මහාචාර්ය අජනත්තා හපුආරච්චි

waligamaya

Well-known member
  • මහාචාර්ය අජනත්තා හපුආරච්චි

    දැන් ඇත්තේ ජවිපෙ සහ සිවිල් ක්‍රියාකාරීන් ගැන බලාපොරොත්තුවක් පමණි



    අනාගතය පිළිබඳ අවිනිශ්චිත දේශපාලන තත්ත්වයක තරමක බලාපොරොත්තුවක් ඇත්තේ සිවිල් සංවිධාන, ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව පමණකැයි කොළඹ විශ්වවිද්‍යාලය මහාචාර්ය අජනත්තා හපුආරච්චි මහතා සම්පිණ්ඩනය කර ලක්බිම පුවත්පතේ පල වූ ලිපියකින් කියැවේ. එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.
    මෑතකදී රුහුණු මාගම්පුර වරායේ විදේශීය නැවක් බලහත්කාරයෙන් තම භාරයේ රඳවා තබා ගැනීමෙන් කණ්ඩායමකට අධිකරණයට යාමට සිදුවිය. කනගාටුවට කරුණ නම් එහි ඇතිවූ ගැටුම්වලට මැදිවූ පුද්ගලයින් කණ්ඩායමක් ගියේ නීතිඥයකු පිටුපස වීමයි. නීතිඥයකු අධිකරණ නියෝගයකට පටහැනිව ක්‍රියාකළේ නම් වහාම අත්අඩංගුවට පත්වීමට ඉඩ තිබුණේ ඔහුය. නමුත් ඔහු පසුපස ගිය බොහෝ දෙනෙක් කඳුළුගෑස් හා ජලප‍්‍රහාරයන්ට හසුව පීඩා විඳිනු අපි දුටුවෙමු. ඉදිරිගාමී කණ්ඩායම්වලට කිසිදු හානියක් සිදුනොවේ. අනුගාමිකයන්ට දැන් තනි තනිව ප‍්‍රශ්න නිරාකරණය කරගත යුතුව ඇත. එසේම පසුගියදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමකට ද එලෙසම ජලප‍්‍රහාරයන්ට හා කඳුළුගෑස් ප‍්‍රහාරයන්ට ලක්වීමට සිදුවිය. මේ කිසිදු කණ්ඩායමකට අයත් නොමැති පොලීසියට යන යන සෑම තැනකදීම නිකරුණේ කරදර විඳින්නට සිදුවීමද කනගාටුවට කරුණක්. පසුගිය 2015 වසරේ ජනවාරි 8 වැනිදා සිදුවූ වෙනස පිළිබඳව මෙතෙක් බොහෝ දෙනා කතා කරන්නේ ලක්ෂ 62ක ඡන්ද යනු සුළුවෙන් තැකිය හැකි ගණනක් නොවේ. නමුත් ඊට ප‍්‍රතිවිරුද්ධව 58 ලක්ෂයක ඡන්ද යනු සුළුවෙන් තැකිය හැකි ගණනක් නොවේ. නිදහස ලැබුණුදා පටන් තට්ටුමාරු ක‍්‍රමයට වෙනස් වෙමින් පැවැති දේශපාලනය කිසියම් සන්ධිස්ථානයකට පැමිණ ඇතැයි පෙනේ. කවුරු කෙසේ කිව්වද මේ වෙනසට එනම් පසුගිය 2015 වසරේ ඇතිවූ වෙනසේ වැඩි ඡන්ද ප‍්‍රමාණය ලක්ෂ 4කි. ඒ ලක්ෂ 4 යනු එක් අතකට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සිවිල් සංවිධානවල සහ ජනතා විමුක්ති පෙරමුණේ යන කණ්ඩායම්වලට අයත් ඡන්ද මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද නොවේ. කිසිම වෙනසක් නොමැතිව පාක්ෂික ඡන්ද ප‍්‍රධාන පක්ෂ දෙකට හිමිවිය. වත්මන් ජනාධිපතිතුමා පත්කරනු ලැබුයේ ඉහත සඳහන් අතළොස්සක් බුද්ධිමත් හා රට පිළිබඳව හැඟීමක් ඇති කණ්ඩායම් විසිනි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද එම පක්ෂයටත් එනම් මහින්ද (එවකට) රාජපක්ෂ මහතාටත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද රනිල් වික‍්‍රමසිංහ මහතාටත් ලැබුණි.
    ඒ අනුව ජනතාධිපතිතුමාට හිමි ඡන්ද එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ යැයි කීම පිළිගත නොහැක්කකි.
