මල්ලේ ගුල්ලන්

Getapolos

Banned
May 14, 2015
105
22
0
ගැබිනි මව්වරුන්ගේ ‍පෝෂණ මල්ලේ ගුල්ලන් මැරීමට විෂ වායුවක් ගහලා

ගර්භණී මව්වරුන්ගේ ‍පෝෂණ මලුවලට ඇතුළත් කිරීමට කළුතර විවිධ සේවා සමුපකාර සමිතිය මගින් ගෙන එන ලද ගුල්ලන් ගැසූ හා පණුවන් සහිත පරිප්පු, හාල්මැස්සන් කරවල හා සෝයාමීට්වල ගුල්ලන් හා පණුවන් මරා දැමීම සඳහා විෂ වායුවක් ගසා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කරන ලද වැටලීමකදී අනාවරණය වී තිබේ.
පොතුපිටිය ප්‍රදේශයේ ගර්භණී මවුවරුන් සඳහා බෙදා හරින ලද ‍පෝෂණ මලුවල වූ පරිප්පු සෝයාමීට් සහ හාල්මැස්සන් කරවල වල මියගිය පණුවන් සහ ගුල්ලන් සිටින බව නිරීක්ෂණය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ ඔස්සේ කළ නිරීක්ෂණයේදී ඒවා බෙදා හැර ඇත්තේ කළුතර විවිධ සේවා සමුපකාර සමිතිය මගින් බව අනාවරණය වී ඇත.
මේ බව දකුණු කළුතර සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. චින්තක ප්‍රසාද් මහතාට දැන්වීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් ගොස් කළ පරීක්ෂාවේදී අඩි 20*10 කන්ටේනරයක් තුළට රුපියල් ලක්ෂ 20ක වටිනාකමකින් යුතු මෙම ආහාර ද්‍රව්‍ය දමා පණුවන් හා ගුල්ලන් විනාශ කිරීමට විෂ වායුවක් යොදා ඇති බව හෙළි වී තිබේ.
කෘමීන් පාලනය කරන සමාගමක් මගින් ඉකුත් අගෝස්තු 10 වැනිදා සවස 4ට මෙම කන්ටේනරය තුළට විෂ වායුව යොදා ඇති අතර එය අගෝස්තු 13 වනදා සවස 4 තෙක් විවෘත නොකරන ලෙසත් ඉන් පසුව පැය 05ක් යනතුරු ඊට ඇතුළු නොවන ලෙසත් දැක් වූ අවවාදාත්මක ස්ටිකරයක් එහි අලවා ඇත.
අගෝස්තු 16 වනදා බෙදා හැරීමට නියමිතව තිබූ ‍පෝෂණ මලුවල අනෙක් ආහාර ද්‍රව්‍ය පුරවා තිබි ඇති අතර මෙම ආහාර ඊට එකතු කිරීමට නියමිතව තිබුණි. කළුතර විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරයා ආහාර ද්‍රව්‍යවල පණුවන් හා ගුල්ලන් විනාශ කිරීමට විෂ වායුවක් එක් කළ බව පිළිගෙන ඇති අතර ඔහු ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලිඛිත ප්‍රකාශයක්ද ලබාදී ඇත.
මෙම විෂ වායුව සහිත කන්ටේනරය 14 වැනිදා උදේ විවෘත කිරීමට නියමිත අතර ඉන් පසු ඒවායේ සාම්පල් රස පරීක්ෂකවරයා වෙත යැවීමටත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතය. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.සෙනෙවිරත්න, දකුණු කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඩී. චින්තක ප්‍රසාද්, කලමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉරංග ගුණරත්න සහ මහ හීනටියන්ගල මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් ප්‍රියදර්ශන යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.