයෝජන ලැබිය හැකිබව මතක තබාගත යුතුම කාරණයකි.
කරණීය නම් කළ යුතු වූ යන්නයි. මෙත්ත නම් මෛත්‍රියයි. එබැවින් මෙම සූත්‍රයේ දැක්‌වෙන ගුණ තමා තුළ වර්ධනය කරගනිමින් ක්‍රියාවේ යෙදවීමටත් දමනය කළ නොහැකි අමනුෂ්‍ය බලවේග යක්‍ෂ, ප්‍රේත දොaෂ සියල්ල තමා ඉදිරියේ දමනය වී සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ වෙත පැමිණෙන සියලු ප්‍රශ්න විසඳාගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්‍ෂාව නිරතුරුවම ඔබට ලැබේ.
නිතිපතා සජ්ජායනා කරමින් ක්‍රියාවට නැංවිය යුතු මෙම අගනා සූත්‍රයේ විශේෂ ගුණාංග මෙසේ පැහැදිලි කළ හැකි අතර එම ගුණාංග ඔබේ දිවියට ළංකර ගැනීමෙන් එය ඔබේ ඉදිරි යහපත සඳහා මහෝපකාරී වනු ඇත.