    මෙයින් අදහස් කිරීමට උත්සාහ ගන්නේ මේ ප‍්‍රධාන පක්ෂ දෙකේ කාරයභාරය හා පැවැත්ම වර්තමානය වනවිට අවසානයට ළඟාවී ඇති බව පෙනෙන බැවිනි. ශ්‍රී ලංකාව ප‍්‍රජාතාන්ත්‍රික රටක්යැයි කීමද මුසාවකි. ඊට හේතුව බොහෝ දෙනා කියන ආකාරයට ජාතිවාදය ආගම්වාදය තවමත් පක්ෂවලට ප‍්‍රධාන ආධාරකයක්, උත්තේජනයක් ලබාදෙන අළුයට පවත්නා "ගිනි පුපුරකි" මෙයයි සැඟවුණු ඓතිහාසික යථාර්ථයයි.
    අපි නිතර කියන ආකාරයට වසර 2500ක ඉතිහාසයට උරුමකම් කියන ප්‍රෞඪ ජාතියක් යැයි කියන්නෙ නිකම් නොවේ. මෙය ජාතිවාදය නොවේ. එය ඇතිවන්නේ ඓතිහාසික සමාජ පරිණාමයත් සමග වීම නිසයි. 1948 දේශපාලන නිදහස ලැබූ ශ්‍රී ලංකාවේ බහුතර ජනකොටසක් වූ සිංහල ජනවර්ගය දේශපාලකයින්ට අවශ්‍ය පරිදි එදා හසුරුවාගත හැකිවිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක් අංගයක් වූ "නිදහස" ස්වෛරීත්වය එසේ ලැබීමේදී එවක ඉංගී‍්‍රසි භාෂාව හොඳින් දැන සිටි ඩී.එස්. සේනානායක වැනි දේශපාලකයන්ට ජන විඥානය පිළිබඳව හෝ ඓතිහාසික ශ්‍රී ලාංකික සංස්කෘතික පරිණාමය පිළිබඳව හෝ පැහැදිලි වැටහීමක් තිබුණේ නැත. ඒ නිසාම නිදහස සමග බටහිරින් ආ බලපෑම යටතේ උත්තරාරෝපිත යටත් ප‍්‍රදේශ (විජිත) ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ශ්‍රී ලංකාවට ලැබුණි. නමුත් එය එතෙක් රටේ පැවැති ඓතිහාසික සමාජ සංස්කෘතික පරිණිමය සිදුවූ රාජ්‍යත්වය හා බෞද්ධාගම මුල්කරගෙන නොවේ. 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වූ කල යටත් ප‍්‍රදේශ බලපෑම් යටතේ 1988 ඉදිරිපත් කරන ලද 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගැනීමට සිදුවුයේ ඉහත දැක්වූ අපේ පරිණාමයේ නොමැති ඊට බලහත්කාරයෙන් ආරෝපණය කරනු ලැබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසාය. මේ පරාරෝපණය බටහිර ජාතින්ගෙන් ලැබුණද රට තුළ පැවැති සැබෑ ඓතිහාසික සමාජ සංස්කෘතිය තුළ ඇති රාජ්‍යත්වය විටින් විට මතුවන විට එය පැහැදිලිව හඳුනාගත් බණ්ඩාරනායක මහතා කළේ බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේශීයකරණයට ලක් කිරීමයි. ඊට ආදේශ කළ හැකි කණ්ඩායම් ලෙස සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය පැහැදිලිව හඳුනාගන්නා ලදී. ඒ තුළ ඇත්තේ ශ්‍රී ලාංකික ඉතිහාසය හා සංස්කෘතික පරිණාමයේ අංගෝපාංගයන්ය. ඒ තත්ත්වය දිගු කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණද වර්තමානය වනවිට එය යළිත් දූෂණයට බලලෝභයට විවරවීම නිසා ජනතාවගේන් විතැන්වීමට පටන්ගෙන තිබිමේ හොඳම උපකරණය නම් අත, පුටුව වැනි ලකුණු තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට "හංසයා" රූපාන්තරණය වීමයි. එදා හංසයා වෙනුවට කපුටා ලකුණින් කෙනෙකු ඡන්දයට ආවානම් ඒ ජයග‍්‍රහණය කළේ ඉහත දැක්වූ දේශීය පරිණාමික දේශපාලනය (රාජ්‍යත්වය) සේ බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව රටට යහපත් "මිනිසෙකුගේ" අවශ්‍යතාවය මතය. ඒ.......... පොදු විපක්ෂයේ පසුපස ආ ඡන්දවලින් හෝ එක්සත් ජාතික පක්ෂවලින් ආවක් නොවේ. එය "පරිණාමික" යුගයක වෙනස්ම සන්ධිස්ථානයකි. දැන් සිදුවී ඇත්තේ ඉහත දැක්වූ ප‍්‍රධාන පක්ෂ දෙකටම මේ යුග වෙනස රැකගැනීමට හෝ පවත්වාගෙන යාමට ඡන්ද දායකයන් නොමැතිවීමයි. ප‍්‍රධාන පක්ෂ දෙකටම අත්වී ඇති දේශපාලනයේ නැවතීමේ ලකුණු වෙනස් කිරීමට මීළඟට හැකිවන්නේ දූෂණ විරෝධී සිවිල් සංවිධානවලට හා ජනතා විමුක්ති පෙරමුණටය.
