සේකර ගේ මහා ආත්මය ජාතියට අහිමි වුණේ අද වගේ දවසක. අදට හරියට අවු.40ක්. සේකර ජීවත් වුණ වයසට ළඟයි. ඉතා කෙටි කාලයක් ජීවත් වෙලා, දැවැන්ත වැඩ කොටසක් රට, ජාතිය වෙනුවෙන් ඉටු කරලා අකාලයේ මිය ගියත්, සේකර සදාතනිකයි.
සේකර කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධිමත් මිනිසෙක්. අසාමාන්‍ය ප්‍රතිභාවක් තිබුණු කෙනෙක්. වාසනාවට ඔහුට සමකාලීන ව පණ්ඩිත් අමරදේව ඉපදිලා තිබුණා. දෙදෙනා එකම ආයතනයක සේවයට බැඳුණා. ඒ ජාතික ගුවන්විදුලියට. එතැන් සිට ගී පොතයි-මී විතයි රස උල්පත මැවුණා.
සේකර ගැන කිය යුතු දේ බොහෝම වුණත්, පුංචි දෙයක් සටහන් කරන්න කැමතියි. සේකර ගේ ප්‍රතිභාව ගැන තේරුම් ගන්න පුඵවන් පුංචි දෙයක්.
උකුසා වන්නමේ එන 'මෝරා බීජයෙනා' වැනි තැනකින් මතු වුණු 'මෝරා' කියන වචනය පසුව, මෝරා, මෝරනවා ආදි වශයෙන් සිංහල ගීත සාහිත්‍යයේ විවිධ තැන්වලදී අපට හමුවෙනවා.
'සිරිය මෙ සාරා
නැගේවි හද මෝරා'
'මෝරලා ප්‍රේම ගීතේ'
'තරු පායා දිලි දිලි මෝරා'
මෙවැනි එකම තැනකදීවත් වාග් ප්රකරණයත් එක්ක 'මෝරා' කියන වචනය ගැලපුණේ නැහැ. ඒ නිසා මෝරා කියන වචනය කැතට ඉස්මතු වුණා. එය හාස්‍යයට ලක් වුණා.
නමුත් මේ විදියට රසිකයන් අතර හෑල්ලුවට ලක් වුණු වචනයක්, සේකර අතින් දිදුලන මිණක් බවට පත් වුණු ආකාරය විස්මයජනකයි.
'හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ ...'
සේකර ගැන විවිධ අය විවිධ දේ කියා තිබෙනවා. නමුත් ඒ අතරින් ඉතාලියේ අලිතාලියා ගුවන් යානය පැහැර ගත්ත සේපාල ඒකනායක තබා තිබුණු එක්තරා සටහනක් මගේ හිත ගත්තා.
ඔහු ලංකාවට ගුවන් යානයකින් එද්දි, කලු උස මනුස්සයෙක් විස්කි වීදුරුවක් බොමින්, ගුවන් යානය තුළ නැගිට ගෙන මොනවාදෝ හයියෙන් කියනවා ඇසුණාලු. ඒ වන විට ගුවන් යානය පියාසර කරමින් තිබෙන්නේ ලංකාවට ඉහළ අහසේ.
අර කලු උස මනුස්සයා, 'ගුවන් යානය දැන් තමන් ගේ මව්බිම උඩින් පියාසර කරමින් තිබෙන බව' කියමින් උපන් රට ගැන හැඟීම්බර වර්ණනාවක් කළාලු. එය 'ඉතා සිත් ඇඳ ගන්නා විදියේ කතාවක් බව' සේපාල සටහන් කර තිබුණා.
ගුවන් යානයෙන් බැස්සාට පසු, ඒ පුද්ගලයා ගැන තොරතුරු සොයා බැලුවාම ඔහු මහගම සේකර බව දැන ගෙන තිබෙනවා. ඉන්පසු ගුවන් තොටුපළේ සෑම තැනකම වගේ සොයා බැලුවත් සේකර දැක ගන්න ලැබුණෙත් නැතිලු.
ඒ ඔහු සේකර දෑසින් දැකපු එකම සහ අවසාන වතාව බවත්, සේපාල කියා තිබුණා.
- කුමාර ලියනගේ
Kumara Liyanage