මේ ප‍්‍රබන්ධය අපට මතක් කර දෙන්නේ යථාර්තයෙන් වියෝ වූ රාජ්‍ය පාලකයා පිළිබඳ විශ්ව ප‍්‍රබන්ධයක් වන හෙළුවෙන් පෙරහැරේ ගිය රජතුමාගේ කතාවයි. අන්තිමේ දී පාරේ සිටි කොලූවාගේ භූමිකාව කතුවරයකුට පැවරුණි. රජතුමාට ඇහැරුණේ හොදවායින් දෙකක් ද තමන්ටම කියා ගෙන ය. ඒ ගමන්ම පොලිස්පතිට ද දෙකක් කියා නියෝග කළේ වහාම සිරමල්වත්තට ඇප ලබා දීමට පියවර ගන්නා ලෙස ය.
දේශපාලන නායකත්වය අධිකරණ ක‍්‍රියාවලියට අත නෙතබන බවට අමාත්‍ය ජී.එල්. පීරිස් කියා සිටියේ ඊයේ පෙරේදා අත් අඩංගුවට ගත් ජෙනරල් (විශ‍්‍රාමික* සරත් පොන්සේකා ගැන සඳහන් කරමිනි. නමුත් සිරිමල්වත්ත සම්බන්ධයෙන් ජනාධිපති කතුවරුන් ඉදිරියෙහි දී ම අධිකරණ ක‍්‍රියාවලියට සම්බන්ධ විය. පොලීසිය සිරමල්වත්ත අත්අඩංගුවට ගත්තේ කුමණ හේතුවක් නිසා දැයි ජනාධිපති විමසුවේ නැත. එම හේතුව සාධාරණ හේතුවක් වී නම් ජනාධිපතිවරයාට ඔහුට වහාම ඇප දෙනු කියා පොලිස්පතිට නියෝග කිරීමට අයිතියක් ද නැත. නමුත් නියෝගය කෙරුණි. ඒ බව ප‍්‍රසිද්ධ කෙරුණි. සිරිමල්වත්ත ඇප පිට නොව සම්පූර්ණයෙන්ම නිදහස් විය. ආරක්ෂ ලේකම්ගේ නියෝගයක් මත රඳවා සිටින කිසිවකු මහේස්ත‍්‍රාත් අධිකරණයකින් නිදහස් කළ නොහැකි නමුත් රහස් පොලීසිය ඒබ ව නොදන්වා මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඔහු නිදහස් කළේ ය. ඒ ද පුදුමයකි.
එමෙන්ම මේ වනාහී ජනාධිපතිවරයාගේ ”ඇප දෙනු” නියෝගයට වැඩි දෙයකි. රහස් පොලීසිය අධිකරණයට කියා සිටියේ ලංකා පුවත්පතට දෙස් විදෙස් ත‍්‍රස්ත සංවිධානයන්ගෙන් අරමුදල් ලැබෙන්නේ දැයි පරීක්ෂා කල බවත් එවැනි කිසිදු සාක්ෂියක් නැති බැවින් ලංකා කතුවරයා නිදහස් අත් අඩංගුවේ තබා ගැනීමට අවශ්‍ය නැති බවත් ය. දෙස් විදේස් ත‍්‍රස්ත සංවිධානයන්ගෙන් ලංකා පුවත්පතට අරමුදල් ලැබුණේ ද යන්න සොයා බැලීමට එහි කර්තෘ අත් අඩංගුවට ගෙන ආරක්ෂ ලේකම්වරයාගෙන් දින 90ක රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට පොලීසියට අවශ්‍ය වුයේ ඇයි? එම පරීක්ෂනය සිරමල්වත්ත අත් අඩංගුවට නෙගෙන කළ හැකිව තිබුණි. නමුත් පොලීසිය ලාබාල රාජපක්ෂගේ ගොරනාඩුවෙන් තෙදිනකට පසු ඔහු අත් අඩංඟුවට ගත්තේ ය.
ජනවාරි 30 දා රහස් පොලීසිය විසින් වසා දැමූ ලංකා පුවත්පත් කාර්යාලය විවෘත කිරීමට සිරමල්වත්ත නිදහස් වීමට පෙර පෙබරවාරි 02 දා අධිකරණය නියෝග කළේ ය. ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් නියෝගයක් ලබා ගැනීමට කිසිඳු කතවරයකුට අවස්ථාවක් ලැබුණේ නැත. රහස් පොලීසිය ලංකා කාර්යාලය දිගටම වසා දැමිය යුතු බවට අධිකරණයෙහි තර්ක කළේ ය. නමුත් අධිකරණය එම තර්ක විසිකර දමා පුවත්පතට නිදහස දුන්නේ ය.
ඉන් පසු සිරිමල්වත්ත රඳවා තැබීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ පෙබරවාරි 15 දිනය. කතුවර - ජනාධිපති සාදය පැවැති දිනට පෙරදා ය. සාදය දා පුවත්පත්හි එම පෙත්සම පිළිබඳව පළ වී තිබු අතර එම පෙත්සමෙහි අන් අය අතර ආරක්ෂ ලේකම් ගොඨාභය රාජපක්ෂ ද වග උත්තරකරුවකු ලෙස සඳහන් කර තිබුණි. එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුයේ විභාගයට ගැනුණි නම් සිරිමල්වත්ත අත්අඩංඟුවට ගැනීම මානව හිමිකම් කෙළෙසීමක් බවට තීන්දු වීමට හොදටම ඉඩ තිබුණි. ඔහුගෙන් ප‍්‍රශ්ණ කළ රහස් පොලීසියට දැන ගන්නට ලැබුණු දෙයක් ද නැත.
නිදහස ලැබීමෙන් පසු පුවත්පත් සාකච්ජාවක් ඇමතූ ලංකා කර්තෘ කියා සිටියේ සිය පුවත්පතට එල්ල වන තර්ජන තවමත් එළෙසම ඇති බවත් පුවත්පත නතර කිරීම සඳහා පුවත්පත මුද්‍රණය කරන මුද්‍රණාලවලට බලපෑම් කරමින්, බෙදාහැරීම් කටයුතු සහ වෙළෙඳ නියෝජිතයින්ට තර්ජනය කරමින්, වෙනත් ආකාරයක මර්දනයක් දියත් කර ඇති බවත් ය.
සිරිමල්වත්ත නිදහස් කැරුණේ ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමට බැරි වීම, ඔහු විසින් පවරණ ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට බිය වීම සහ අත් අඩංඟුවට ගැනීමට එරෙහිව මෙතෙරත් එතෙරත් නැගී ආ විරෝධයත් නිසා ද?
නැත්නම් මේ මර්දනය ගැන අබැටක්වත් නොදැන සිටි අපේ ජනාධිපතිතුමා හදිසියේ ම මේ අසාධාරණය ගැන දැන ගත් නිසා ද?
මෙරට පුරවැසියකු වශයෙන් ඔබ බැස ගන්නා තීරණය කුමක්ද?