    ප‍්‍රධන පක්ෂ දෙක යැයි කියාගත්තද ප‍්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් අනුව මේ දෙකෙහි ඇත්තේ නාමික වෙනසක් පමණි. පුද්ගලයෝ එකම කණ්ඩායමකය. දේශපාලන දෘෂ්ඨිවාදයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අද පවත්නා වෙනසක් නොමැත. එය විධායක ජනාධිපති ක‍්‍රමය මත සිදුවූ ව්‍යවස්ථාවෙන් ඇතිවූ දේශපාලනික ක‍්‍රමයේ අනිසි ප‍්‍රතිඵලයෝය. අද ඒවායින් මිදෙන මගක් සොයාගත නොහැකි වී ඇත. ඊට දැනට යොදාගත හැකි එකම ආධාරකය ජාතිවාදය හෝ ආගම් වාදය පමණි. නමුත් මේ තත්ත්වයේදී ඇතැම් ඡුන්ද දායකයන් පක්ෂ දෙකටම රැවටී ඇති බව පිළිගන්නේ නැත.
    ඕනෑම කලබලකාරී අවස්ථාවකදී කිසිම අවබෝධයක් නොමැති කණ්ඩායම් දේශපාලකයන් පසුපස ගොස් අමාරුවේ වැටෙන්නේ මේ නිසාය. ඔවුන්ට තොප්පියක්, ටී ෂර්ට් එකක් හොඳටම ප‍්‍රමාණවත්ය. නමුත් සෑම දිනයකම දෙපක්ෂයේම පැවැත්ම සඳහා ඔවුනොවුන් අතර ඇතිවන රහස් සාකච්ඡා, රහස් ගනුදෙනු මේ ජනතාවට නොපෙනෙන්නේ මේ දිනවලදී කලින් කතාකරගත් පරිදි ප‍්‍රතිවිරුද්ධවාදීන්ට දෝෂාරෝපණය කරමින් බැණ වදිමින් අපූරුවට කෙරෙන රංගනයන් නිසාය. කිසිම දිනෙක තාජුඩීන් ඝාතනයට හෝ රවිරාජ් ඝාතනයට හෝ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට සාධාරණයක් ඉටුවේයැයි සිතන්නේ නම් ඒ තරම් අඥානකමක් නැත. මහබැංකු ගනුදෙනුව ඇදි ඇදී යන සිද්ධියක් බවට පත්වී හමාරය. ඒ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණට ඇති උවමනාව ප‍්‍රධාන පක්ෂ දෙකටම තිබේදැයි කෙනෙකුට තමාගෙන්ම විමසා බැලිය හැකිය.
    අඥාන ඡන්දදායකයාට නොවැටහෙන ගෝලීය ප‍්‍රවණතාවන්ගේ නරකම තැනකට වැටුණු ප‍්‍රධාන පක්ෂ දේශපාලනයක් නොව දැනට මෙරට පවතින්නේ පන්ති (Calss) දේශපාලනයකි. පන්තිය රැකගැනීමට කරන රංගනයන් ඉදිරියේ ඡන්දදායකයා බොල් පරඬැල් පක්ෂ සාමාජිකත්වය රන්දෝලියක තබාගෙන සුවඳදුම් අල්ලමින් තමාගේ සිතුම් පැතුම් ලබාදෙන කප්රුක පහල වන තෙක් බලාසිටී. නමුත් සතුටට එක් කරුණක් ඇත. ලක්ෂ 4ක ජනතාවක් මේ පිළිබඳ සවිඤ්ඤානිකව සිටීමයි. ඒ පාක්ෂිකයන්ගෙන් විසිවී ගිය තරම දේශපාලකයන්ගෙන් හොඳටම දැකගත හැකි අවස්ථාවවන්නේ 2020දී ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පුද්ගලයා පිළිබඳවයි. ඒ සඳහා තමාම ඉදිරිපත්වීමට තරම් එඩිතරකමක් පිරිසිදුකමක් තමාට නැති බව පැහැදිලි වන්නේ ඒ සඳහා ශ්‍රීල.නි.ප.ය මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ඉදිරිපත් කරන බව ඇතැමුන් කියමිනි.
