මහ වන මැද ඇති සුන්දර ප්‍රතිමා පෙළ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    මහ වන මැද ඇති සුන්දර ප්‍රතිමා පෙළ..🙏🙏

    මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වැල්ලවාය නගරයේ සිට A2 මාර්ගය ඔස්සේ කිලෝමීටර් 5ක් පමණ තණමල්විල දෙසට ගිය විට බුදුරුවගල මාර්ගය හමුවනවා. එම මාර්ගය ඔස්සේ තවත් කිලෝමීටර් 4ක් පමණ ඉදිරියට ගමන් කර විට ඉතාමත් මනරම් භූමි ප්‍රදේශයක පිහිටා ඇති බුදුරුවගල පුදබිම හමුවනවා. ශ්‍රී ලංකාවේ ගල්කුලක නෙලා ඇති විශාලතම බුද්ධ ප්‍රතිමාව හමුවන බුදුරුවගල පූජා භූමිය, ක්‍රි.ව. 8-9 සියවස් අතර නිර්මාණය වුණු බවට අනුමාන කරනවා.

    බුදුරුවගල ප්‍රතිමා පෙළ..
    අඩි 70ක් පමණ උස පර්වතයක නෙළා ඇති බුදුරුවගල ප්‍රතිමා පෙළ මධ්‍යයේ විශාල බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබෙන අතර, එම ප්‍රතිමාව දෙපසින් තවත් කුඩා ප්‍රතිමා 6ක් දක්නට ලැබෙනවා. මෙහි දී දක්නට ලැබෙන පිළිම සියල්ලම නෙළා ඇත්තේ අර්ධ උන්නත ක්‍රමයට යි. පිළිම නෙළා ඇති පර්වතය ඉතාමත් දැඩි එකක් නිසා එම ශිල්පීය ක්‍රමය භාවිතා කරන්නට ඇතැ යි පුරාවිද්‍යාඥයන් අනුමාන කරනවා. ඉතාමත් විශාල පිළිම නෙළීම මහායාන සම්ප්‍රදායට අයත් වන අංගයක්. එම නිසාම බුදුරුවගල පිළිම මහායාන ආභාසය අනුව නිර්මාණය කළ ඒවා බව පෙනී යනවා. ඉන් නිගමනය කළ හැක්කේ එම අවදියේ දී රුහුණු රට තුළත් මහායාන අදහස් ව්‍යාප්ත වී තිබුණු බව යි.

    ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව.
    මෙම පිළිම පෙළ අතුරින් විශාලතම පිළිමය වන්නේ බුද්ධ ප්‍රතිමාවක් නිරූපණය කරන පිළිමය යි. සමභංග ඉරියව්වෙන් නිමවා ඇති එම ප්‍රතිමාවේ දකුණතින් අභය මුද්‍රාව පෙන්නුම් කරනවා. අඩි 51ක් පමණ උසකින් යුක්ත මෙම ප්‍රතිමාව අර්ධ උන්නත ක්‍රමය භාවිතා කරමින් නිමවා තිබෙනවා. මෙම පිළිමයෙන් නිරූපණය වන්නේ කුමන බුදුරජාණන් වහන්සේදැ යි තවමත් ස්ථිර නිගමනයකට පැමිණ නැහැ. නමුත්, කඹුරුපිටියේ වනරතන හිමියන් මෙම රූපයෙන් මහායාන බුදු දහමේ එන ධ්‍යානි බුදුවරයෙකු වන අමිතාභ බුදුන් වහන්සේ නිරූපණය වන බවට මතයක් පළ කර තිබෙනවා

    අවලෝකිතේෂ්වර ප්‍රතිමාව...
    මහායාන බුදු දහමේ වඩාත් ජනප්‍රියම බෝධිසත්වයන් වන්නේ අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් වහන්සේ යි. බුදුරුවගල ගල් පර්වතයේ නෙළා ඇති අවලෝකිතේෂ්වර බුද්ධ ප්‍රතිමාව අඩි 25ක් පමණ උසින් යුක්තව නිර්මාණය කර තිබෙනවා. සමභංග ඉරියව්වෙන් වැඩ සිටින මෙම පිළිමයේ දෑත්වලින් කටක මුද්‍රාව නිරූපණය කරනවා. එසේම මෙම ප්‍රතිමාව බදාමවලින් පිරියම් කොට සුදු හුණු ආලේප කොට ඇති ආකාරය දැකගත හැකියි. එලෙස නිමවා ඇති පිළිමයේ ජටා මකුටයේ ධ්‍යාන මුද්‍රාව නිරූපණය කරන බුදුරුවක් කැටයම් කිරීම නිසා එහි අලංකාර බව තවත් වැඩි වී ඇති ආකාරය දක්නට ලැබෙයි.

    මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව..
    ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවට වම් පසින් තවත් පිළිම 3ක් නෙළා තිබෙනවා ඉන් හරි මැද පිහිටා තිබෙන පිළිමයෙන් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නිරූපණය කරන බව විශ්වාස කරනවා. අඩි 25ක පමණ උසින් යුත් මෙම ප්‍රතිමාවේ දෑත්වලින් කටක මුද්‍රාව නිරූපණය කරනවා. එසේම රාජාභරණ පැළඳ සිටින මෙම ප්‍රතිමාවේ උඩුකය නිරුවත්ව තිබෙන ආකාරයට නිමවා තිබෙනවා.

    සුදන කුමරුගේ ප්‍රතිමාව..
    අවලෝකිතේෂ්වර ප්‍රතිමාව දෙපසින් තවත් ප්‍රතිමා 2ක් දක්නට ලැබෙනවා. ඉන් දකුණු පසින් දැක්වෙන අඩි 23ක් පමණ උස ප්‍රතිමාව මහායාන බෝධිසත්වයන් වහන්සේ කෙනෙකු වන සුදන කුමරුගේයැ යි විශ්වාස කරනවා.

    තාරා දෙවඟනගේ ප්‍රතිමාව..
    මහායාන බුදු දහමේ සඳහන් ආකාරයට තාරා දෙවඟන අවලෝකිතේෂ්වර බෝධිසත්වයන්ගේ භාර්යාව වුණු නිසා එම දෙවඟන ද වන්දනාවට පාත්‍ර වුණා. මෙම ප්‍රතිමා පෙළේ අවලෝකිතේෂ්වර බෝධිසත්ව පිළිමයට වම්පසින් නිමවා ඇති පිළිමය තාරා දෙවඟනගේයැ යි විශ්වාස කරනවා. අඩි 21ක් පමණ උසකින් යුත් මෙම පිළිමයේ දකුණු අතින් කටක හස්ත මුද්‍රාවත් වම් අතින් පුන්කලසක් දරාගෙන සිටින ලෙසත් නිර්මාණය කර තිබෙනවා. මෙම ප්‍රතිමා පෙළේ අනිකුත් සෑම ප්‍රතිමාවක්ම සමභංග ඉරියව්වෙන් නෙළා තිබුණත්, මෙම ප්‍රතිමාව තිභංග ඉරියව්වෙන් නෙළා තිබෙන්නේ ස්ත්‍රී ලාලිත්‍ය නිරූපණය කිරීමටයැ යි මතයක් පවතිනවා.

    වජප්‍රානී බෝධිසත්ව ප්‍රතිමාව..
    මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවට වම් පසින් සමභංග හිටි ඉරියව්වෙන් වැඩ සිටින ආකාරයෙන් නිමවා ඇති අඩි 22ක පමණ උසකින් යුත් පිළිමයෙන් වජ්‍රපානී බෝධිසත්ව වහන්සේ නිරූපණය කරන බවට විශ්වාස කරනවා. වජ්‍රයක් දකුණු අතින් දරා සිටින ආකාරයක් මෙහි දැක්වෙනවා. ඉන් වජ්‍රපානී බෝධිසත්වයන්ගේ ධර්මයේ හඬ සහ එහි ආරක්‍ෂාව සංකේතවත් කරනු ලබන බව කියවෙනවා.

    මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාව..
    මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව සහ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව අතර නෙළා ඇති පිළිමය මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවකැ’යි අනුමාන කරනවා. සමභංග හිටි ඉරියව්වෙන් උඩුකය නිරුවත්ව නිමවා ඇති මෙම ප්‍රතිමාවේ දෑත් ඉහළට යොමුව පවතින අතර, දකුණු කණෙහි මකර කුණ්ඩලාභරණයක් පැළඳ සිටින ආකාරය දක්නට ලැබෙනවා. මහායාන බුදු දහමේ එන සංකල්පවලට අනුව මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ ධර්මාචාර්යවරයා මෙන්ම උපදේශකවරයා ද වන්නේ මංජු ශ්‍රී බෝධිසත්වයන් වහන්සේ යි. එසේම ඔහු මහා ප්‍රඥාව සංකේතවත් කරවනු ලබන බවටත් මහායාන දහමෙහි දැක්වෙනවා.

    අන්තර්ජාලයෙන්..
     

    Attachments

    • FB_IMG_1609901013175.jpg
      FB_IMG_1609901013175.jpg
      55.4 KB · Views: 78
    • FB_IMG_1609901015737.jpg
      FB_IMG_1609901015737.jpg
      49.1 KB · Views: 83
    • FB_IMG_1609901018178.jpg
      FB_IMG_1609901018178.jpg
      16.4 KB · Views: 79
    • FB_IMG_1609901020638.jpg
      FB_IMG_1609901020638.jpg
      37.4 KB · Views: 81
    • FB_IMG_1609901027909.jpg
      FB_IMG_1609901027909.jpg
      19.9 KB · Views: 76
    • FB_IMG_1609901025224.jpg
      FB_IMG_1609901025224.jpg
      47.4 KB · Views: 75
    • FB_IMG_1609901022956.jpg
      FB_IMG_1609901022956.jpg
      52.6 KB · Views: 76