    එසේම පිවිතුරු හෙළ උරුමය කෙතරම් කයිවාරු ගැසුවත් ඒ සඳහා ඉදිරිපත් කරන්නේ සුපිරි කෙනෙකැයි උජාරුවෙන් කියන්නේය. නමුත් හරිනම් ගම්මන්පිල මහතාට තමා පිළිබඳවත් විශ්වාසයක් තිබුණානම් ඔහුට ඉදිරිපත් වීමේ හැකියාවක් නැතිද? තම පක්ෂයටවත් නැති ඡන්ද ජනාධිපතිවරයකුට නොලැබෙන බව පිළිබඳ නිවැරදි දැක්මක් තිබීම හොඳය. ඒ අනුව බලනකළ මාදලුවාවේ සෝභිත හිමිට තමා පිළිබඳව කෙතරම් විශ්වාසයක් තිබිණිද? කිසිම පක්ෂයක් නොමැතිව ඒ සඳහා එදා ඉදිරිපත් වීමට ගරුකටයුත්තකි. සැබැවින්ම උන්වහන්සේ එදා ඉදිපත් වුවානම් ලක්ෂ 62ක 75ක් වන්නට ඉඩ තිබිණි.
    අනාගතය පිළිබඳ අවිනිශ්චිත දේශපාලන තත්ත්වයක තරමක බලාපොරොත්තුවක් ඇත්තේ සිවිල් සංවිධාන, ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව පමණි. පන්ති දේශපාලනයේ නවතම ග‍්‍රාහකය වන්නේ විමුක්ති කුමාරණතුංගයි. මෙරට සමාජයේ ඓතිහාසික පරිණාමය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතාට හඳුනාගත හැකි වූ මුත් විමුක්ති යනු මෙරට දේශපාලනයට ආගන්තුකයෙකි. විජය කුමාරණතුංග පියා වූ පමණින් හෝ මව හිටපු ජනපතිනිය වූ පමණින් විමුක්ති සඳහා ශ්‍රීලනිපයේ ඇති ස්ථානය හොරගොල්ලට යළි කැඳවීම යනු සිහිනයකි. ඒ අතීතය වෙනස්වී බොහෝ කල්ය.
    අනාගතය පිළිබඳව අපට ඇත්තේ එකම විකල්පයකි. සිවිල් සමාජ සංවිධාන හා ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි දැක්මයි ඒ.
    ඒ කවුරු නමුත් හඳුනාගත යුත්තේ කොමියුනිස්ට් හෝ සමාජවාදී මතවාදයේ මුඛ්‍ය පරමාර්ථය වූ පරමාදර්ශී ශ්‍රේෂ්ඨ මිනිසෙකු නිර්මාණය කිරීම එනම් "උත්තර මිනිසකු" නිර්මාණය කිරීම යටපත් කිරීමට බටහිර මතවාදවලට හැකිවී ඇති බවයි. නමුත් මතවාද යටපත්වී වෙනත් මුහුණුවරකින් මතුවීමට ඇති ඉඩකඩ එසේම පවතී. එහි ප‍්‍රාග්ධනයේ නියමයන්ට අනුව ලෝක ජනගහනය අනේක සංඛ්‍යාත මූල්‍ය කටයුතුවලට හා මූල්‍ය ක්‍රියාකාරකම්වලට අවතීර්ණ කරගත හැකිවී තිබීමයි. එහි වර්තමාන දෘෂ්‍යමාන සාධකය ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණයට රුසියාවේ පුටින්ගේ සහායයි. ලෝක ධනේෂ්වර ආර්ථිකයේ හස්තය පෞද්ගලික දේපළ මත නොව වර්තමාන ධනවාදය මිනිස්කම් හා බැඳී සර්ව භෞතික හා සර්වාධිකාරි වී තිබීම වටහාගත් බැවිණි. එබැවින් ශ්‍රී ලාංකීය ඓතිහාසික සංස්කෘතික පරිණාමයේ ඉතිරිව ඇති මානව ක්‍රියාකාරිත්වය හා සවිඤ්ඤානිකත්වය මෙන්ම ගෝලීය ආර්ථිකයට ශ්‍රී ලංකාව බැඳී ඇති ආකාරය හඳුනාගැනීම ඔවුන්ට ඇති ප‍්‍රබල අභියෝගයෝය.
    මහාචාර්ය
    අජනත්තා හපුආරච්චි
    කොළඹ විශ්වවිද්‍යාලය.
    උපුටාගැනීම ලක්බිම
     

    Similar threads